දැන් අපිට වෙලේ සෙල්ලම් කරන්න බැහැ

Paddy land in Matara devastated by kilns.
කුඩා දරුවන් කුඹුරට යන්නේ සෙල්ලම් කරන්න ඒ ඉපනැල්ලේ සෙල්ලම් කරන්න පොඩි දරුවන් ගොඩක් ආස නිසා. ඒ වගේම තණ කොළ කාලා කුස පුරවගන්න සතුන් ද, කුඹුරට ගොඩක් ආස කරයි. ඒ ඉපනැල්ලේ උලා කාලා කුස පුරවගන්න. මේ දෙගොල්ලන්ටම දැන් මාතර හෙට්ටියාවල ප‍්‍රදේශයේ කුඹුරුවලට යන්න ආමාරු තත්ත්වයක් උදා වී ඇත.
“අපි ඉස්සර වෙලේ එල්ලේ ගැහුවා. ඒත් දැන් අපිට වෙලේ සෙල්ලම් කරන්න බැහැ.” දාහතර හැවිරිදි නිරෝෂන් ප‍්‍රියන්ත කීවේය. නිරෝෂන් වැනි දරුවන් මීට කෙටි කලකට ඉහතදී පවා ගමේ කුඹුරේ ක‍්‍රිඩා කොට තිබුන ද, ඔවුනට දැන් ඒ නිදහස අහිමි වී ඇත. ඒ කුඹුරු යායවල තැනින් තැන වලවල් හාරා මැටි ගනිමින් ගැමියන් ගඩොල් කර්මාන්තය කරන නිසාය.
ගව පට්ටියක හිමිකරුවකු වූ සිරිපාල ගමගේ පැවසුවේ. “ඉස්සර ගොයම් කපන කාලෙට අපිට හරක් ලිහල දාල වෙන වැඩක් කරන්න පුළුවන්. දැන් කුඹුරුවල හරක් දාන්න බැරි නිසා අපිට හරක්ට කවන්න වෙන තැන්වලට යන්න වෙලා තියෙනවා.”
නිරෝෂන් වැනි කුඩා දරුවන්ට සිරිපාල වැනි ගොවියන්ට තදින්ම දැනෙන්නේ තමන්ගේ ක‍්‍රිඩාවට සහ ගව පාලනයට ඇති ඉඩකඩ අහිමි වීම පමණි. නමුත් මෙහි මෙයට වඩා මිනිස්සුන්ට දැනෙන දෙයක් තිබේ.
ජල උල්පත් සිඳෙයි
’අපේ ඉඩම තියෙන්නේ කුඹුර අයිනෙමයි ඉතිං අපේ ඉඩමේ තියෙන වතුර ගතිය සේරම කුඹුරට ඇදිල යනවා.” පතිරණගේ සරදියෙස් මේ ගඩොල් කැපීමේ කර්මාන්තය ගැන කීවේ එසේය. මෙම කර්මාන්තය නිසා පරිසරයටවන එක් හානියක් ලෙස සරදියස්ගේ ඉඩමේ තිබෙන ජල උල්පත් සිඳීයාම පෙන්වා දිය හැක.
“අපේ ඉඩමේ ගහක ගෙඩියක් හැදෙන්නැහැ. පල්ලෙහා වලවල් නිසා ඉඩම හේදීලා යනවා. ඉතිං ඉඩම නිසරු වෙනවා.” සරදියෙස් පැවසුවේය.
ගඩොල් කැපීමේ කර්මාන්තය නිසා සරදියෙස්ගේ ඉඩම නිසරු වේ. එමෙන්ම කුඹුරුවල වලවල් හෑරීම නිසා කුඹුරු කිරීමට ද, හැකියාවක් නොමැත. මේ ගැටළුවලට අමතරව ඥාණවතී කංකානම්ගේට සිදුව ඇත්තේ වෙනමම ආකාරයේ ගැටළුවකට මුහුණදීමටය.
“මේ දෙපැත්තෙන් පස් බිඳල ගන්න නිසා අපේ ගෙවල්වලට යන පාර ටික ටික පටුවෙනවා.”
ඥාණවතී මහත්මියගේ නිවසට යන පාර බොහෝ සේ අබලන් වී ඇත. පාර දෙපැත්තෙන්ම ගඩොල් කර්මාන්තය සඳහා පස් ගැනීම නිසා පාර පටුවී ඇතිවාක් මෙන්ම ගඩොල් ගෙනයාමට පැමිණෙන ට‍්‍රැක්ටර් නිසා පාර බොහෝ සේ අබලන් වී ඇත.
’ට‍්‍රැක්ටර් ඇවිල්ල ගඩොල් පටවගෙන හරවද්දී අපේ ගෙදරට යන පාර කැඩිල යනවා. දැන් ගෙදරට කිසිම වාහනයක් ගෙනියන්න බැහැ.” ඥාණවතී පැවසුවාය.
පරිසර හානිය
ගඩොල් කර්මාන්තයෙන් මේ ගමේ බොහෝ දෙනා තමන්ගේ ජීවනෝපාය සකසා ගනී. නමුත් ඔවුනට මෙමඟින් පරිසරයට සිඳුවන හානිය පිළිබඳව එතරම් දැනුමක් නොමැත. එහෙත් ගඩොල් පිළිස්සීමේදී පිටවන දුමෙන් සිදුවන හානිය ඔවුන් හැඳිනගෙන තිබේ.
