දකුණේ ඡන්දයේ රූ සටහන්
October 10, 2009 by Editor
Filed under Slideshows
ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට පෙර පැවැත්වෙන අවසන් මැතිවරණය වන දකුණු පළාත් සභා මැතිවරණය ඔක්තෝම්බර් 10 වැනිදා උදෑසන හතට ආරම්භ විය.
මෙම ඡන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දේශපාලන පක්ෂ සිය පක්ෂ ලාංඡන හා අපේක්ෂකයින්ගේ මනාප අංක ප‍්‍රදර්ශණය කිරීමේ සිදුවීම් වාර්තාවී ඇතැයි මැතිවරණය නිරීක්ෂකයින ප‍්‍රකාශකයින් පැවසූ අතර ඡන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක් අසල දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ මුද්‍රිත කොළ දමා ගොස් තිබෙන අයුරු
ඡන්ද දායකයින් උනන්දුවෙන් යුතුව ඡන්ද පොළ වෙත ගොස් සිය ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරයක් දකින්න ලැබුණි. ඡන්දය ප‍්‍රකාශ කළ අයගේ අතේ තීන්ත සලකුණක් තබන්නේ ඡන්දය ප‍්‍රකාශ කළ බව හදුනාගැනීම සදහාය.
ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇඹිලිපිටියේ සිට පැමිණි අතුල අබේවික‍්‍රම සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව නැවත තමන් තාවකාලිකව පදිංචිව සිටින ස්ථානය වෙත යාමට බසයක් පැමිණෙන තෙක් බලා සිටී
ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසුව පාක්ෂිකයින් උද්යෝගයෙන් යුතුව ඡන්ද පොලවල් අසලට රැස්වූ අතර මේ ආකාරයට මාතර වත්තේගම දකුණ ග‍්‍රාමසේවා නිලධාරී කාර්යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානය අසලට පැමිණි ඡන්ද දායකයින් රතිඤ්ඤා දල්වමින් විනෝද විය.
ඡන්දය ප‍්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසුව ඡන්ද පෙට්ටි ඡන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන වෙත ආරක්ෂක විධි විධාන මධ්‍යයේ රැගෙන ආ අතර මෙම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානයේ පිටතට රැගෙනයාමට පෙර මැතිවරණයේදී අනුගමනය කළ යුතුදේ පිළිබදව දැනුවත් කිරීමට තිබූ පෝස්ටර් ගලවා ඉවත් කළේය.
ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානවීමෙන් පසුව සීල් තබන ලද ඡන්ද පෙට්ටි ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයාමට සූදානම් වෙමින්
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ගෙනයාමේදී දැඩි ආරක්ෂිත විධි විධාන යොදා තිබූ අතර ඡන්ද පෙට්ටි ගෙනයන වාහන පිළිබදව පොලීසිය විසින් සටහන් තබාගන්නා අයුරු
ජයග‍්‍රහණයක් බලාපොරොත්තුවන අපේක්ෂකයින් ඡන්ද විමසීම අවසානවීමත් සමගින් තමන්ගේ පක්ෂයේ කොඩි රැගෙන ප‍්‍රීති ඝෝෂා කරමින් සිටියේය.

