ධම්ම පදය ඇලුමිනියම් පත්වල නිර්මාණය කළ අපූර්ව මිනිසා
The man who inscribed the Buddhist sacred text on lead sheets
සමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් මිනිසුන් ඇත්නම් ඒ අල්ප පිරිසකි. එවන් නිර්මාණශීලී සොඳුරු මිනිසුන් සැබැවින්ම සමාජය ලත් මහඟු සම්පත්ය. රුවන්වැල්ලේ පදිංචි හැටදෙහැවදිරි පරණ ගම්ලත් රාළලාගේ සෝමරත්න එවන් අපූර්ව හැකියාවෙන් සපිරුණු මිනිසෙකි. බෞද්ධයන්ගේ හා අන්‍ය ආගමිකයන්ගේද අවධානයට ලක්වූ ග‍්‍රන්ථයක් වන ”ධම්ම පදය” මේ වන විට එලෙසින්ම ඇලූමිනියම් පත්වල ලියවෙන්නේ ඔහුගේ නිර්මාණශීලී හැකියාවේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඇලූමිනියම් තහඩු වල පාලි අකුරු නෙරා මතුවී පෙනෙන ලෙස හාරසිය විසි තුනක් වූ ධම්ම පදයේ ගාථා කැටයම් කරන්නට සෝමරත්නට හැකිවී තිබේ.
”මට ලොකු උවමනාවක් තිබුණා වෙනස් විදිහෙ වැඩක් කරන්න. මම හොඳ බෞද්ධයෙක්. ඒ හින්දා මම තීරණය කළා මේ විදිහට ධම්ම පදයේ ගාථා සියල්ලම එම්බෝස් කරන්න. වැඬේ ටිකක් අමාරු වුණා. වැඬේ අවසන් වෙනකොට මගේ දකුණු අතේ මහපට ඇඟිල්ලත් ටිකක් ගෙවිලා. ඒ මොන බාධා තිබුණත් මේ වගේ වැඩක් කරන්න ලැබීම ගැන මම හුගාක් ආඩම්බර වෙනවා.” මේ දුෂ්කර කාර්යය සාර්ථකව අවසන් කළ සෝමරත්න සදහන් කරයි.
ගාථා කැටයම් කිරීමේ කාර්යය සඳහා සෝමරත්න යොදා ගෙන තිබුණේ නිවාස ඉඳිකිරීම සඳහා යොදා ගන්නා ඇලූමිනියම් තහඩු දොළහක් සහ තීන්ත අවසන් වූ කාබන් පෑන් කිහිපයක් පමණි. ” මේ වැඬේ කොහොමහරි කරනවා කියලා මට ලොකු අධිෂ්ධානයක් තිබුණා. ඒ හින්දම වෙන්න ඇති හරියටම අවුරුද්දක් ගත වෙනකොට මට ගාථා කැටයම් කරලා අවසන් කරන්න පුළුවන් වුණේ. ඇත්තටම පෑන් තුඩකින් තරමක් ඝණකම ඇලූමිනියම් තහඩුවක අකුරු නෙරා මතු වී පෙනෙන විදිහට ගාථා කැටයම් කරන එක පහසු දෙයක් නෙවෙයි. ඒකට ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. ’’ දෑතේ වීරියෙන් නිම කළ සිය නිර්මාණය පිළිබඳව සතුටුවන සෝමරත්න පවසයි.
ධම්ම පදය කැටයම් කොට අවසන් කළ පසු සෝමරත්න එයට වටිනාකමක් ලබා දෙන්නට තීරණය කළේය. ඒ මුදලින් නොවේ. මෙම නිර්මාණයේ වටිනාකම ලැබෙන්නේ එය නියමිත ස්ථානයකට බාර දීමෙන් පමණක් යැයි ඔහු සිතූ නිසාය. එම කැටයම් තහඩු දොළහ ගමේ පන්සලට පරිත්‍යාග කරන්නට සෝමරත්න තීරණය කළේ ඉන් අනතුරුවය. ඒ අනුව ධම්ම පදය කැටයම් කළ තහඩු සියල්ලම රුවන්වැල්ල යටන්වල ශ‍්‍රී වාළුකාරම විහාරස්ථානයට පූජා කෙරිණි.
