මරද මඩු මෑණියණි, අපි ඔබේ සරණ පතා එන්නෙමු

August 18, 2009 by Editor  
Filed under Featured, Stories

Madhu main Devotees flock to Madhu

‘‘ආවේ මරියා……ආවේ මරියා…..ආවේ මරියා….’’ මරදමඩු මෑණියන්ගේ ආශිර්වාදය පතමින් පැමිණි ලක්ෂ සංඛාත බැතිමතුන් අගෝස්තු 15 වැනිදා මඩු පල්ලියේදී දේව පූජාවට සහභාගී වෙමින් සිටියදී ගැයූ දේව ගීතිකා දසත පැතිරෙන්නට විය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති ගැටුම් අවසන්වී මෙන් පසුව සාමාකමී පරිසරයක් තුළ මරදමඩු මංගල්‍යයට පැමිණ සිටි ලක්ෂ පහකට වැඩි කිතුනු බැතිමතුන්ගේ මුවින් නික්මුනේ අප වෙනුවෙන් යාඥා කරන ලෙස දේව මෑණියන්ගෙන් ඉල්ලා සිටින යැදුම්ය.

මේ කිතුනු බැතිමතුන් මරද මඩු දේව මෑණියන්ගේ පිහිට පැතීමට පැමිණ තිබුනේ නව බලාපොරොත්තු සිතේ රදවාගනිමිනි. මඩු මංගල්‍ය පැවැත්වෙන දිනවල උදෑසන මඩු පල්ලියට හිරු පායන්නේ ආන්දවනේ (දෙමළ බසින් දෙවියනේ) යනුවෙන් වන යැදුම් මඩු ප‍්‍රදේශය පුරා ඇසෙමින් පවතින විටදීය.

ලංකාවේ පැවති යුද ගැටුම් නිසා කිතුනු බැතිමතුන් මඩු වන්දනාව ක‍්‍රමයෙන් අඩුකර තිබුනේය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවතියුද ගැටුම් අවසන් වීමත් සමග කිතුනු බැතිමතුන් මඩු වන්දනාවට පැමිණියේ හිතේ කිසිදු බියකින් තොරවය. ඔවුන්ගේ සිත් දෙව් පියාණන් හා දේව මෑණියන් කෙරෙහි වන බැතියෙන් පිරී තිබුනේය.

මේ වසරේ මඩු මංගල්‍යය අගෝස්තු 15 වැනිදා පැවති අතර මඩු වන්දනාකරුවන් අගෝස්තු මස හයවැනිදා සිටම මඩු පල්ලිය වෙත පැමිණෙමින් තිබුනේය. මඩු මංගල්‍යය පැවති දිනයට පෙර දිනයේදී අනුරාධපුරයේ සිට මැදවච්චිව දෙසට ඇදෙන වාහන විලින් විශාල සංඛ්‍යාවක ඉදිරපස සැරසී තිබුනේ මරද මඩු මෑණියන්ගේ රුවකිනි.‘‘මරද මඩු මෑණියණි අපි ඔබේ සරණ පතා එන්නෙමු.’’ යනුවෙන් සදහන් බැනරයක් එල්ලා තිබුනේ බස් රථයක ඉදිරිපසය. බස් රථ වෑන් කාර් ලොරිවල පමණක්  නොව ත‍්‍රීරෝද රථ එබල් ඩෙකර් බස් රථයක හා යතුරු පැදිවල  නැගුණු පිරිස් අනුරාධපුරදෙස සිට මැදවච්චිය දෙසට ගමන් කරමින් සිටියේය.

මෙම වාහන වලින් බොහෝමයක කෑම උයාගැනීමට ගෙනයන හට්ටි වලං තිබුනේය. මේවාට අමතරව ඇතැම් වාහනවල ගෑස් ටැංකි මෙන්ම දර ගොඩවල්ද ගොඩ ගසා තිබුනේය.