මාතර දිස්ත‍්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම සිදුකරන මාතර කාර්මික විද්‍යාලය අසල දැඩි ආරක්ෂිත විධි විධාන යොදා තිබණි. මැතිවරණ රාජකාරියේ නියුතු වාහනයක් ආරක්ෂිත කලාපයක් බවට පත් කර ඇති කාර්මික විද්‍යාලය දෙසට පැමිණෙමින්
ඡායාරූප – දිනිදු ද අල්විස්
වාර්තාව-සංජය නල්ලපෙරුම
සහාය – මාතර මාධ්‍ය නිවස
සොරුවිල හොර අරක්කු පෙරූ ගම්මුන්ගෙන් අනගි ආදර්ශයක්
September 7, 2009 by Editor
Filed under Featured, Slideshows
Illegal brewers surrender their vats to police em mass in Polonnaruwa
මුළු මහත් සමාජයටම වින කරන මිනිසාගේ ආර්ථික සාමාජීය ගති පැවතුම් සාර ධර්ම ගුණ ධර්ම විනාශ වී යාමට හේතුවක් වී පවතින මත්පැන් හා මත්ද්‍රව්‍ය අප සමාජයෙන් තුරන් වී යන්නේ නම් එය සමස්ත ශි‍්‍ර ලාංකිකයන්ගේම වාසනාවකි. දිඹුලාගල මනම්පිටිය සොරුවිල ගම්වාසීන් විශාල පිරිසක් පසුගිය දිනක සොරුවිල පොලිස් ස්ථානයට ගොස් ඉතිහාසයේ අන් කවරදාකවත් නොවුනු ආනාරයේ උතම් සටහනක් තැබීමට පියවර ගත්හ.
ඵ් දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය හොර මත්පැන් ජාවාරමෙන් ඉවත් වීමට ඔවුන් ගත් උදාර පියවරය. සොරුවිල ගම්මානයේ පවුල් 15 කට වැඩි ප‍්‍රමාණයක සාමාජිකයන් පොලිසියට පැමිණ කළ ප‍්‍රකාශය එම ගම්මානයට පමණක් නොව දිඔූලාගල මනම්පිටිය ඇතුළු සිංහල දමිල ගම්මාන රැසක විශාල ජනතාවකට මහත් සැනසිලිදායක පුවතක්ම විය.
වසර ගණනාවක් තිස්සේ තම පවුල් වල ජීවනෝපාය වෙනුවෙන් කරගෙන ආ හොර මත්පැන් පෙරීමේ ජාවාරමට තිත තබමින් අරක්කු පෙරීමට යොදා ගත් බැරල් දගර ඇතුළු උපකරණ පොලිසියට බාර දී එම පිරිස ප‍්‍රකාශ‍්‍ර කළේ යළි කිසිදාක හොර අරක්කු පෙරීම සිදු නොකරන බවය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියට යාබදව ඇති මෙම් සොරුවිල ගම්මානය ද්‍රවිඩ හා සිංහල පවුල් රැසක් මෙන්ම මිශ‍්‍ර පවුල් කිහිපයක් ඉතා සමගියෙන් ජිවත්වන ගම්මානයකි.සොරුවිල ගම්මානයේ පුද්ගලයන් හවුලේ කරගෙන ගිය මෙම මත්පැන් ජාවාරම අවට ගම්මාන රැසකටම හිසරදයක් වී තිිබිණි.මත්පැන් භාවිතා කරන ඇතැම් පුරුෂයන් පමණක් නොව කාන්තාවන් නිසා කුඩා දරුවන්ගේ මූලික අතිවාසිකම් ගිලිහී ගිය අවස්ථා එමටය. අරක්කු පෙරීමෙන් අලෙවියෙන් සහ බීමෙන් නිදහස් වී පවුල් තුළ සාමය සමගිය වඩවා නිදහසේ තම දරු පැටවුන් සමග ජිවත් වීමට සොරුවිල ගම්මුන් ගත් එම උදාරතර කි‍්‍රයාව සොරුවිල ගම්මුන් ලක්මවට ලබාදුන්නේ මහගු පූර්වාදර්ශයකි.
‘අරලගංවිල පොලිස් බල ප‍්‍රදේශයෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරිමට විශේෂ වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කරනවා. හොර අරක්කු ජාවාරම මර්දනය කර එම පවුල් ඒවායින් නිදහස් කර ගැනීමෙන් සමාජයටම මහත් නිදහසක් ලැබෙනවා. සොරිවිල දමිළ ගම්වාසින් රටට ලබා දුන් ආදර්ශය අපි නිරතුරුවම අගය කරනවා’ යැයි අරලගංවිල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. සේනාධීර පැවසීය.
