ඉස්සර කාලේ තිබුණු සැප පොජ්ජ පහසු පොජ්ජ මොන එකක්වත් දැන් කොදුයි

August 3, 2009 by Editor  
Filed under Featured, Stories

waddasOur way of life under threat – Veddahs

ලංකාවේ ආදිවාසීන් වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වූයේ කැළෑවේය. වනාන්තරයේ ජීවත්වූ ආදිවාසීන් මේ වන විට වනාන්තරයෙන් එපිටට පැමිණ ඇති අතර අතීතයේ තිබූ ජීවන රටාවට වඩා ඔවුන්ගේ ජීවන රටාව වෙනස්ව තිබේ.

‘‘ආදිවාසින් කියන්නේ ඉස්සර ඉදන්ම පැවතුනු ඇත්තෝ. අපි වැදි පරම්පරාවෙන් ඉපදුනු මිනිස්සු. කුවේණි මැණියන්ගෙන් ඉපදිචිච ඇත්තෝ. මේ ඉන්න ඇත්තෝ පුළුවන් විදියට  හිංගල කතා කොරනවා.  බැරි අය  වැදි බාසාවෙන් කතා කරනවා.”  මහියංගනයේ පදිංචි උණාපානවරිගේ හීන්බණ්ඩා පැවසිය.

වර්තමානයේ අපට හමුවන වැදි ජනතාව නොයෙකුත් රැකියාවල යෙදෙති.

‘‘ඉස්සර නම් හේනක් කොටල ජීවිතේ ගෙනිචිචා. දැන් එහෙම අමාරුයි. වෙලාවට වැස්ස  ලැබෙන්නේ නැහැ. වගා හේන් ඔක්කොම පාලුවෙලා. සමහර ඇත්තෝ මේවයින් ඇත්වෙලා. අපි කැලෑවෙ හිටිය කාලේ හරි අපුරුවට ජිවත් වුනා. දැන් කැලැවත් විනාශවෙලා. අපි ගම්වලට ඇවිල්ලා දුක්විදිනවා.” හින්බණ්ඩා කීවේය.

අපේ රටේ වැදි ජනතාවගේ නිජබිම වගේම නිවහන වන්නේ වනාන්තරයයි. හේන් වගා කොට ජීවත්වන මොවුන් වනාන්තර කෙරෙහි දක්වන්නේ ලෙන්ගතු හැඟීමක්. ගහකොළ බහුලව ඇති මේ වනාන්තරවල තමන්ට හිතකර පරිසරයක් තිබෙන බව පවසන වැදි ජනතාව සියළු වන සතුනට එහි විසීමට ඉඩ දිය යුතු බව ප‍්‍රකාශ කරති. වර්තමානයේ වැදි ජනයාගෙන් කොටසක් හෙන්නානිගල, දඹාන, මහියංගනය ආදි ගම්මානවල වාසය කරති. ඔවුන් කළින් වාසය කළ ඉඩම් අභයභුමිවලට පවරාගෙන ඇති බව ඔවුන් පවසන්නේ දැඩි කණස්සල්ලෙනි.

‘‘රුකං පොජ්ජ පටැරලා. මොනේකවත් කොදුයි. දැන් කැලෑ පොජ්ජේ තිබෙන්නේ ගල් පොජ්ජයි. බිමි පොජ්ජයි. රුකං පොජ්ජවල් පටැරලා. (ගස් කපලා  මොකවත් නැහැ. දැන් කැලේ තිබෙන්නේ ගලූයි බිමයි විතරයි. ගස් විනාශ කරල දාලා. අපි අපේ මී මුත්තන්ගේ කාලේ ඉඳලම කැලේ ආරක්ෂා කර ගත්තේ අපේ ඇස්දෙක වගේ.”  හීන්බණ්ඩා පැවසීය.

සංවර්ධනය මුවාවෙන් කරන බොහෝ නීති විරෝධි වන විනාශයන් නිසා තම නිජබිම ලෙස සැලකෙන  වනාන්තරවලට මහත් විනාශයක් සිදුව ඇති බව ඔවුන් පවසති.