“මේ දුමත් එක්ක හුස්ම ගත්තහම හතිය ලෙඞ්ඩුන්ට අමාරු වෙනවා. ගෙවල්වල ඉන්න දරුවන්ටත් අමාරුයි.” ප‍්‍රීතිරත්න රණසිංහ ගඩොල් කර්මාන්තය ජීවනෝපායකරගත් අයෙකු ලෙස එසේ කීවේය. ගඩොල් පිළිස්සීමේදී පිටවන දුම නිවෙස්වල සිටින පිරිසට පමණක් නොව ස්වාභාවික පරිසරයටත් හානි පමුණුවති. වායුගෝලයේ සංයුතිය පිළිබඳව දැනුමක් ඔහුට නැතත්ීඅපි දැන් ගෙවල් ලඟ පෝරණුව හදන්නැහැ දැන් පාර අයිනේ ගෙවල් නැති හරියක තමයි පෝරණුව හදන්නේ.” ගඩොල් පෝරණුවක් පිළිස්සෙන විට අවට පරිසරය උණුසුම් වනනිසා එලෙස කරන බව ඔහු පැවසුවේය.
ගඩොල් පුළුස්සීමෙන් පිටවන දුමෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් වී ඇති නමුත් ඔවුන් ගඩොල් කර්මාන්තය සිදු කරන්නේ වෙනත් කර්මාන්තයක් ගමතුළ නොමැති කමින් බව ප‍්‍රීතිරත්න පැවසුවේය.
හෙට්ටියාවල ගම්මානය තුළ අනෙක් ගම්මානවලට වඩා වැඩි ප‍්‍රමාණයකින් ගඩොල් කර්මාන්තය සිදු කරයි. එයට ප‍්‍රධාන හේතුව මේ ගම්මානයේ කුඹුරු ආශී‍්‍රතව නිතරම ජලය තිබීමයි.ීඅපි ගඩොල් කැපුවම වතුර හිඳෙන්නැහැ මේ හරියේ ළිං හිඳිලත් නැහැ.” ප‍්‍රීතිරත්න පැවසුවේය.
මේ කුඹුරු ප‍්‍රදේශයේ ගඩොල් කර්මාන්තය විශාල වශයෙන් සිදු කෙරුණ ද, වර්ෂාව ඇති කාලයට මෙහි ගඩොල් කර්මාන්තය සිදු නොකෙරේ.ීපායන කාලයට විතරයි අපි ගඩොල් කපන්නේ වහිනකොට මේ ටික යටවෙනවා.” සිරිසේන විතාරණ පැවසුවේය.
මේ ටිකේ ගොයම් කපන කාලෙට හරක් ඉපනැල්ල කන්න එනවා. එතකොට අපේ ගඩොල් උන් පාගනවා ඒක නිසා අපි දැන් උන්ට එන්න දෙන්නැහැ.” සිරිසේන පැවසීය. මේ හේතුවෙන් නිදහසේ තණ උලා කෑ ගවයින් දැන් කුඹුරෙන් ඈත් වී ඇත. ගඩොල් කර්මාන්තය නිසා නිදහසේ පරිසරයේ හැසිරුණ ගවයන්ට එයට වැට බැදී ඇත.
ගඩොල් කැපීමට බලපත‍්‍රයක්
“බලපත‍්‍ර දෙනවනම් මේ හානිය අඩු කරගන්න පුළුවන්.” යැයි ක‍්‍රිශාන්ත රුක්මාල් පැවසීය.
එහෙත් අපි බලපත‍්‍ර ගන්න ගියාම හතරවටේ තියෙන ඉඩම්වල ප්ලෑන් ගේන්න කියනවා. මේ ඉඩම්වල ඔප්පු නැහැ.” ඔවුහු පවසන්නේ එසේය.
“1992 පතල් හා ඛණිජ ද්‍රව්‍ය පණත යටතේ මැටි ආශි‍්‍රත කර්මාන්ත කරණ අයට අපි බලපත‍්‍ර නිකුත් කරණවා. ඒකට කර්මාන්තය කරන ඉඩමේ අයිතිය තියෙන්න ඕණ.” භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහකාර ලේඛකාධීකාරී දහනායක පැවසුවේය.
“මේ වෙනකොට ගම්පහ, පුත්තලම වගේ දිස්ත‍්‍රීක්කවල මේ මැටි ආශීත කර්මාන්ත නිසා පරිසර හානියක් සිදුවෙනවා. අපි බලපත‍්‍ර ලබාදීමෙන් යම් තරමකට පරිසර හානිය අවම කරන්න උත්සාහ කරනවා.” දහනායක පැවසුවේය.
නමුත් බලපත‍්‍ර ලබාදීමෙන් පමණක් මෙම හානිය අවම කරගත නොහැක ඒ සඳහා කර්මාන්තයේ යෙදෙන මිනිසුන්ගේද, සහය තිබියයුතු බව ඔහු පැවසුවේය.
“ඒ අය මැටි ගන්න වලවල් වහල දානවනම් මෙච්චර පරිසර හානියක් නැහැ.” හෙතෙම කියන්නේය.
කුඹුරුවල සිදුකරන ගඩොල් කර්මාන්තයට මේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් බලපත‍්‍ර ලබා දීමක් සිදුනොවේ “කුඹුරුවලට බලපත‍්‍ර ලබා දෙන්නනම් කෘෂීකර්ම එකෙන් අවසර ගන්න ඕන. අපි කුඹුරුවලට බලපත‍්‍ර දෙන්නේ නැහැ.” ඔහු පැවසීය.
මේ මැටි ආශ‍්‍රිත කර්මාන්ත නිසා අනාගතයේ කර්මාන්ත සිදු කරන ප‍්‍රදේශ ආශ‍්‍රිතව ළිංවල වතුර පවා අඩුවීමේ අවධානමක් පවතින බවද දහනායක කීය.
කපිල රාමනායක




