උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 1000 මරුට

September 18, 2009 by Editor  
Filed under Featured, Stories

590 px
Kidney ailments linked to pesticide use

උතුරු මැද පළාතේ  වකුගඩු රෝගීන් 1000 ක් මේ වනවිට මිය ගොස් ඇත.  මෙයට අමතරව එම පළාතින් පමණක් වකුගඩු රෝගීන් 10 000ක් හදුනාගෙන ඇත.

වසංගත රෝගයක් සේ පැතිර යන මෙම රෝගය උතුරු මැද පළාතට යාබදව පිහිටි උාව හා නැගෙනහිර පළාත දක්වාද පැතිර යාමේ අවදානමක් පවතී.

මෙම නිධන් ගත වකුගඩු රෝගයවළක්වා ගැනීමට ඇති ප‍්‍රධාන බාධකයක් වන්නෙ ගොවිතැන් කටයුතු සදහා කෘතීම පොහොර  භාවිතා කිරීම බව ඒ පිළිබදව පර්යේෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.
‘‘ ගොවීන් භාවිතා කරන මේ රසායන ද්‍රව්‍ය මේ ප‍්‍රදේශයේ භූගත ජලයට හා වාරිමාර්ග වලට එකතු වෙනවා.  මේ ප‍්‍රදේශ වල ජනතාව පරිභෝජනයට ගන්නේ එලෙස දුෂිත වූ ජලයයි. එමගින් වකුගඩු අකී‍්‍රය වීමේ විෂකාරක මිනිස් සිරුරට එකතු ඇතුළු වෙනවා.’’ මහාචාර්ය සරත් බණ්ඩාර පැවසීය.

උතුරු මැද පළාතෙන් හදුනානොගත් රෝගයකින් රෝගීන් මිය යාම ප‍්‍රථම වරට  වාර්තා වූයේ වසර 2002 දී මැදවච්චිය
ප‍්‍රදේශයෙනි. ඉන් අනතුරුව මේ පිළිබද පරීක්ෂණ පැවැත් වූ වෛද්‍යවරුන් මෙය වකුගඩු අකී‍්‍රය වීමෙන් ඇති වන රෝගයක් බව හදුනා ගත්හ. මේ වකවානුවේ උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සීගලෙස වාර්තා වීමත් සමගම එවන් තත්වයක් ඇති වීමට හේතු සේවීම ආරම්භ විය. මේ සම්බන්ධව විවිධ මත අදහස් ප‍්‍රකාශ වුවද වකුගඩු රෝගය වැළදීම කෙරෙහි ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මූලික වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘වියළි කලාපයේ ගොවීන් වැඩි වශයෙන් සිය ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නෙ පොස්පේට් අඩංගු ටී එස් පී පොහොර. මේ පොහොර ඉතා අඩු මිලට විදේශ රටවලින් මෙරටට ගෙන්වන්නෙ. මේ පොහොර නියමිත ප‍්‍රමිතියකට නිපදවූ ඒවා නොවෙයි. එ නිසා එවායේ බැර ලෝහ ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. බොහොමයක් බැර ලෝහ මිනිස් සිරුරට අහිතකරයි. ටී එස් පී පොහොර වල කැඩ්මියම් ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා’’ යැයි මහාචාර්ය බණ්ඩාර පැවසුවේය .

කැඩ්මියම් යනු මිනිස් සිරුරුට බෙහෙවින් අහිතකර බැර ලෝහ වර්ගයකි. මේ රසායන ද්‍රව්‍යය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් වඩාත් හානිහට පත් වන්නේ මිනිසාගේ වකුගඩු  පටකයි. කැඩ්මියම් මිලි ග්රූම් 0.5 ක් මිනිස් සිරුරට ඇතුළු වුව හොත් එය මිනිස් සිරුරෙන් පිටව යෑමට අවුරුදු 30 ක් ගතවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය මිනිසාගේ ආයු කාලය අවම කිරීමට හේතුවකි.

ටී එස් පී පොහොර භාවිතය හේතුවෙන්  වගා බිම්  වලට විශාල වශයෙන් කැඩ්මියම් රසායනය එකතු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ එම වගා බිම් වල කැඩ්මියම් අඩංගු ජලය වාරි මාර්ග හරහා වැව් වලට එකතු වීමයි. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු බැවින් නැවත නැවතත් වාරි ජලය ගොවිතැන් කටයුතු යෙදීමට සිදුවේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එකිනෙකට සම්බන්ධ වන කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති බැවින් මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉහළ වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන මැදවච්චිය ප‍්‍රදේශයේ කරපික්කඩ වැවෙන් ජලය ලබාගන්නා ගොවීන් මේ රෝගයට ලක් වීමේ අවධානමක් ඇත. එමෙන්ම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගීන් අතරින්  85% ක් වාර්තා වන මැදිරිගිරිය ප‍්‍රදේශයේ ගොවීන් වැඩි පිරිසක් ජලය ලබා ගන්නේ කවුඩුල්ල වැවෙනි. මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ. මේ ආකාරයෙන්ම මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ ආශි‍්‍රතව වී හා තේ වගාවන් සදහා භාවිතා කරනු ලබන ජලය මහවැලිගගට මුදාහැරීමෙන් එම ජලය භාවිතා කරනු ලබන මහවැලි කලාප වල ජනතාව රෝගී වීමේ අවධානමක් ඇතැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