‘‘ඉස්සර අපි හේන් කෙටුවා. එක එක දේවල් වගා කෙරුවා. මිරිස් කවදාවත් අපි කඩෙන් ගෙනල්ල කැවේ නැහැ. ඉස්සර තිබුනා වන්නි මිරිස් කියලා ජාතියක්. ඒව අපි හොඳට වගා කෙරුවා. දැන් ඔක්කොම වෙලා ඉවරයි. අපේ මිනිස්සුත් මේවට වැරදියි. දැන් හැම දෙයක්ම විනාශ කොරන්න  බලාගෙන ඉන්නවා. අපි කැලෑවට ආදරෙයි. සත්තුන්ට ආදරෙයි. පිරිමි සත්තු මැරුවත් ගෑණු සත්තු මැරුවේ නැහැ. අද පැටියා බෙඩි ඉන්දද්දි මරා ගෙන කනවා.  ඌණාපානවරිගේ  බණ්ඩියල ඇත්තෝ කිවේය.

පසුගිය කාලය පුරාවටම වැසි නොලැබීම නිසා මොවුන්ගේ වගා පාලුවට ගොස් ඇති අතර මේ නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි මොවුන් පවසන්නේය.
‘‘මේ පාර අපට වැස්ස ලැබුනේ නැහැ. දහ පහළොස්දාහක් වියදම් කොරල තමයි හේන් කුඹුරු කොටන්නේ. මෙදා පාර කන්න දෙකක් පරාදයි. කුරහන්, කඩල, කවුපි, සෝයා තමයි වැඩිපුර අපි වගා කෙරුවේ. කැලැවේ වවාගෙන කන නිදහසත් අපට නැතිවුනා. දේශපාලන මතිමතාන්තරවලට ගස් කපනවා. ඒක තමා වෙලා තියෙන්නේ. බලධාරින්ට  කිවිවට වැඩක් නැහැ.”  උණාපානවරිගේ හීන්බණ්ඩා පැවසුවේය.

වර්තමාන ආදිවාසීන්ගේ ජන ජිවිතය පුරාණ ආදිවාසීන්ගේ ජන ජිවිතයට වඩා බෙහෙවින් සංකිර්ණය.

‘‘මහියංගනයේ පවුල් හත් අටසියක් ඉන්නවා. දැන් හැම තැනම අපේ රැහේ එවුන් ජිවත් වෙනවා. ඉස්සර නම් හේන් කොටාගෙන ජිවත් වුනා. දැන් හේන් කෙටන්න අපිට ඉඩම් කොහෙන්ද. දැන් එදාවේල හොයා ගන්නෙත් ලෝක අමාරුවෙන්. මගේ පවුලේ දහ දෙනෙක් හිටියා. පස් දෙනෙක් මැරුනා. අනිත් අය කුලී වැඩ කරලා ජිවත්වෙන්නේ.” හීන්බණ්ඩා පැවසුවේය.

‘‘දැන් අපිට කැලේ තිබුණු බිම් පොජ්ජත් නැතිවෙලා. අපේ අය වන ජිවි එකට ගිහින් කියල තියෙනවා. ඔයාල නිදාගෙනද ඉන්නේ. ඔය අයින්කරපු මිනිස්සු මේ කැලේට ඇවිල්ලා රිංගලා  තියෙනවා. ඇයි රාජකාරි කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අපි ඔක්කොම එළියට ඇදල දැම්මා.  එහෙම අයින්කලාට පස්සේ ඒ ඇත්තෝ අපව උසාවි දැම්මා. අපට උසාවියට ගෙවන්න විදියක් නැහැ. ඊට පස්සේ අපේ කුඹුරු උගස් කරල තමා උසාවියෙන් අපි නිදහස් වුනේ.”  බණ්ඩියල ඇත්තෝ  කිවේය.

