බර අවි භාවිතය නැවතීමට ගත් තීරණය එක්සත් ජාතීන්ගේ අගය කරයි
Holmes commends suspension of heavy weapon use
එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් වලදී බර අවි හා ගුවන් ප‍්‍රහාර එල්ල නොකිරීමට රජය ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් ජොන් හොල්ම්ස්ගේ අගය කිරීමට ලක්ව ඇති අතර එය නිසි පරිදි ක‍්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම පවසා සිටී.
බර අවි භාවිතය නැවැත්වීම එලෙසින්ම ක‍්‍රියාත්මක විය යුතුයි
‘‘(බර අවි හා ගුවන් ප‍්‍රහාර නැවැත්වීමට ගෙන ඇති) මේ තීරණය ඒ ආකාරයෙන්ම බිම් මට්ටමේදී ක‍්‍රියාත්මක විය යුතුයි. තුවාල ලබන හා මිය යන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව අඩුකරගත හැක්කේ එවිටයි.’’ ලංකාවේ කළ තෙදින නිල සංචාරය අවසන් කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හොල්ම්ස් අපේ‍්‍රල් 27 වැනිදා පැවසුවේය.
‘‘බර අවි භාවිතය නිසා සිවිල් වැසියන් තුවාල ලබන හා මිය යන බව පැහැදිලියි. බර අවි සිවිල් වැසියන් තුවාලවීමට හා මිය යාමට හේතු වී තිබෙනවා.’’ බර අවි භාවිතය නිසා සිවිල් වැසියන් තුවාල ලැබීමේ හා මිය යාමේ දැඩි අවදානමක් පවතින බව පවසන හොල්ම්ස් කියන්නේය.
යුධ ගැටුම් නිසා සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යාමට හෝ තුවාල ලැබීමට හැකියැයි හොල්ම්ස් විශ්වාසය කරන්නේය.
‘‘(යුධ ගැටුම් නිසා) තුවාල ලබන හා මිය යන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකියැයි අපි විශ්වාස කරනවා. පසුගිය මාස තුන පුරාම සිවිල් වැසියන් දහස් ගණනක් තුවාල ලබා හා මිය ගොස් තිබෙනවා.’’ යුධ ගැටුම් නිසා තුවාල ලබා හා මියගොස් තිබෙන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව නිශ්චිතව ප‍්‍රකාශ නොකළ හොල්ම්ස් සදහන් කළේය.
සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බර අවි හා ගුවන් ප‍්‍රහාර නැවැත්වීට තීරණය කර ඇතැයි රජය ප‍්‍රකාශ කළේය.
‘‘සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බර අවි හා ගුවන් ප‍්‍රහාර නවත්වන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. සිරවී සිටින සිවිල් වැසියන් මුදාගැනීමේදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරනවා.’’ නිවේදනයක් නිකුත්කළ රජය අපේ‍්‍රල් 27 වැනිදා පැවසුවේය.
වන්නියේ සිරවූ සිවිල් වැසියන් අවදානමේ
මේ වන විට දිනෙන් දිනම සීමාවෙමින් පවතින භුමියක් තුළ පිහිටි වර්ග කිලෝමීටර දහයක භූමියක පිහිටි යුධ මුක්ත කලාපයේ සිටින සිවිල් වැසියන් පනස් දහසක් පමණ දැඩි අවදානමට ලක්ව සිටින බවට හොල්ම්ස් අනතුරු අගවා සිටින්නේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුවට අනුව මේ වන විට යුධ ගැටුම් පවතින රජය විසින් හදුන්වාදී ඇති යුධ මුක්ත කලාපයේ සිවිල් වැසියන් පනස් දහසක් පමණ සිරවී සිටී. නමුත් රජයේ තක්සේරුව වන්නේ වන්නියේ සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පහළොස් දහසත් විසිදහසත් අතර වන බවය.
‘‘මේ සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක්ව සිටිනවා. මොවුන් හැකි ඉක්මනින් පිටතට ගත යුතුයි.’’ හොල්ම්ස් කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍යය මහ ලෙකම්වරයා තමන්ගේ ලංකා සංචාරය අතර තුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ හමුවූ අතර යුධ ගැටුම් නිසා අවතැන්ව වව්නියාවේ සුභසාධන කදවුරුවල සිටින අවැතැන්වූවන්ද හමුවූවේය.
මුලතිව් යුධ මුක්ත කලාපයෙට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් යැවීම පිළිබද රජය සමග එකගතාවයකට පැමිණීමට හොල්ම්ස අසමත් වී ඇති අතර යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත සිය නියෝජිත පිරිසක් යැවීම පිළිබද මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර යොදමින් සිටින්නේය.
අප්‍රෙල් 20 වැනිදා සිටි අප්‍රෙල් 28 වැනිදා දක්වා කාලය තුළදී වන්නියේ යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිටි සිවිල් වැසියන් එක්ලක්ෂ දහතුන්දහසක්ට වඩා වැඩි පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේය. උතුරු පළාතේ යුධ ගැටුම් ආරම්භවීමෙන් පසුව 2008 දෙසැම්බර් මාසයේ සිට මේ දක්ව සිවිල් වැසියන් එක්ලක්ෂ අසූ දහසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ තිබේ.
අවැන්වූවන්ට එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 10 ක සහනාධාර
යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීමට ඇමරිකානු තවත් ඩොලර් මිලියන 10 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මධ්‍යම හදිසි ආපදා අරමුදලෙන් වෙන් කරන බව හොල්ම්ස් මෙම සංචාරය අතර තුරදී රජයට දැනුම් දුන්නේය.
‘‘මෙය විශාල අභියෝගයක්. (මානුශිය සේවා සැපයීම සදහා) තාවකාලිකව යුධ ගැටුම් නැවැත්මක් අපි බලාපොරොත්තුවෙනවා.’’ හෝල්ම්ස් කියන්නේය.
මේ වන විට අවතැන් කදවුරුවල තාවකාලික කූඩාරම් රැසක් ඉදිකර ඇතැයි මාස කිහිපයක් ඇතුළත දෙවැනි වරටත් ලංකාවට පැමිණ වව්නියාවේ අවතැන් කදවුරු නිරීක්ෂණය කළ හොල්ම්ස් සදහන් කළේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටි සිවිල් වැසියන් දිගින් දිගටම රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීමත් සමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනෙකුත් සහන සංවිධාන විසින් සිදුකරන සහන සේවා වැඩි කිරීමට පියවර ගත් අතර අවැතැන්වූවන්ට අවශ්‍ය සහනාධාර සැපයීමට ඉදිරිපත්වන්නැයි රජය ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළේය.
John Holmes welcomed a decision by the Sri Lankan government to suspend the use of heavy weapons and aerial bombardment from 27 April. “What we need to see is that (decision) actually implemented on the ground so that the civilian casualty rate drops,” he said