මැදවච්චිය නගරය පසුකරනවාත් සමගින් මේ වාහන සියල්ලම ආරක්ෂක හේතූන් මත කාලයක් වසා දමා තිබූ මැදවච්චිය මන්නාරම මාර්ගයට හැරවූවේය. මේ වාහන සියල්ලේම ගමනාන්තය වූයේ එක් ස්ථානයකි. එනම් මඩු පල්ලියයි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ කිලෝමීටර කීපයක් ගියතැන මුර කපොල්ලක් විය. පොලීසිය හා හමුදාව සිටින මේ මුර කපොල්ලේ සියලූම වාහන පරීක්ෂාවට ලක්නොවූ නමුත් වාහනයේ අංකය ආරක්ෂක අංශ විසින් සටහන් කරගෙන රෝස පැහැති කොළ කැබැල්ලක වාහනයේ අංකය ලියා එය වාහනයේ ගමන්කරන අයට ලබාදෙන්නේ වාහනයේ ගමන් කරන මගීන් සංඛාව පිළිබදව සටහනක් සමගින්ය. මේ මුර කපොල්ලේ නවතා ඇති වාහන නිසා මීටර සිය ගණනක වාහන පෝලිමක් දකින්න ලැබුණ නමුත් වාහනවලට පෝලිමේ සිටීමට සිදුවන්නේ විනාඩි කීපයක් පමණි. ආරක්ෂක අංශ විසින් කඩිනමින් වාහන පිළිබදව සටහනක් ලබාගන්නා නිසා වාහන පෝලිම ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණි.

එම මුර පොල පසුකර නෙරියකුලම් දෙසට යන විට තේ කඩයක් විය. තවත් ටික දුරක් යන විට තේ කඩ දෙක තුනක් වූ අතර මේවා අසල වාහන නවතා බැතිමතුන් ආහාර පාන ගත්තේය.

මඩු වන්දනාවේ යන බැතිමතුන් ගමන්ගන්නා අතර වාරයේ මග දෙපස මීටර කීපයෙන් කීපයට ආරක්ෂක අංශ රදවා තිබුනේය. පාරේ කිලෝමීටර ගණනක් ගිය පසුව බැතිමතුන්ට දකින්න ලැබුනේ කටු කම්බිවලින් හා පොල් අතුවලින් වට කර ඇති අක්කර සිය ගණනක බිම්ය. මේවායේ සිටියේ යුද ගැටුම්වලින් අවතැන්ව සිටින අයයි. වන්දනාකරුවන් ආනන්ද කුමාරස්වාමි රාමනාදන් හා අරුනාචලම් සහන ගම්මාන පසුකර යන විටදී අවතැන් කදවුරුවල සිටි කීපදෙනෙක් පමණක් වාහන ගැන අවධානය යොමුකළ අතර අනික් අය කදවුරුවලට වී සිටින අයුරු වැටවල් අතරින් දකින්න ලැබුනේය.

madhu 1මැදවච්චි පසුකර මඩු දෙසට පැමිණි වන්දනාකරුවන්ට දෙවැනි මුරපොල හමුවූයේ වව්නියාව මන්නාරම මාර්ගය එක්වන ස්ථානයේදීය. එම ස්ථානයේදී වාහනවල ගමන්ගන්නා රියදුරන්ගේ විස්තර සටහන් කරගන්නා අතර මැදවච්චිය මුරපොල පසුකර එන වාහන සියල්ලම මේ මුරපොලට පැමිණියාද යන්න පිළිබදව සටහනක් තබාගත්තේය.

මෙතැනින් ගමන්ගන්නා වන්දනාකරුවන්ට මඩු පල්ලියට පිවිසීමේදී හමුවූ අවසාන ආරක්ෂක මුර කපොල්ල මෙන්ම මඩු වන්දනාකරුවන් පරීක්ෂාකරන අවසාන මුර කපොල්ල වන මඩු පාර මන්සන්ධියේ පිහිටි මුර කපොල්ල දක්වා කිසිම තැනකදී වාහන නවතා පරීක්ෂා කළේ නැත. මඩු පල්ලියට පිවිසීමට පෙර හමුවන අවසාන මුර කපොල්ල විශාල මුර කපොල්ලකි.  මෙතැනදී සියලුම වාහන පමණක් නොව වන්දනා කරුවන් සියලුදෙනාම පරීක්ෂාවට ලක්විය.