වර්තමානයෙහි අපට හමුවන ආදීවාසීන් තම තමන්ගේ නිවහන් ඉතාමත් සරල අන්දමින් තනා ගනිති. එමෙන්ම ඔවුන්ගේ දෛනික භාවිතයට යොදෙ ගන්නා ගෘහ භාණ්ඩත් ඉඑයින් මේ ජනතාවගේ සරල චාම් දිවි පැවැත්ම අපට මොනවට පැහැදිලි වෙති.

‘‘අපේ වරිගේ කැකුලෝ කැකුලියෝ ඉන්නවා. ඒ අයට යන්න පිළිසරණක් නැතිව තමා ඉන්නේ. ඉස්සර කැකුලයි කැකුලියි හිත්ලෑවම ඒ ඇත්තන් මංගචිචනවා. දෙන්න මැරෙනතුරු එකට ජිවත් වෙනවා. දැන් එහෙම බැහැ. අත්සන් කොරන්න  ඕන. ඒ අයටත් ගොඩක් ප‍්‍රශ්ණ තියෙනවා.”   කළු බණ්ඩා  පවසන්නේය.

වර්තමානයෙහිදී ආදී වාසීන් මුහුණු දෙන ගැටළු බොහෝමය. සියවස් ගණනාවත් ආදි වාසීන්ගේ නිජබිම් ලෙස පැවතුණු වාන්නතර අද අභය භූමි බවට පරිවර්ථනය කර තිබේ. එමනිසා දැන් ආදීවාසීන්ගේ දෛනික දිවිපෙවත මහත් ගැටළුකාරී තත්ත්වයක් ගෙන තිබේ.

‘‘අපි ඡන්දෙකින් ආව නෙමෙයිනේ. අපේ මේ පාරම්පරික උරුමය. අපේ මිනිස්සුන්ට කැලේ ජිවත්වෙන්න  ඕන. අපිට හේන් කරන්න බැහැ. දඩයම් කරන්න බැහැ. අපට මේ ඉඩම්වල හිමිකමක්  ඕනේ නැහැ. මේ කැලෑවේ ගස් හිටවල ඒවා ආරස්සා කරගන්න නිදහස දෙන්න.” ඌණාපානවරිගේ කළුවා පවසන්නේය.

‘‘මේක දැන් සංකර ලෝක පොජ්ජක් වෙලා. ගෑනු ළමයි කොටට අදිනවා. කොණ්ඩේ කපනවා. කලිසන් අදිනවා. අපි ඒවට කැමති නැහැ.  මට දරුවෝ නවදෙනෙක් ඉන්නවා. මං තනියම ජිවත් වෙන්නේ දඹානේ. මට හොඳට උයන්න පුලූවන්. ” බණ්ඩියල ඇත්තෝ පැවසුවේය.

අද වනවිට ආදීවාසීන්ගේ සමාජීය පසුබිම හා ජීවන රටාව බොහෝ සෙයින් වෙනස් වී ඇත.

‘‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මං ගොවිතැන් කරන්නේ. අපි දැන් ජනාවාස වෙලා ඉන්නේ. අපි ගම්වලට ඇවිල්ලා. අපි ඒකට අකමැතියි. ජනාවාස වුණාම පරම්පරාව ඉවරයි. කැළැවේ හිටපු අපි  එළියට ගන්නවා. කැලෑව දෙනවා අභය භුමිවලට. ඉතිං අර අපේ මිනිස්සු ජනාවාස කෙරුවට මොකවත් දන්නේ නැහැ. මේව තමයි අපට තියෙන කරදර.” ඌණාපානවරිගේ කළුවා වැඩි දුරටත් පවසන්නේය.

The changes in the modern world have resulted in drastic changes in the lives of the indigenous community in the country, known as Veddhas. The changes have created many socio-economic problems for them. They are disgruntled over moves to clear and destroy their former homeland, the jungles, under the guise of development. The Veddhas say the lands they used to cultivate have been taken over by authorities to develop sanctuaries. Unable to cultivate and hunt their food requirements, the Veddhas are now faced with many difficulties. They are also subjected to laws they were earlier unaware of. The community is now spread in various places in Hennanigala, Dambana, Mahiyangana after they lost their lands in the jungles.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.