කොත්තු බාස්ගේ සිහිනය.
Kottu Bas talks to Perambara
දේවානන්දන්ට කොළඹට එන්නට කවදාවත් ඕනෑ වූයේ නැත. හී ගඩු පිපෙන සීතලේ උපන් දේවානන්දන්ට කොළඹ රටේ රස්සාවක් කරන්නට සිදුවේ යැයි සිතුනේද නැත. එහෙත් ඔහුගේ දෛවය ලියැවුණේ ඔහුට වුවමනා හැටියට නොවේ. හිමි වූ දෛවය වෙනස් කරන්නට දේවානන්දන් උත්සාහ ගත්තේද නැත. අද ඔහු මසකට රුපියල් තිස් පන් දහසක පමණ ආදායමක් උපයන්නෙකි. ඒ සීත කාමරයක කැරකෙන පුටුවක හිද නොවේ. පානදුර කෑම කඩයක කොත්තු ගැසීමෙනි. දේවානන්දන් වැඩ කරනනේ මහත් තෘප්තියෙනි.
‘‘ ජීවත් වෙන්න තරම් සල්ලි අතට හම්බවෙනවා. ඒ හින්දා කරදරයක් නෑ ’’ දේවානන්දන් පවසන්නේය.
දෙමළ ජාතක මව් පිය යුවළකට දාව දේවානන්දන් කුමාර් උපන්නේ නුවරඑළිය කිරිමැඩියාන ප‍්‍රදේශයේය. ඔහුගේ මව්පියන් වතුකරයේ තේ දළු කැඩිම ජීවිකාව කර ගෙන සිටියද ඉන් ලද ආදායම දරුවන් සිව් දෙනෙකුගෙන් යුක්ත පවුලක් නඩත්තු කරන්නට සෑහුණේ නැත. දේවානන්දන්ට මල්ලිලා දෙදෙනෙක් සහ නංගි කෙනෙක්ද වූහ.
‘‘ මම ඉස්කෝලේ ගියේ තුනේ පන්තියට විතරයි. අම්මයි තාත්තයි හදිස්සියේම වගේ මැරුණා. තාත්තා නම් ටික කාලයක් රෝගී වෙලා හිටියා. ඊට පස්සෙ මල්ලිලා දෙන්නයි නංගියි නෑදැයෝ බාර ගත්තා. මම ගාල්ලෙ බංගලාවක වැඩට ආවා. එතකොට මට අවුරුදු දොළහයි. ’’
පාසල් ජීවිතයට ආයුබෝවන් කියා ගාල්ලට ගිය ගමන දේවානන්දන්ගේ ජීවිතය එහෙම් පිටින් වෙනස් කරන්නට සමත් විය. ගාල්ලෙ බංගලාවේ මහත්තයාට කඩයක් හිමිව තිබුණි. දේවානන්දන්ට සිදුවූයේ ඒ කඩයේ අත් උදව් දීමය. සියුමැලි ළමා වියේ සිටම ජීවිතයේ කටුක බර දරන්නට දේවානන්දන්ට සිදුවුවද ඒ සියල්ල දරා සිටීමට ඔහුට සිදු විය. එහි
ප‍්‍රතිඵලය වුයේ දහසක් දුක් කරදර වලට ඔරොත්තු දෙන ජීවිතයක් දේවාට හිමි වීමයි.
‘‘ මම අවුරුදු පහක් විතර බංගලාවේ හිටියා. කඩවල වැඩ කරන්නේ කොහොමද කියලා මම එතනින් ටික ටික ඉගෙන ගත්තා. ’’
තම අනාගත රැකියාවේ පදනම වැටුණේ ගාල්ලේදී බව දේවාගේ අදහසයි. දාහත් වියැති දේවානන්දන් ආපසු ගමට යන්නේ ගාල්ලේ බංගලාවෙ රැකියාවෙන් ඉවත් වීමෙන් අනතුරුවය. මේ වන විට දකුණේ සිංහල දෙමළ ගැටුම් ඇරඹී තිබුණි. සිය ජීවිතයට රතු එළි දැල්වී ඇති බව දේවාට වැටහී ගියේය. සිංහල මිතුරන් රැසක් ද දේවා හදුනාගෙන සිටියේය. ඔවුනගේ ආරක්ෂාව තිබුණද සියල්ල පසෙක ලා ජීවිත රැකවරණය උදෙසා දේවා ගමට යන්න සිතුවේය. තම නෑ සියන් අතරෙහි ජීවත් වීම සැපක් යැයි ඔහුට සිතුණි. රැකියාවෙන් ඉවත් වී ගමට ගිය දේවාට පැහැදිලි අරමුණක් තිබුණේද නැත.