දහස් ගණනින් වන්දනාකරුවන් මඩු පල්ලියට යෑමට පැමිණි නමුත් මෙතැන විශාල පොලිම් හෝ තදබදයන් දකින්නට නොලැබුනේය. වන්දනාකරුවන් ගමන්ගන්නා වාහනයේ අංකයේ සිට එංජිම දක්වා වන සියලුම විස්තර ඉල්ලා ආරක්ෂක අංශ විසින් ලබාදෙන පොරමය පිරවීමෙන් පසුව වාහනය පරීක්ෂා කිරීමට එක් ස්ථානයකට යවන අතර තවත් තැනක වන්දනාකරුවන්ගේ සිරුරු පරීක්ෂා කරන්නේය. මේ අතරවාරයේදී වාහනයේ ගමන්ගන්නා මගීන්ගේ නම් හා හැදුනුම්පත් අංක සදහන් ලේඛනයක් ලබාදීමෙන් පසුව වාහනය හා මගීන් පරීක්ෂා කළ බවට සදහන් කොළ කැබැල්ලක් වන්දනාකරුවන්ට ලබාදුන්නේ ඔවුන් අනුගමනය කළ යුතු දේ පිළිබදව සටහනක් සමගින්ය. ඒ අනුව මඩු පාර මංසන්ධිය පසුකිරීමෙන් පසුව පල්ලියට ළගාවනතෙක් කිසිම වාහනයකට මග දෙපස නතර කළ නොහැක. අගෝස්තු 16 වැනිදාට පෙර පල්ලිය භූමියෙන් සියලූම වන්දනාකරුවන් ඉවත්විය යුතුයැයි එහි සදහන් විය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරෙන ස්ථානයේ මඩු මාතාව වෙනුවෙන් ඉදිකළ සුරුවමකි. මේ සුරුවම ලා නිල් පැහැයෙන් දිළෙන්නේ මඩු බැතිමතුන්ගේ සිත් දේව බැතියෙන් පුරවාලමිනි.

‘‘ඉස්සර වගේ නෙමෙයි, මඩු පාර හංදිය අසල අලුතින් තොරණ හදලා තියෙනවා. මේක දැක්කාම හරි සතුටක් ඇතිවුනා.’’වෙන්නප්පුවේ සිට මඩු වන්දනාවට පැමිණ සිටි ලෙස්ලි ප‍්‍රනාන්දු කීවේය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරී ගමන් ගන්නා මාර්ගය දෙපස සිටිනේ අවි ගත් ආරක්ෂක භටයින්ය. බිම්බෝම්බ ඉවත් කර නොමැති බව සදහන් කෙරෙන මිනී ඔලුවක රූපයකින් යුත් රතු පැහැති සළකුනු පාර දෙපස ඇති කැළෑ පෙදෙස දකින්න ලැබෙන්නේය.

මඩු මෑණියන්ගේ ආශිර්වාද පතා පැමිණෙන බැතිමතුන් මඩු පල්ලියට පැමිණීම ආරම්භ කළේ අගෝස්තු මාසයේ මුල් සතිය අවසානයේදීය. ඇතැම් බැතිමතුන් අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මංගල්‍ය පූජාවට සහභාගී වන තෙක් මඩු පල්ලි භූමියේ රැදී සිටින්නේය. මෙසේ රැදී සිටින බැතිමතුන්ට නවාතැන් ගැනීමට හෝටල් තානායම් හෝ විශ‍්‍රාම ශාලා මඩු පල්ලිය අසල නැත. ඇත්තේ පල්ලියට අයත් කාමර කීපයක් පමණි. බැතිමතුන්ට නවාතැන් ගැනීමට මේ කාමර කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා ලක්ෂ ගණනක් වන බැතිමතුන් මඩු පල්ලිය අවට කූඩාරම් ගසාගනිමින් තාවකාලිකව නවාතැන් ගත්තේය.

