කප්පරතොට කොරල් පරය සංරක්‍ෂණය කෙරේ

September 7, 2009 by Editor  
Filed under Featured, Stories

Koral mainSaving coral reefs in the south and continuations

අද වන විට ලෝකයේ හිඟ වී යන සම්පත් අතරට සාගර සම්පත් හිඟ වී යෑමේ අවධානමද පවතින්නේය. මේ නිසා අනාගතයේ සාගර සම්පත් නෙළා ගැනීම පිළිබඳ අර්බුද රාශියක් හමුවේ ලෝකය පවතින්නේය.වැලිගම කප්පරතොට කොරල් පරය ද සීග‍්‍රයෙන් විනාශ වන්නට පටන් ගෙන තිබේ. මේ නිසා එය කඩිනමින් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

‘‘මුහුදු සම්පත් ආරක්‍ෂා කිරීමෙන් ඒවාගේ ප‍්‍රතිඵල ලැබෙන්නේ අපේ ප‍්‍රජාවටමයි. විශේෂයෙන් මුහුදු වෙරළේ ඉන්න අයට. අද අපි මේ කොරල් පවිත‍්‍ර කරනවා වගේම ඉදිරියටත් මේ විදියට ක‍්‍රියාත්මක වෙන්න  ඕන. කොරල් විතරක් නෙවෙයි අනෙකුත් ජීව සම්පතුත් අපිම සහභාගීවෙලා දිගටම ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත්.” ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත ෆැක්ට‍්‍රික් ටී එවාන් පවසන්නේය.

මෙවැනි කොරල් ආශ‍්‍රිතව මත්ස්‍ය සම්පත් බහුලව ජීවත් වේ. එය ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවට බොහෝ සෙයින් කර්මාන්තය කරගෙන යෑමට ඉවහල් වී ඇත. නමුත් කොරල් විනාශ වීමෙන් එය ධීවර කර්මාන්තයට බාධාවක් විය හැකිය.

‘‘අද ධීවර සම්පත් ලෝකයේ හැම රටකම වගේ විශාල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ. අපි මේ සම්පත ආරක්‍ෂා කර නොගත්තොත් මේක විනාශ වෙලා ගිහිල්ල අවසානයේ මුහුදුබඩ ප‍්‍රදේශවල අය ඉතා දිළිදු තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේක ආරක්‍ෂා කර ගන්න  ඕන.” කෘෂි සංවර්ධනය සඳහා වූ අන්තර් ජාතික අරමුදලේ ජාතික සම්බන්ධීකරණ නිළධාරී නිමල් වීරරත්න පවසන්නේය.

සීමාවන් ඉක්මවා සාගර සම්පත් නෙළා ගැනීමත් එය විනාශ වීමට හේතුවක් වී ඇත.

‘‘මුහුදු සම්පත කියන්නේ ජීවි සම්පතක්. මේ ජීවි සම්පත අපට  ඕන  ඕන විදියට නෙළා බැහැ. ඒකේ සීමාවන් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගියොත් මේක විනාශ වෙන්න පුළුවන්.” වීරරත්න පවසයි.

මෙවැනි සාගර සම්පත් ආරක්‍ෂා කර ගන්න විවිධ නීති රීති සකස් කර තිබේ. නමුත් ඒවා නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක වීමක් දකින්නට නොලැබේ. මෙයද මුහුදු සම්පත් විනෘශ වීමට එක් හේතුවක් වි ඇත.

‘‘මේවා ආරක්‍ෂා කරන්න අපේ රටේ හුඟක් නීති හරිගස්සල තියෙනවා. නමුත් මේවා ක‍්‍රියාත්මක වීමේදී හරියට ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට හේතුවක් තමයි නීති හරි ගස්සද්දී මුහුදු සම්පත් නෙළා ගන්නා මූලික ප‍්‍රජාව වන ධීවර ප‍්‍රජාව සහභාගී කරවා ගෙන නැති එක.” වීරරත්න එසේද පවසයි.

විශේෂයෙන් සාගර සම්පත් පිළිබඳ පර්යේෂණ කටයුතු බොහෝ වශයෙන් නාරා ආයතනය විසිනි. ඒ අනුව අපේ රටේ තිබෙන සාගර සම්පත් පිළිබඳව නාරා ආයතනය මේ වන විට පර්යේෂණ රාශියක් පවත්වා තිබේ.