‘සාමය නීතිය සුරක්ෂිත කරගැනීමට පොලිසිය වගේම සෑම පුරවැසියෙක්ම මැදිහත් විය යූතුයි. සොරුවිල ගම්වාසින් යහපත් මාර්ගයක ගොස් මුදල් උපයා ගෙන නිදහසේ ජිවත් වීම පොලිසිය වශයෙන් අපි අගය කරනවා’ යැයිද සොරිවිල ජනතාව අමතමින් සහකාර පොලිස් අධිකාරීවරයා තව දුරටත් පැවසුවේය.
සොරුවිල සාම කමිටුවේ සභාපති පී. බී. ගුණවර්ධන පවසන්නේ මෙම ගම්වාසීන්ට ජීවත් වීම සදහා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා යම් යම් අය අනවසර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පෙළඹි ඇති බවය. අරලගංවිල පොලිසියේ දැනුවත් කිරීම් මත එම අරක්කු ජාවාරම් නතර කර ඒවා පෙරීමට යොදාගන්නා උපකරණ පොලිසියට බාර දීම විශාල ජයග‍්‍රහණයක් බවත් පෙරීම නතර කර පුද්ගලයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට යම් ආධාරයක් රජය විසින් ලබාදෙන්නේ නම් අරක්කු ජාවාරම නතර කර දැමීමට හැකියාව ලැබෙන බවද ගුණවර්ධන සදහන් කළේය.
ශි‍්‍ර‍්‍ර ලාංකික සැමට වින කටින හොර මත්පැන් අලෙවිය පමණක් නොව නීත්‍යානුකූලව සිදුවන අරක්කු අලෙවියද මෙරටින් තුරන් කිරීමේ කාලය එළැඹ ඇති බව මනම්පිටිය සොරුවිල සිංහල දමිළ ගම්වාසීන් පෙන්වා දෙති . මනම්පිටිය සොරුවිල ගම්මානයේ එම පවුල් රටට පමණක් නොව රජයටද ගෙන දුන්නේ ආදර්ශයකි.එසේ නම් මත්ද්‍රව්‍ය වලට තව තවත් මෙරටේ අසරණ ජීවිත අකාලයේ ගොදුරු වීමට ඉඩ නොදී රජය විසින්ද සෑම මත්ද්‍රව්‍යක්ම මෙරටින් තුරන් කළහොත් අපේ ලක්මව සුරාවෙන් තොර රටක් වී ඒ උතුම් ආදර්ශය ලොවටම පුර්වාදර්ශයක් වනවා නොඅනුමානය.
Villagers of Soruvila in Manampitiya created history recently when they decided to stop operating the illicit brewery carried out by them and handed over all equipment to the Aralaganvila police voluntarily. About 15 families in the village, which is situated in close proximity to the Dimbulagala sacred area, were engaged in brewing illicit liquor as a source of income. The lack of a proper source of income had compelled these Soruvila villagers to brew illicit liquor. Sinhalese and Tamils co-exist in the Soruvila village. However, villagers believe that if the government could take some action to uplift the living standards of those who have voluntarily given up brewing illicit liquor in the village, it would help put a permanent strop to illicit liquor brewing in the area.
මෙරට ඒඩ්ස් රෝගීන් වාර්තාවීම සියයට හතළිස් නමයකින් ඉහළට
August 31, 2009 by Editor
Filed under Featured, Slideshows
මෙම වසරේ මුල් මාස හය සහ පසුගිය වසරේ වකවානුව සමග සන්සන්දනය කළ විට මෙරටින් වාර්තා වූ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට හතළිස් නමයක වර්ධනයක් පෙන්නුම්කරන බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සදහන් කරයි.