බස් රථවලින් පැමිණි බැතිමතුන් විශාල කූඩාරම් තනද්දී තවත් බැතිමතුන් පිරිසක් ශෙල් ප‍්‍රහාරයන්ට ලක්ව බිත්ති පමණක් ඉතිරිව තිබූ කාමරයක වහලට ටෙන්ට් රෙදි යොදාගෙන තාවකාලික නවාතැනක් සකස් කරගෙන තිබුණි. දුප්පත් පෝසත් බේධයකින් තොවර මොවුන් මෙලෙස කූඩාරම් ගසාගෙන සිටියේය. බීමට ජලය ගැනීමට තැන තැන වතුර ටැංකි තබා තිබූ අතර බැතිමතුන් ළිං අසල එක්ව සිටියේ නෑමයට. තමන්ගේ ගෙවල් අසල නාන ඇදුම පිටින පාරේ නොයන බැතිමතුන් මෙදින තෙත ඇදුම් පිටින් තමන්ගේ කූඩාරම් වෙත ගමන් කිරීම සුලබ දසුනක් විය.

මංගල්‍යය ආරම්භවීමට පෙර සිට පල්ලියට පැමිණි බැතිමතුන් නොයෙක් පූජාවන් පැවැත්වූවේය. පල්ලියේ අල්තාරය දක්වා දණගසාගෙන ගොස් නොයෙක් භාරයන් ඉටු කළේය. පල්ලියේ ඇතුළත ඇති වලකින් බැතිමතුන් පස් ගැනීමට පෙළ ගැසී සිටියේය. මරදමඩු මෑණියන්ගේ පිළිරුව කාලයක් සගවා තිබූ ගසක් තිබූ බවට විශ්වාස කරන කිතුණු බැතිමතුන් ශුද්ධවූ පස්  බෑග් වලට පමණක් නොව අතේ තිබූ ලේන්සු තුවා හා කොළවලට එක්කර ගත්තේය. මෙම පස්වල ප‍්‍රාතිහාර්ය බලයක් ඇතැයි කිතුනු බැතිමතුන් විශ්වාස කරන්නේය.

පෘතුගීසි පාලන සමයේදී ඉන්දියාවේ සිට 1500 කාලයේදී ලංකාවට වැඩම කළවූ මඩු මාතාවගේ ප‍්‍රතිමාව කලක් ගසක කුහරයක සගවා තිබියදී දර කපන්නෙක් විසින් 1670දී සොයාගෙන ඇතැයි කිතුණු බැතිමතුන් විශ්වාස කරන්නේය. මේ ගස තිබූ තැන පල්ලිය ඉදිකර තිබෙන අතර බැතිමතුන් පස් ගෙනයන්නේ මේ ගස තිබූ බවට විශ්වාස කරන තැනෙන්ය.

‘‘මරිය මාතාව මෙකෙත් කල් අපව ආරක්ෂා කළා.’’ මඩු වන්දනාවේ පැමිණි වසය අවුරුදු හැත්තෑවක් වන බෙනඩික් පීටර් කීවේය.

මංගල්‍ය පූජාව පැවැත්වීමට පෙර අගෝස්තු 14 වැනිදා සවස පූජාව ආරම්භ වූයේ මල් වරුසාවක් මැදය. ගිනියම් පොළවට මේ මල් වරුසාව සිසිලක් ගෙන දුන්නේය.

කිසිදු බියකින් තොරව බැතිමතුන් දේව පූජාවට සහභාගීවූ නමුත් යුද්ධය පැවති කාලයේදී බැතිමතුන් කුඩා පිරිසක් මඩු මංගල්‍යයට සහභාගීවී තිබුනේය. ‘‘අපි ආවා. පූජාවට සහභාගී වෙලා ආපසු ගියා. අපිට මෙතැන රැදී සිටීමට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.’’ ප‍්‍රනාන්දු කීවේය.

2008 වසරේ අපේ‍්‍රල් මාසය ආරම්භ වන විට පල්ලිට අවට ප‍්‍රදේශයට ශෙල් ප‍්‍රහාර එල්ලවන්නට වූ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව ආරක්ෂාකරගැනීමට එය වෙනත් තැනකට වැඩම කරවීමට පල්ලියේ සිටි පූජකතුමන්ලා තීරණය කළේය.

