අවතැන්වූවන්ගෙන් සියයට පණහක් ළමුන් – සේව් ද චිල්ඩ්රන්

April 27, 2009 by Editor  
Filed under Featured, Stories, Videos

save-the-children-main1

Half of the displaced are children – Save the Children

උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් අතර සියයට පනහක් පමණ ළමුන් සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සහන සේවා සැපයිය යුතු බවත් සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.

‘‘අවතැන්වී (රජයේ පාලන ප‍්‍රදේශ වෙත) පැමිණෙන සිවිල් වැසියන් අතරින් භාගයක්ම ළමුන්.’’ බි‍්‍රතාන්‍යයේ සේව් ද චිල්ඩ්රන් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීනී ජෙස්මින් විට්බ්‍රේඩ් පැවසුවාය.
අවතැන්වී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන් සදහා අවශ්‍ය ආහාර, තාවකාලික නිවාස, හා සෞඛ්‍ය පහසුකම් පිළිබදව රජයේ අවධානය යොමුව ඇති අතර එවැනිම අවධානයක් අවැතන්වී සිටින ළමුන් කෙරෙහි යොමුකළ යුතු බවද ඇය කියන්නීය.

වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන් අතර වැඩියෙන් සිටින ළමුන්ගේ අවශ්‍යතාවයන් වැඩිහිටියන්ගේ අවශ්‍යතාවන්ගෙන් වෙනස් බවත් අවතැන්වී (රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන) ළමුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට පියවර ගතයුතු බවත් ඇය සදහන් කළාය.

‘‘ළමුන්ගේ අවශ්‍යතාවයන් වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන්ට වඩා වෙනස්. ’’ විට්බ්‍රේඩ් කීවාය.

අපේ‍්‍රල් 20 වැනිදා සිට අපේ‍්‍රල් 26 වැනිදා දක්වා වන කාලය  තුළදී වන්නියේ සිටි සිවිල් වැසියන් එක්ලක්ෂ දහතුන්දහස් හත්සිය අනූනමයක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේය.

ළමුන් නැවත පවුල් වෙත යොමුකිරීම

වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන් අතරින් බහුතරයක් වන ළමුන් මේ වන විට පවුල් වලින් වෙන්වී සිටින බවද සේව් ද චිල්ඩ්රන් ආයතනය කියන්නේය. මෙසේ පවුල්වලින් වෙන්වූ ළමුන් කෙරෙහි තමන් දැඩි අවධානය යොමුකර තිබෙන බවද විට්බ්‍රේඩ් කීවාය.

‘‘ (වන්නියේ සිට අවතැන්වී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන් අතර සිටින) ළමුන් සිය ගණනක් ඔවුන්ගේ පවුල්වලින් වෙන් වෙලා සිටිනවා. ඔවුන්ට ඔවුන්ගේ මවුපියන් සිටින්නේ කොහිදැයි සොයාගත නොහැකි වෙලා සිටිනවා. සිය පවුල්වලින් වෙන් වී ඇති ළමුන් නැවත පවුල්ගතකිරීම ඉතාමත් වැදගත් වෙනවා.’’ විට්බ්‍රේඩ් සදහන් කරන්නීය.

දිගින් දිගටම පැවති යුධ ගැටුම් හමුවේ කිහිප වතාවක්ම අවතැන්වී සිය පවුලින් වෙන්වී ඇති ළමුන් නැවත පවුල් වෙත එක්කිරීම සදහා සේව් ද චිල්ඩ්රන් ආයතනය කටයුතු කරන්නේය.

’‘සේව් ද චිල්ඩ්රන් ආයතනයේ සිටින විශේෂඥයින් මේ වන විට පවුල් වලින් වෙන්වූ ළමුන් නැවත පවුල් සමග සම්බන්ධ කිරීම සදහා කටයුතු කරමින් සිටිනවා.’’ ඇය කියන්නේය.

ළමා මිතුරු පරිසරයක්

මේ වන විට වන්නියේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ මානසිකත්වය නැංවීම සදහාද සේව් ද චිල්ඩ්රන් ආයතනය කටයුතු කරන්නේය. මේ වන විට රජයේ පාලන ප‍්‍රදේශයේ පවතින අවතැන් කදවුරුවලසිටින ළමුන් වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවද සේව් ද චිල්ඩ්රන් කියන්නේය.

‘‘අවතැන් කදවුරුවල ළමා මිතුරු පරිසරයක් ඇතිකිරීමට කටයුතු කරනවා.’’ විට්බ්‍රේඩ් කීවාය.

අවතැන් කදවුරුවල සිටින ළමුන්ට ක‍්‍රීඩා කිරීමට හා නොයෙකුත් ළමා ක‍්‍රියාකාරකම් කිරීමට හැකි ආකාරයෙන් මේ ළමා මිතුරු පරිසරය සකස් කරන බවද ඇය කියන්නීය.

‘‘අවතැන් කදවුරුවල ඇති කරන ළමා මිතුරු පරිසරය තුල ළමුන්ට පැමිණ සෙල්ලම් කරන්න පුලුවන්. පොත් කියවන්න ලියන්න පුලුවන්. ඒ වගේම චිත‍්‍ර ඇදීම වගේ දේවල් කරන්නත් අවස්ථාව තිබෙනවා.’’ විට්බ්‍රේඩ් පවසන්නීය.
අවතැන් කදවුරුවල ළමා මිතුරු පරිසරයන් ඇතිකරීම තුළින් අවතැන් ළමුන්ගේ මානසිකත්වය නගාසිටුවීමට හැකියාව ලැබෙතැයි ඇය විශ්වාස කරන්නීය.

‘‘මේ වගේ  පරිසරයක් ඇති කිරීම මගින් ළමුන් නැවත සාමාන්‍ය තත්වයට ගෙනඒමට හැකිවෙනවා.’’ විට්බ්‍රේඩ් සදහන් කළාය.

යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන ළමුන් ගේ පෝශණ අවශ්‍යතාවය කෙරෙහිද සේව් ද චිල්ඩ්රන් ආයතනය අවධානය යොමුකර තිබේ. වන්නි ප‍්‍රදේශයේ සිට පැමිණෙන ළමුන්ගේ පෝශණ මට්ටම ඉතා පහත් තත්වයක පවතින අතර ළමුන්ගේ පෝශණ අවශ්‍යතා සැපිරීය යුතු බවද සේව් ද චිල්ඩ්රන් අවධාරණය කරන්නේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි ළමුන් සදහා සහන සේවා සැපයීමට පවුම් මිලියන දෙකක මුදලක් අවශ්‍ය බවද  විට්බ්‍රේඩ් කියන්නීය.

UK relief agency Save the Children says that half of the over 180,000 who have come into government areas from the Vanni could be children in desperate need of assistance

  • Share/Bookmark