පසුගිය වසරේ මුල් මාස හය ඇතුළතදී ශ‍්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගීන් තිස් නමදෙනෙක් වාර්තාවී ඇති අතර මෙම වසරේ මුල් මාස හය ඇතුළත ඒඩ්ස් රෝගීන් හැට අටදෙනෙක් වාර්තාවී ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වාදෙයි. මෙම වසරේ මුල් මාස හයතුළදී ඒඩ්ස් රෝගීන් හයදෙනෙක් මියගොස් ඇති අතර පසුගිය වසරේදී මියගිය සංඛ්‍යාව 14කි. 2007 වසරේදී එම සංඛ්‍යාව 17ක් විය.
ශ‍්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදිතයින් හාරදහසක් පමණ සිටින බවට මේ වන විට ඇස්තමේන්තුගතකර ඇත. ඒඩ්ස් රෝගීන් හදුනාගැනීමේ ප‍්‍රතිශතය වැඩිවීමට හේතුවී තිබෙන්නේ එච්. අයි. වී. නොහොත් මානව ප‍්‍රතිශක්ති ඌනතා වෛරසය පරීක්ෂාකරගැනීමට පැමිණෙන පිරිස වැඩිවීම නිසායැයි ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ උපදේශක වෛද්‍ය කේ.ඒ. ආරියරත්න පැවසුවේය.
දැනට වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි එච්.අයි.වී ආසාදිතයින් සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවේ සිටිය හැකියැයි වෛද්‍ය ආරියරත්න කීවේය.
‘‘වසර දෙකෙන් දෙකට රටක සිටිය හැකි ඒඞ්ස් රෝගීන් පිළිබදව ඇස්තමේන්තුවක් සකස් කරනවා. 2007 වසරේදී කරන ලද තක්සේරුවට අනුව මෙරට ඒඩ්ස් රෝගීන් හාරදහසක් පමණ සිටිය හැකියි.’’ හෙතෙම පැවසුවේය.
එච්. අයි. වී. වෛරසය ආසාදනය වී තිබෙන රෝගීන් රුධිර පරීක්ෂාවට පැමිණීම වැඩිවන තරමට ඒඩ්ස් රෝගීන් වාර්තාවීම ඉහළ යන බවද ආරියරත්න පැවසුවේය.
‘‘මෙසේ ඒඩ්ස් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබීම හොද දෙයක්. මේ වාර්තාවී ඇති රෝගීන් අලුතින් රෝගී වූ අය නොමෙයි. වෛරසය ආසාදනය වෙලා ඒ බව රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගත් අය නිසා තමයි මේ ප‍්‍රමාණය ඉහළ ගොස් තිබෙන්නේ.’’ වසර දහයක් තිස්සේ ඒඩ්ස් රෝගියෙක් ලෙස ජීවත්වෙමින් ඒඩ්ස් මර්දනය පිළිබවද දැනුවත් කිරීම් කරන ප‍්‍රින්සි මංගලිකා කීවාය.
එච්.අයි.වී. වෛරසය ආසාදනය විය හැක්කේ එම වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ටය. ඒ රුධිරය හරහා හෝ ලිංගික ක‍්‍රියාවකදී තරල හුවමාරුවකදීය. අතට අත දීමෙන් හෝ ස්පර්ශයෙන් හෝ සාමාන්‍ය සිපගැනීමකින් හෝ කැස්ස කිවිසුම් මගින් හෝ ඒඩ්ස් බෝවන්නේ නැත.
‘‘අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා, හා මත්ද්‍රව්‍ය විදගැනීම් ආදිය වැනි රුධිරය හුවමාරුවිය හැකි ආකාරයේ ක‍්‍රියාවලින් එච්.අයි.වී. වෛරසය එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට වැළදිය හැකියි. ඒ වගේම එච්.අයි.වී. ආසාදිත මවකගෙන් දරුවාට වෛරසය බෝවිය හැකියි. එච්.අයි.වී. ආසාදිත මවකගෙන් දරුවාට වෛරසය ආසාදනය වීමට සියයට විසිපහත් හතළිහත් අතර ඉඩක් පවතිනවා’’ ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කියයි.