‘‘ ගමට ගියාට කරන්නෙ මොනවද කියලා මම හිතුවෙත් නෑ. ඒත් නිකම් ඉන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ. ඊට පස්සෙ අපිට පුරුදු රස්සාවම කරන්න හිතුවා.’’
පුරුදු රස්සාව ලෙස දේවා හදුන්වන්නේ වතුකරයේ තේ දළු කැඞීමයි. දේවා තමන්ට ආසන්නතම වතු යායේ සේවයට යන්නට තීරණය කළේය. ඔහුගේ ජීවිතයේ තවත් අවුරුදු කිහිපයක් ගෙවී ගියේ නුවරඑළියේ කටුක සීතල මධ්‍යයේය. මේ වන විට දේවා තුරුණු වියට එළඹී සිටියේය. ජීවිතය එක සේ බෙදා ගන්නට කිසිවෙක් සිටින්නේ නම් මැනවැයි ඔහුට බොහෝ වර සිතිණි. දේවාට චන්ද්‍රකාන්ති මුණ ගැහෙන්නේ මංගල යෝජනාවකිනි. එහි ප‍්‍රතිඵලය වන්නේ දේවාගේ තනිකඩ ජීවිතය ඉක්මනින්ම නිමා වීමයි. විවාහ වන විට දේවාගේ වයස අවුරුදු විසි එකකි. කල් ගත වත්ම ඔහුගෙත් චන්ද්‍ර කාන්තිගෙත් නිවහනට තුන් වැන්නෙක්ද එකතු විය. ඒ ඔවුන්ගේ සිගිති දියණිය වු කෛළෙයිවානිය. මේ වන විට දේවාත් චන්ද්‍රකාන්තිත් තේ කම්හලක රැකියාව කරමින් සිටියහ. එහෙත් ඉන් ලැබෙන ආදායම සුව සේ ජීවත් වන්නට ප‍්‍රමාණවත් නොවන බව දේවාට වැටහී ගියේය. දේවාගේ පවුලට සිව් වැන්නාද මේ වන විට එකතු වී සිටියේය. ඒ ඔවුන්ගේ පුතු වූ දේව කුමාර්ය. පවුල් බර වැඩිවන විට දේවාට හිතට සැනසීමක් ලැබුණේ නැත. ජීවිතය මීට වඩා සැපවත් විය යුතු යැයි ඔහු සිතුවේය. වතු රැකියාවෙන් ඉවත් යුතු යැයි දේවාට සිතිණි.
‘‘ ඊට පස්සේ මම ආයෙමත් කොළඹට එන්න තීරණය කළා. යාළුවන්ගේ මාර්ගයෙන් කොළඹ බ්ලූමැන්ඩල්වල ජොබ් එකක් හොයා ගත්තා.’’
දේවානන්දන් පවසන ආකාරයට බ්ලූමැන්ඩල් වලට පැමිණි පසු ඔහුට නිශ්චිත රැකියාවක් ලැබුණේ නැත. රැකියා කිහිපයක නියුතු වූවද ජීවත් වීමට සරිලන ආදායමක් ඔහුට හිමි වූයේ නැත.
‘‘ මෙහෙම ඉන්නකොට බ්ලූමැන්ඩල් වලදී අ`දුරා ගත්තු යාළුවෙක් මාර්ගෙන් ආයෙමත් කඩේක වැඩ කරන්න චාන්ස් එකක් ආවා. ඊට පස්සෙ තමයි කොල්ලූපිටියෙ කෑම කඩේක වැඩට ආවේ.’’