‘‘අපේ‍්‍රල් තුන්වැනිදා හවස හටය විතර පැය භායක් තිස්සේ ශෙල් ප‍්‍රහාර එල්ලවීම නතරවී තිබුණා. නමුත් අධික වර්ශාව නිසා අපිට පිටත්වෙන්න පුළුවන් කම ලැබුනේ හවස 6.30ට විතර. ශෙල් ප‍්‍රහාර මැදින් කිලෝමීටරයක් විතර යනවිට අපි ගිය වෑන් එක ඉස්සරහට ශෙල් වැටුණා. එත් අපි විනාඩි පහළොවක් විතර ගිහින් අනතුරුදායක ප‍්‍රදේශය පසුකළා.’’ මඩු පල්ලිය අවට යුද් ගැටුම් දරුණුව තිබූ කාලයේ පල්ලියේ භාරකාරත්වය දැරූ එස්. එමිලියානස්පිල්ලේ පියතුමා පැවසුවේය.

මඩු පල්ලියේ තිබූ දේව මාතාවගේ පිළිරුව පෙරියමඩු හරහා තේවාන්පිට්ටිහි ශාන්ත සේවියස් පල්ලියට වැඩම කරවීය. ආරක්ෂක හමුදාවන් තේවාන්පිට්ටි ප‍්‍රදේශය අල්ලා ගැනීමෙන් පසුව ජූලි මරදමඩු මෑණියන්ගේ පිළිරුව නැවත වරක් මන්නාරමට වැඩම කළවූවේය. මෙය වැඩම කළවූයේ කිළිනොච්චිය,  ඕමන්තායි හා වව්නියාව ඔස්සේය. ඉන් පසුව මඩු පල්ලියේ මංගල්‍ය පූජාවක් පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේදීය.

Madhu 2ගැටුම් හමුවේ මරදමඩු මෑණියන් වැඩම සිටි පල්ලියට කිසිදු හානියක් නොවන විටදී ඒ අවට තිබූ ගොඩනැගිලි හානිවී  තිබුනේය.  මඩු මාතාවන් වැඩසිටි පල්ලිය අසලම ඇති පල්ලියේ තිබූ ජේසුතුමන්ගේ සුරුවම ගැටුම්වලින් හානිවී තිබුනේය. වෙඩි උන්ඩ හෝ ශෙල් කැබලි වැදී ඇති සලකුණු පැහැදිළිව පෙනෙන්න තිබුණි. විනාශවී තිබූ එම සුරුවම අසලට පැමිණි බැතිමතුන් ඉන් ආශිර්වාද පතා යාඥා කළේය.

‘‘මේක හාස්කමක්. (මඩු මෑණියන් වැඩම සිටි) පල්ලියට කිසිම හානියක් වෙලා නැහැ.’’ අනුරාධපුරයේ සිට පැමිණි මැදවච්චියේ විමල හිමියන් පැවසුවේය.

අගෝස්තු 15 වැනිදා හිරු උදාවත් සමගින් මඩු පල්ලියේ මංගල්‍ය පූජාව ඇරඹෙද්දී ලක්ෂ ගණනක් බැතිමතුන් ස්ථිර සාමයක් පතා දේවමෑණියන්ගේ පිහිට පැතුවේය. රටට සාමයක් ලගාකර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පූජාව අතරවාරයේදී මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව පල්ලියවටා වැඩම කරවන අතර වාරයේ බැතිමත්තු මහත් බැතියෙන් දෑත් දිගුකර සිය ප‍්‍රාර්ථනාවන් දෙවියන්ට යොමුකළේ කුඩා ළමුන් පියවරුන්ගේ කර මත සිටියදීය. මේ වේලාවේ බැතිමතුන් දෙවියන් වෙනුවෙන් ගීතිකා ගායනා කළ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව තමන් අසලින් වැඩම කරන විට බැතිමත්හු ‘‘ආවේ මරියා’’ යැයි ගායනා කරන්නට විය.