ඒඩ්ස් වැළදිය හැකි ආකාරයේ හැසිරීමක නිරතවූ පුද්ගලයෙක් වෙතොත් වහාම එච්.අයි.වී. වෛරසය පරීක්ෂා කරන වෛද්‍ය සායනක් වෙත ගොස් රුධිර පරීක්ෂාවක් කරගත යුතුයැයි වෛද්‍ය ආරියරත්න කීය.
එච්. අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක්ට එය දැනගැනීමට ලැබෙන්නේ රුධිර පරීක්ෂාවකින් පමණි. මෙම වෛරසය ආසාදනය වී වසර දහයක් පමණ යනතෙක් එය බාහිරින් හදුනාගැනීමට නොහැකිය. වෛරසය ශරීරය තුළට පැමිණ සති හයක් පමණ ගතවන විට එච්.අයි.වී. ප‍්‍රාථමික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේය. වෛරසය ආසාදනය වී ඇති අයගෙන් සියයට අසූවකට පමණ දරුණු සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උණ ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඉන් පසුව වසර අටත් දහයක් අතර කාලයක් ගතවනතෙක් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවීමට ඉඩ ඇත.
මෙම කාලය ඇතුළතදී ඒඩ්ස් රෝගියා හදුනාගැනීමට හැකියාව ලැබෙන්නේනම් ප‍්‍රතිකාර කිරීමට අවස්ථාව තිබෙන බව වෛද්‍යවරු පවසති. ඒඩ්ස් රෝගය ආසාදනය වී ඇති බව හදුනාගැනීමට බොහෝ විට ඉඩ ලැබෙන්නේ ක්ෂය රෝගය, පිළිකා රෝගය වැනි රෝග වැළදුන විටදීය. ඊට ප‍්‍රථම එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමට හැකියාව ලැබෙන්නේනම් එම පුද්ගලයාට කාලයක් සමාජයට වැඩදායී පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමට අවස්ථාව හිමිවෙන බව වෛද්‍ය ආරියරත්න පැවසුවේය. වෛරසය ආසාදිතවී ඇති මවක් ගැබ් ගත්තේනම් ප‍්‍රතිකාර කිරීම මගින් දරුවාට වෛරසය ආසාදනය වීමට ඇති හැකියාව අඩු කිරීමට හැකියාව තිබෙන බව ජාතික ලිංගාශ‍්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
සාමාන්‍ය රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන ආකාරයටම එච්.අයි.වී. වෛරසය ආසාදනය වී තිබෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට වෛද්‍ය සායන තිහක් ශ‍්‍රී ලංකාව පුරා පවත්වන බවත් මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන කිසියම් අයෙක් වෙතොත් එම සායනයන්ට පැමිණ ප‍්‍රතිකාර ගැනීමට හැකියාව පවතින බවත් ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ උපදේශක වෛද්‍ය ආරියරත්න පැවසුවේය.
‘‘ඒඩ්ස් වැළදී ඇති අයෙක් අපගේ සායනකයට පැමිණ ප‍්‍රතිකාර ගන්නේනම් ඔහුගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා. රෝගියාගේ අවසරයකින් තොරව වෙනත් කිසිවෙක්ට රෝගියා පිළිබද තොරතුරු දෙන්නේ නැහැ.’’ වෛද්‍ය ආරියරත්න කීවේය.
ඒඩ්ස් රෝගය වැළදුන පුද්ගලයින් සමාජයෙන් පිළිකෙව් කිරීමට ඇතැම් අය පෙළඹී ඇති නිසා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇති අයෙක් රුධිර පරීක්ෂාවට ඉදිරිපත්වීමට මැළිකමක් දක්වන්නේය. මෙම රෝගින් කොන් කිරීම හරහා සමාජය විසින් සමාජයටම අවඩැක් කරගන්නා බව හෙතෙම කීය.