‘‘1985 ඉඳල නාරා ආයතනය මේහි පර්යේෂණ කටයුතු කරනවා. එහිදි අපි දැක්ක දෙයක් තමයි මෙම පරයේ තත්වය පහළ වැටෙනවා. 1988 දී කොරල් විරංජනය වූනාට පස්සේ ලංකාවේ විතරක් නෙවෙයි ඉංදියාව වගේ රටවල් වලත් කොරල් මැරුණා.” නාරා ආයතනයේ පර්යේෂණ නිළධාරී ආර්ජන්ට් රාජසූරිය පවසන්නේය.

මෙම කොරල් පරය නැවත වර්ධනය වීමට පටන් ගෙන තිබේ.නමුත් 2004 දී ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා යළිත් මෙම පරයට හානි සිදු වී තිබේ.

‘‘මේ කොරල් යථා තත්වයට පත් වෙද්දී 2004 දී සුනාමිය ආවා. ඒ නිසා මැරිච්ච කොරල් කොටස් කැඩිල ගියා. වැලි තට්ටු මේ කොරල් මත පතිත විමෙන් මේකේ ඇල්ගාවන් විශාල වශයෙන් වර්ධනය වෙලා. ඒ නිසා ධීවර ප‍්‍රජාවත් එකතු කර ගෙන මෙහි තියෙන වීදුරු කෑලි, බෝට්ටු කෑලි, දැල් කෑලි ආදී අපවිත‍්‍ර ද්‍රව්‍ය ඉවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” රාජසූරිය එසේ විස්තර කරයි.

කප්පරතොට කොරල් පරය සමුද්‍ර විද්‍යාඥයින් ලෙස ඉගෙන ගන්නා සිසුන්ට හොඳ තෝතැන්නක් වී තිබේ.

‘‘මෙතන නොගැඹුරු පරයක් තියෙනවා. මුහුදු තෘණ කලාපයක් මෙතන තියෙනවා. ඒ වගේම හොඳ කොරල් පද්ධතියක් මෙතන තියෙනවා. අනාගතයේ බිහිවන සමුද්‍ර විද්‍යාඥයින් පුහුණු කරන තැනක් විදියට මෙතන භාවිතා කරනවා.” රුහුණ විශ්ව විදයාලයේ සාගර අධ්‍යයන අංශයේ අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පවසයි.

දකුණු පළාතේ තිබෙන ලොකුම කොරල් පරය ලෙස මෙය හැදින්වේ. නමුත් ධීවරයින්ගේ අවබෝධයෙන් තොර ක‍්‍රියාකාරකම් නිසා මෙය ක‍්‍රමයෙන් විනාශ වෙමින් පවතී.

‘‘හෙක්ටයාර් 70-80ක් තරම් විශාලයි. දකුණු පළාතේ අනෙක් කොරල් වලට වඩා මෙහි වර්ණවත් මාළුන් වැඩියි. ඒ නිසා වැඩිපුර ධීවර ප‍්‍රජාව ව්‍යාපාරයක් වශයෙන් හා තමන්ගේ ජීවිකාව විදියට මාළුන් අල්ලනවා. ඒ කර්මාන්තය හරහා මෙම කොරල් පරය තර්ජනයට ලක් වෙලා. ජීවී කොරල් විනාශ කරල තමයි මාළු අල්ලන්නේ. මාළු අල්ලන ක‍්‍රමවල තියෙන අක‍්‍රමවත් බව නිසා තමයි එහෙම වෙන්නේ.” ප‍්‍රදීප් කුමාර එසේ පවසයි.

මෙම සම්පත් ඉදිරි පරපුරට දායාද කිරීම අප සතු මහඟු වගකීමක් නිසා මෙය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවය මතුව පවතී.

‘‘මේ ගත් ක‍්‍රියාමාර්ගය හොඳයි. හැබැයි ප‍්‍රශ්නයක් තියෙනවා. මේ ගත් ක‍්‍රියාමාර්ගය ඉදිරියටත් පැවතීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ ධීවර ප‍්‍රජාව මෙන්ම අනෙක් අයටත් මේක තමුන් හරහා කෙරෙන්න  ඕන දෙයක් කියලා හිතන්න  ඕන.” ප‍්‍රදීප් කුමාර පවසන්නේය.

The Kapparatota coral reef in Weligama that spans over 70-80 hectares is the largest reef in the southern sea. It is now facing a threat of extinction and measures have been taken to preserve the reef. Although there are laws to protect ocean resources, the non inclusion of fishermen, who work closely with these resources, in the laws, has posed an obstacle in fully imposing the legislation. The colorful fish that live among the reef has made many people in the area take up fishing as a livelihood. However, incorrect methods used in fishing have destroyed the reef, which is still recovering after the 2004 tsunami. The reef started to decline in 1988, but was in the process of developing when the tsunami hit the country. Valuable ocean resources need to be preserved for future generations.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.