දේව පූජාව අවසන්වීමෙන් පසුව දිව්‍ය සප‍්‍රසාද වහන්සේ වැඩම කළවූ අතර පූජකතුමන්ලා විසින් බැතිමතුන්ට දිව්‍ය සප‍්‍රසාද වහන්සේ ලබාදුන්හ. මෙය ලබාගැනීමට බැතිමතුන් එක්පෙළට වී සිටියහ.

‘‘ලංකාවේ සෑම දෙසකින්ම බැතිමතුන් මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ දේව මාතාවට ගෞරව ආචාර කිරීමත් අපගේ ජීවිත වලට අවශ්‍යදේවල් ඉල්ලා සිටීමත්.’’ මංගල්‍ය පූජාව පවත්වමින් අගරදගුරු රංජිත් මැල්කම් පියතුමා පැවසූහ.

‘‘ජාතිය එකතුකිරීමට මඩු මංගල්‍ය සහෝදරත්වයේ සංකේතයක්. මේ මගින් ජාතිය එකතුකරන්න පුලුවන් කම තියෙනවා.’’ විමල හිමියෝ කීහ.

‘‘මේ වසරේ මංගල්‍ය පවත්වන්නේ වෙනස් තත්වයක් තුළයි. මේ රට අගාධයකට ඇද දැමූ යුද්ධය මේ වන විට අවසන් වෙලා තියෙනවා. සාමාකාමී පරිසරයක් ගොඩනැගෙමින් තියෙනවා.’’ මැල්කම් පියතුමා කීහ.

යුද ගැටුම් අවසානයේදී අවතැන්වූවන් බවට පත්ව සිටින 280,000ක අවතැන්වූවන් වෙනුවෙන්ද මෙහිදී යාඥා කළේය. ඔවුන්ට හැකි ඉක්මනින් නැවත තමන්ගේ ගම් බිම් වෙත යාමට හැකියාව ලැබේවායි අගරදගුරුතුමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මඩු මංගල්‍යයට බෞද්ධ හිමිවරුන් පවා වැඩම කරවීමෙන් එක රටක් ලෙසින් එක්වීමට ඇති අභිලාශය පෙන්නුම් කරන්නේයැයි උන්වහන්සේ සදහන් කළහ.

‘‘මරිය මාතාව අපිට සාමය හා බලාපොරොත්තුව ලබාදෙන බව අපි විශ්වාස කරනවා. දැන් අපිට හොද රටක් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න පුළුවන්.’’ මන්නාරමේ සිට සිය පවුල සමග මඩු වන්දනාවට පැමිණි සිංගරායන් සෙලස්තීන් කීය. යුද්ධය නිසා සෙලස්තීන්ගේ ජීවිතය කඩා වැටී තිබුණි. ඔහුගේ දරුවන් දෙදෙනෙක් ගැටුම්වලට මැදිව මියගොස් තිබූ අතර තවත් අයෙක් අවසන් සටන පැවති කාලයේදී අතුරුදහන්ව තිබේ.

‘‘මම දැන් මහළුයි. තවත් බොහෝ කාලයක් මට පවුලේ අය බලාගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ.’’ හෙතෙම කියයි.

‘‘දේව මාතාව අපි එකට එක්කර තිබෙනවා. අපට බලාපොරොත්තුවක් දී තිබෙනවා. ඒ අනුව එකට ජීවත්වීම අප කළ යුතු දෙයක්.’’ ඔහු කීවේය.

Following the end of the three decade long conflict in the country, over 500,000 devotees flocked to Madhu for the church feast. Devotees commenced flocking into Madhu from August 6 for the feat that was held on August 15. Many who flocked to Madhu stayed in tents till the end of the feast. Some even built themselves temporary shelters by fixing a make shift roof over rooms that have been left roofless due to bomb attacks during the war. Regardless of caste and creed, devotees at Madhu called on the Lord to pray and protect everyone. Due to the end of the war, the security checking on the road to Madhu was not too arduous. The three checkpoints commencing from the Medawachchiya-Mannar road kept records of all who traveled to Madhu. Interestingly, on the road to Madhu, devotees had to pass two IDP camps set up for the war displaced that was demarcated by an iron fence.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.