‘‘ මේ නිසා මෛ වෛරසය ආසාදනය වන ආකාරය පිළිබදව සමාජය දැනුවත් කළ යුතුයි.’’ වෛද්‍ය ආරියරත්න පැවසීය.
‘‘එච්. අයි. වී. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සමාජයේ සිටින සාමාන්‍ය පුද්ගලයින් වගේ අයයි. ඔවුන් සමාජයෙන් කොන් කළ යුතු නැහැ.’’ මංගලිකා කීවාය.
ඒඩ්ස් රෝගය වැළදී තිබෙන රෝගීන් සමාජයෙන් කොන් නොකරීම මගින් ඒඩ්ස් මර්දන වැඩසටහන් සදහා ඔවුන්ගේ සහාය ලබාගැනීමේ අවස්ථාවද හිමිවන බව වෛද්‍ය ආරියරත්න කීය.
ඒඩ්ස් වැළදෙන්නේ සමාජයේ නරක යැයි සම්මත චර්යාවන්වල යෙදෙන පුද්ගලයින්ට වුවද එවැනි චර්යාවන්හි යෙදෙන්නේ නැති අයට පවා මෙම රෝගය වැළදිය හැකිය.
‘‘සැමියාට වෛරසය ආසාදනය වෙලා තිබෙනවා නම් බිරිදට එය ආසාදනය විය හැකියි. බිරිසට ආසාදනය වෙලා තිබේනම් සැමියාට එය ආසාදනය විය හැකියි.’’ වෛද්‍ය ආරියරත්න කීවේය.
ලෝකයේ ඒඩ්ස් රෝගීන් වාර්තාවන රටවල් අතරින් ශ‍්‍රී ලංකාවේ රෝගීන් වාර්තාවීම අඩු මට්ටමක පවතින බවද එම ව්‍යාපාරය සදහන් කරයි. මෙරට ඒඩ්ස් රෝගීන් වාර්තාවීම සියයට බිංදුවයි දශම එකක තත්වයක පවතින නමුත් සමකයට පහළින් පිහිටි අප‍්‍රිකානු රටවල ඒඩ්ස් රෝගීන් වාර්තාවීම සියයට විසිපහක තිහක අගයක් ගනී. ලෝකයේ වැඩියෙන්ම ඒඩ්ස් රෝගීන් ප‍්‍රතිශතයක් පෙන්වන ස්වාසීලන්තයේ ඒඞ්ස් රෝගීන් වාර්තාවීම සියයට තිහත් හතළිහත් අතර අගයක් ගනී.
මෙරට අධ්‍යාපන තත්තවය යහපත් තත්වයක පවතින නිසා හා ඇතැම් සංස්කෘතික ලක්ෂණ නිසාවෙන් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අඩු මට්මක පවතින්නේයැයි වෛද්‍ය ආරියරත්න පැවසීය.
මෙසේ ආරක්ෂිත යැයි සිතා සිටීමෙන් සියයට සියයක ආරක්ෂාවක් නොලැබෙන්නේයැයි ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සදහන් කරයි. මේ නිසාවෙන් ඒඩ්ස් වැළදිය හැකි ආකාරය පිළිබදව ජනතාව දැනුවත් විය යුතුයැයි ඔවුන් කියයි.
ලෝකයේ ඒඩ්ස් රෝගියෙක් හදුනාගෙන වසර හයකට පසුව පළමු ලාංකික එච්.අයි.වී. ආසාදිත රෝගියා 1987 වසරේදී වාර්තාවූ අතර මේ වන විට ඒඩ්ස් රෝගීන් 1227 දෙනෙක් හදුනාගෙන ඇතැයි ඒඩ්ස් මර්දන ව්‍යාපාරය කියන්නේය. වසරක් ඇතුළත වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවීම 2005 වසරේදී පෙන්නුම් කරන අතර එය 129ක් විය.
සංචාරකයින් නැති හික්කඩුව
December 29, 2008 by Editor
Filed under Slideshows




