ලංකා රජය සමග දිගටම සුහදව කටයුතු කරනවා
Continuous engagement with Sri Lanka – Akashi
ලංකාවේ සෙවරීභාවයට හානියක් නොවන ආකාරයේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම සදහා ජපානය ශ‍්‍රී ලංකා රජය සමග කටයුතු කරන්නේයැයි ජපානයේ විශේෂ සාම නියෝජිත යසුශි අකාශි පැවසුවේය.
ලංකාවේ පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසුව පළමු වතාවට ජුනි 8 වැනිදා අකාෂි ලංකාවට පැමිණියේය.
දහඅටවැනි වතාවටත් ලංකාවේ නිල සංචාරයක නිරත ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මෙම සංචාරයේදී කරුණු දෙකක් පිළිබදව සිය අවධානය යොමුකර තිබුනේය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින පුද්ගලයින්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීමත් දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව වන ප‍්‍රගතියත් යන කාරණා දෙකට මෙම සංචාරයේදී මම අවධානය යොමුකළා.’’ සිය නිල සංචාරය අවසානයේදී මාධ්‍ය අමතමින් අකාෂි කොළඔදී ජුනි 11 වැනිදා පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අකාෂි දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව සාකච්ඡා කර තිබුනේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වූ ලක්ෂ ගණන් වන සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරු අකාශිගේ නිරීක්ෂණයට ලක්වූවේය. මීට පෙර පැමිණි අවස්ථාවේ අවතැන් කදවුරුවල පැවති තත්වය මේ වන විට වර්ධනය වී ඇතැයි අකාෂි කීවේය.
‘‘මේ වන විට අවතැන් කදවුරු වෙත අවශ්‍ය ජල සැපයුම ලබාදීමට පියවර යොදා ඇති බව දකින්න ලැබුනා. ඒ වගේම ළමුන් සදහා අධ්‍යාපනය ලබාදීමට නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබුනා.’’ අවතැන් කදවුරුවල සිටින අවතැන්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉන්දියාව විසින් තාවකාලික රෝහලක් වව්නියාවේ ස්ථාපිත කර ඇති බව කියන අකාෂි පවසන්නේය.
ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම පිළිබදවද අකාෂිගේ අවධානය යොමුවුනේය. මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් ඉක්මනින්ම පදිංචි කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.
අවතැන්වී සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැදගත් ස්ථානයක් හිමිවන බව හෙතෙම සදහන් කළේය.
‘‘අවැත්වූවන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම ඉතා වැදගත් වෙනවා. බ්ම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපාන රජය ආධාර ලබාදෙනවා.’’ අකාෂි කීවේය.
‘‘ලංකාවේ තත්වය පිළිබදව අපි ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සාකච්ඡා කරනවා.’’ අකාෂි කීවේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට රජයට භාරවී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර මොවුන් පුනරුත්ථාපනය කරන ආකාරය අකාශිගේ නිරීක්ෂයට ලක්වූවේය.
‘‘මොවුන්ට රජය උපරිම ආකාරයෙන් සලකනවා.’’ ජපානයේ විශේෂ සාම නියෝජිතයා පැවසුවේය.
ජපානයේ විශේෂ සාම නියෝජිතයා සිය ලංකා සංචාරයේදී යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය නිරීක්ෂණය කළ අතර රජයේ නියෝජිතයින් මෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ද හමුවී ලංකාවේ තත්වය පිළිබදව සාකච්ඡා කර තිබුණි.
ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතර ජපානය දෙවන ස්ථානයේ පසුවන අතර බිම් බෝම්බ ඉවත්කිරීම සදහා ඇමරිකානු ඩෙලර් මිලියන 1.4 ලංකාවට ලබාදෙන බව ජපානය ජුනි 4 වැනිදා පැවසුවේය. මේ වසර ඇතුළතදී පමණක් උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක මුදලක් ලංකාවට ලබාදී තිබේ.
Japanese Special peace Envoy Yasushi Akashi said Japan would work closely with the government of Sri Lanka to find a political solution that would not harm the country’s sovereignty. Akashi who is on his 18th visit to the country also paid attention to the plight of the IDP camps in the north and said that there were tangible changes in the IDP camps this time around since his last visit to them five weeks ago. The need for demining before the resettlement of the war displaced was also highlighted by Akashi. Japan remains Sri Lanka’s second largest foreign donor.