‘‘ මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ වල වගාවන් වන වී හා තේ වගාවන්  සදහා ටී එස් පී පොහොර භාවිතා කරනවා. ඒ මගින් කැඞ්මියම් රසායනය මහවැලි ගගට එකතු වී  ජලය මගින් පහළට ගෙන එනවා. එය වඩාත් හානිදායක වන්නේ මහවැලි කළාප වල ගොවීන්ටයි. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර කීවේය.

ජලය මගින් කැඞ්මියම් බැර ලෝහය මිනිස් සිරුරට ඇතුථ වීමේ ප‍්‍රවණතාව ඉහළය. කැඞ්මියම් අඩංගු ජලය ශාක වලට උරා ගැනීමෙන් අනතුරුව ඒ ශාක වලින් නිෂ්පාදිත ආහාර භාවිතයට ගැනීමෙන්  මේ රසායනය මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

උදාහරණ ලෙස සහල් නෙථම් අල රනිල බෝග මගින් මේ රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුලු   වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම කැඩ්මියම් අඩංගු තණකොළ ආහාරයට එළදෙනකගේ කිරි ආහාරයට ගැනීමෙන්ද මෙම රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුළු විය හැකි බව මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘ වියළි කළාපයේ බොහෝ ගොවීන්ගේ වගා බිම් පිහිටා ඇත්තේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින්. ගොඩක් අය වගා බිම් වලට යන්නේ උදේ ආහාරයවත් නොගෙන. ගොඩක් වෙලාවට දවල් ආහාරයට ගන්නෙත් පාන් සහ වැව් මාථ. මේ වැව් මාළු වලත් කැඞ්මියම් රසායනය අඩංගු වෙනවා. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

උතුරු මැද පළාතේ ගොවියන් බොහෝවිට සමබර අහාර වේළක් නොගැනිමේන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් තන්තුමය ආහාර වේලක් නොගැනීමෙන් කැඩ්මියම් වැනි අහිතකර බැර ලෝහ මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

මේ වන විට උතුරු මැද පළාතේ මැදවච්චිය නොච්චියාගම පදවිය ශි‍්‍රපුර මැදිරිගිරිය වැනි ප‍්‍රදේශවල වකුගඩු රෝගීන් විශාල ප‍්‍රමාණයක් වාර්තා වී තිබේ. එහෙත් මේ පිළිබද තවමත් වගකිව යුතු අංශ වලින් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි පැනෝස් සංවිධානයේ වෛද්‍ය ප‍්‍රසන්න කුරේ මහතා සදහන් කරයි.

‘‘ මේ ලෙඬේ හොයා ගෙන අවුරුදු ගණනාවක් ගිහිල්ලා. ඒත් තවමත් අපේ ප‍්‍රශ්නෙට හරි විසදුමක් ලැබිලා නැහැ. විසදුම් තිබුණත් ඒවා ප‍්‍රමාණවත් නැහැ.’’ යැයි ගිරාදුරුකෝට්ටේ ගොවියෙකු වන කේ. රම්බණ්ඩා පවසයි.

‘‘ අපි රෝගයෙන් වැලකී සිටීමට මැටි වළං භාවිතා කරනවා. වතුර පෙරා බීමට ගන්නවා. ඒත් මේ ප‍්‍රදේශයෙ විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් ඉන්නවා. පවුලක මූලිකයාට මේ ලෙඬේ හැදුණොත් ඒ පවුලම ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ වෙන්නෙ.’’

උතුරු මැද පළාතේ නිධන් ගත වකුගඩු රෝගය හේතුවෙන් සමාජ ප‍්‍රශ්න රුසක්ද නිර්මාණය වී ඇති බව නොරහසකි.