‘‘ මම හිතන්නේ මේ වගේ දෙයක් ශ‍්‍රී ලංකාවේ පළමු වරට නිර්මාණය කෙරුවේ මේ සෝමරත්න මහතායි. මෙය විශිෂ්ඨ අසාමාන්‍ය නිර්මාණයක්. මහත් කැපවීමෙන් හා වෙහසකින් කාලය කැප කරලා මෙවැනි නිර්මාණයක් කරන්න පුදුම සංයමයක් තිබිය යුතුයි. මේ නිර්මාණයේ වටිනාකම තියෙන්නේ එතනයි. ඇත්තටම මේ නිර්මාණය අපේ පන්සලට ලැබීම අප ලද භාග්‍යක් හා ගෞරවයක් කොට මා සලකනවා.’’ යටන්වල ශ‍්‍රී වාලුකාරාමය උප විහාරාධිපති ඇත්ඔය ශ‍්‍රී සුනන්ද හිමියෝ පැවසූහ.
තමා මෙවැනි විවිධ කලා කෘති නිර්මාණය කිරීම ආරම්භ කළේ සිය පාසල් අවධියේ සිටම බව සෝමරත්න ප‍්‍රකාශ කරයි. විශේෂම කාරණය වන්නේ ඔහු සහජ හැකියාවෙන් නිර්මාණ කටයුතු කිරීමයි. ගුරුවරයෙක් යටතේ ශිල්ප ප‍්‍රගුණ නොකළ සෝමරත්න නිර්මාණශීලී අත්දැකිමෙන් සපිරුණු මිනිසෙකි. ඔහු කුඩා ප‍්‍රමාණයේ චෛත්‍යයක්ද නිර්මාණය කොට තිබේ. ඔහු ඒ සඳහා සුවිශේෂි බදාම වර්ගයක්ද සකස් කොට ගත්තේය. හුඹස් මැටි සහ සිමෙන්ති මිශ‍්‍ර කොට සාදා ගනු ලැබු එම බදාමය යොදා ඔහු කිරි ටොෆි ප‍්‍රමාණයේ ගඩොල් කැට කැපුවේය. ඉන් අනතුරුව නියමිත තාක්ෂණයට ඔහු ගඩොලින් ගඩොල තබා චෛත්‍ය නිර්මාණය කළේය.
‘‘ මෙය කුඹල සහිත කුඩා චෛත්‍යක්. බුදු ගෙයක් හැටියට භාවිතා කරන්නත් පුළුවන්. ’’ සෝමරත්න එසේ කියා සිටි.
බොහෝ කලාත්මක හා වටිනා නිර්මාණයන් බිහි කළද ඒවා තමන්ට පමණක් සීමා කොට ගෙන නිහඬව සිටින්නට සෝමරත්න මහතාට සිදු වී තිබේ.
‘‘ඇත්තටම මම අලුත් දෙයක් කරලා කිහිප සැරයක්ම මේ රටේ අදාළ අංශ වලට යොමු කළා. අන්තිමට එය මගේ නිර්මාණයක් ලෙස නෙවෙයි ඔවුන්ගේ සොයා ගැනීමක් ලෙස ප‍්‍රසිද්ධ කළා. මම ඔය ගැන කතා කරන්නටත් කැමති නැහැ. අන්තිමට මට කල කිරීමක් විතරයි ඇති වුනේ. ’’
එහෙත් සිය කලා කෘති සඳහා වාණිජ වටිනාකමක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සෝමරත්න පවසයි.
‘‘මම වෘත්තීමය නිර්මාණකරුවෙක් නොවේ. මම මගේ තෘප්තිය සඳහා නිර්මාණ කරනවා. මගේ මේ හැකියාව මට තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. මම ඉගෙන ගත්ත ශිල්ප ඥානයක් නැහැ. තියෙන්නේ අත්දැකීමෙන් ලබා ගත් හැකියාවක් පමණයි. ඉගෙන ගත්තු දෙයක් නැතිව තව කෙනෙකකුට ශිල්පයක් උගන්වන්න බැහැ කියලයි මට හිතෙන්නේ. මගේ හැකියාව සංසාරික පුරුද්දක් ලෙයසි මා දකින්නේ. මගේ ඊළඟ බලාපොරොත්තුව ලී කොටයකින් කුඩා ප‍්‍රමාණයේ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමයි. ’’ සෝමරත්න අවසන්
වශයෙන් කීවේය.