මුලින්ම දේවානන්දන්ට සිදු වූයේ කෑම කඩේ ප‍්‍රධාන බාස්සුන්නැහෙට උදව්වට සිටීමය. එහි ප‍්‍රතිඵලයක් ලෙස උයන පිහින වැඩ සෙමෙන් සෙමෙන් ඉගෙන ගන්නට දේවාට අවස්ථාව ලැබුණේය. ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ රෝල්ස්, එළවලූ රොටී, පරාටා, සමෝසා වැනි කෑම සෑදීමටත් කොත්තු ගැසීමටත්ය. ඉන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාබ මහත් බවද දේවානන්දන්ට තේරුම් ගියේය.
ටික කලක් කොල්ලූපිටිය කෑම කඩේ සේවය කළ දේවා ඉන් ඉවත් වී පානදුර කෑම කඬේකට සේවයට ආවේය. එයද ප‍්‍රධාන බාස් යටතේය. එහිදීද කෑම ඉවීමේ කලාව ප‍්‍රගුණ කරන්නට දේවාට හැකි වූයේය. කල් ගත වත්ම පානදුර කඩේ ප‍්‍රධාන බාස් වන්නට දේවාට හැකි විය. එය වූයේ අහම්බයෙනි. කලින් සිටි ප‍්‍රධාන බාස්සුන්නැහෙ කඩ හිමියා සමග අමනාපයක් ඇති කරගෙන පිටව යාමෙන් අනතුරුව දේවා ප‍්‍රධාන බාසුන්නැහෙ බවට පත් විය.
දේවාගේ ප‍්‍රධාන රාජකාරිය වූයේ කොත්තු ගැසීමය. කොත්තු ගසන්නට හැමෝටම බැරිය. ඒ පිළිබද මනා පුහුණුවක් නොමැත්තේ නම් කොත්තුවේ පදම එන්නේ නැති බව දේවා කියයි. ඔහුගේ රාජකාරී වෙලාව උදේ එකොළහේ සිට රාත‍්‍රි එකොළහ දක්වා පැතිරෙයි. කොත්තු ගසන්නට පටන් ගන්නේ හවස හයේ සිටය. ප‍්‍රධාන පාරක නයිට් කඩයක් නම් බිස්නස් සරු බව දේවා කියයි. ඔහුට නිවාඩු දිනයක් නැත. කඩේ අසළ නිවසක නවාතැන් ගැනීමට දේවාට සිදුව තිබේ. ඔහුගේ දිනක වැටුප රුපියල් දහස ඉක්මවයි. මේ දිනවල දේවා පානදුරේම නව කඩයක ප‍්‍රධාන බාසුන්නැහෙ වී සිටියි.
‘‘ මේ පැත්තට එන්න නම් අපේ ගාණ ටිකක් අඩුයි. ඒත් කොටුවෙ වගේ බිස්නස් වැඩි පැතිවල අපිට රුපියල් හැට දාහක් විතර ගන්න පුළුවන් ’’ දේවා පවසයි.
දේවා නිවසට යන්නේ මාස දෙක තුනකට සැරයකි. ඔහුගේ බලාපොරොත්තුව පාසල් යන සිය දරුවන් දෙදෙනාට හොදින් ඉගැන්වීමය.
It was merely by chance that Devanandan Kumar became a kottu maker in a food boutique in Panadura earning close to Rs. 35,000 per month. Devanandan had to give his education and begin work at the age of 12 after his parent’s death. He had to work as a helper at a shop in Galle. After returning to his village in Nuwara Eliya at the age of 17, Devanandan married Chandrakanthi. Realizing that the money earned by working at the tea estate was insufficient to maintain his family, Devanandan returned to Colombo. After working under the head cook in several food boutiques in Colombo and Panadura, Devanandan managed to become the chief cook in a new food boutique in Panadura. Devanandan manages to visit his family once every few months and his only hope is to provide a sound education for his children.