‘‘ මේ වකුගඩු රෝගය වැලැක්වීමට කළ යුතු බොහෝ දේවල් තියෙනවා. රෝගයට බෙහෙත් ලබා ගන්නා අතරම රෝග මූලාශ‍්‍ර විනාශ කිරීමට පියවර ගත යුතුයි. ’’ මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

රෝගයට මූලික හේතුවක් වන ටී එස් පී පොහොර භාවිතය අවම කරීම ඉන් ප‍්‍රමුඛ වේ. විදේශ රටවලින් නිසි ප‍්‍රමිතියකින් තොරව ලංකාවට ගෙන්වන මෙම පොහොර වල කැඞ්මියම් විශාල සංයුතියක් අඩංගු වන බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් එය පොස්පේට් කිලෝග්රූම් එකකට කැඩ්මියම් මිලිග්රූම් දහයකි. එහෙත් ලංකාවේ නිෂ්පාදිත එප්පාවල පොස්පේට් පොහොර ඊ එස් පී වල අඩංගු වන්නේ පොස්පේට් කිලෝග්රැම් එකකට කැඞ්මියම් මිලිග්රෑම් එකයි දශම දෙකකි. එය අඩු අගයකි. එබැවින් එප්පාවල පොස්පේට් පොහොර වගාවන්ට සුදුසු බව මහාචාර්ය බණ්ඩාර ගේ අදහසයි. එමෙන්ම සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් වැළකි සිටීමට හැකි බව හෙතෙම පවසයි.

‘‘ අඩුම තරමින් දිනකට කතුරුමුරුංගා මැල්ලූමක්වත් ආහාර වේලට එක් කරගත යුතුයි.එවිට ශරිරයට ඇතුලූවන අහිතකර රසායන බහිස‍්‍රාවීය ද්‍රව්‍ය සමග පිටවෙනවා.’’ මහාචාර්ය බණ්ඩාර පවසයි.

සිරුර සුදු මැලිවීම පපුවේ මහන්සිය  ශරීරය ඉදිමීම යන ලක්ෂණයන් වකුගඩු රෝගයේ රෝග ලක්ෂන ලෙස වෛද්‍ය වරුන් හදුන්වා දෙති.  බොහෝ පිරිස් මෙම රෝගී තත්වය’ හදුනා ගනුලබන්නේ ශරීරය ඉදිමීමත් සමගය.

දීර්ඝ කාලීන වකුගඩු රෝගය සදහා හේතු වශයෙන් දියවැඩියාව රුධිර පීඩනය ප‍්‍රවේණිගත රෝග මුත‍්‍රාශ‍්‍රයේ ගල් ඇති වීම ආදිය හේතු වී ඇතැයි  අනුරාධපුර සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර පවසන්නේය.මෙම රෝගී තත්තවයන් පවතින්නේ නම් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු බවයි  හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘අඹ ගෙඩියක් වගේ තියෙන්න  ඕන වකුගඩු දෙක මේ රෝගය නිසා ගොරක මද දෙකක්වගේ ඇකිලෙනවා.මේ රෝගය වැළදුන රෝගියෙක්ගෙ ආයු කාලය අවුරුදු පහකට සීමා වෙනවා.දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන රෝගීන්ටත් මෙම රෝගය වැළදෙන්න පුලුවන්”  වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසීය.

පළාත් සභාවෙන් රුපියල් පන්සීයක මුදලක් වකුගඩු රෝගියකුට ලබා දීමට පියවර ගෙන ඇත.එහෙත් මෙම රෝගය වැළදුන පුද්ගලයකුගේ මානසික මට්ටම සුව කිරීමට හැකියාවක් නොමැත.මේ සදහා හොදම ප‍්‍රතිකර්මය වන්නේ රෝගය සෑදීමට ප‍්‍රථම  එය වළක්වා ගැනීමය.එහෙත් මේ සදහා අවශ්‍ය ශ‍්‍රම බලකායක් නොමැත් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙන්නේ.

වකුගඩු රෝගය වැළදුන රෝගින්ට එම තත්ත්වය පසුකාලීනව තම කොදු ඇට පෙළට බලපෑම නිසාවෙන් කුදුබාවයට පත් වීම නිසාවෙන් මහත් අපහසුතාවයට පත්වේ.මෙම වකුගඩු රෝගී තත්ත්වය නිසාවෙන් විශාල වශයෙන් මියයනු ලබන්නේ වයස අවුරුදු තිහත් හතළිහත් අතර පුද්ගලයන් බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දුන්නේය.වෛද්‍ය උපදෙස් පිළිනොපැදීම ආහාර පාලනයක් නොමැති වීම මෙයට හේතුව බවද හෙතෙම පැවසීය.

කෙසේ වුවද මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සදහා ඇති එකම මාර්ගය වන්නේ ආහාර පාන  වර්ග නිසි ආකාරව ලබා ගැනීම මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම පමණක් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙනු ලබන්නේ.

Pesticides used for paddy cultivation has resulted in the spreading of kidney diseases in the North Central Province. While 10,000 persons have been infected by kidney diseases in the Province, there have so far been 1,000 reported deaths. The diseases are caused when pesticides contaminate the underground water springs and the water systems in the area. The first kidney disease related death in the Province was reported in 2002. The banning of fertilizer and pesticides with minerals harmful to humans, consuming proper food and water and frequent medical check ups are identified as means to control the disease. The provinces adjoining the North Central Province, Uva and Eastern Provinces also face the risk of being affected by kidney diseases.

  • Share/Bookmark
Creative Commons

Comments

One Response to “උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 1000 මරුට”