දකුණු පළාත් සභා මැතිවරණය සාමකාමීව අවසන්වේ

October 10, 2009 by Editor  
Filed under Featured, Stories

Election maimPolls close peacefully

දකුණු පළාත් සභාව සදහා මන්ත‍්‍රීවරුන් පනස් පස්දෙනෙක් තෝරාගැනීම සදහා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු සාමකාමී අන්දමින් සිදුවුනේයැයි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකරන පැෆරල් සංවිධානය පවසයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනයට පෙර දිනවල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවූ බැවින් සමස්තයක් ලෙස දකුණු පළාත් සභා මැතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙසින් ප‍්‍රකාශ කළ නොහැකි බවද එම සංවිධානය කීවේය.

දකුණු පළාත් සභාව සදහා අපේක්ෂකයින් පනස් පස් දෙනෙක් තෝරාගැනීම සදහා ඔක්තෝම්බර් 10 වැනිදා පැවති මැතිවරණයේදී ජනතාව උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ අතර මැතිවරණයේදී  සියයට පනහත් පනස් පහත් අතර පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුනේයැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.

‘‘හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියයට හැටක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණා. මාතර දිස්ත‍්‍රික්කයේ සියයට පනස් පහත් හැටත් අතර පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ සියයට පනහක් පමණ ඡන්දය ප‍්‍රකාශ කර තිබුණා.’’ හෙට්ටිආරච්චි කීවේය.

මැතිවරණ දිනයේ උදෑසන සිට ඡන්ද දායකයින් උනන්දුවෙන් සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණ සිටියේය. ඡන්ද විමසීම ආරම්භවූ උදෑසන හතට පෙර ඡන්ද දායකයින් පැමිණ සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමට තරම් උනන්දුවක් පෙන්නුම් කළේය.

‘‘මම උදේ හයයි දහයට ගෙදරින් ආවා. හයයි පහළොව පමණ වන විට ඡන්ද පොල වෙත පැමිණියා.’’ මාතර තලල්ල ශ‍්‍රී මණ්ඩලාරාම ඡුන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණ සිටි අලූදේවගේ සීලවතී පැවසුවාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් ඡන්ද දායකයින් විශාල උනන්දුවකින් යුතුව ඡන්දය ප‍්‍රකාශ කර තිබුණි. ඡන්දය රහසේ පැවැත්වූ නමුත් තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් බව ප‍්‍රකාශ කිරීමට ඇතැම් ඡන්ද දායකයින් පසුබට වූයේ නැත.

‘‘මෙවර වැඩි උනන්දුවකින් ගමේ අය ඡන්දය ප‍්‍රකාශ කළා.’’ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කිරිම, බටගස්ත පදිංචි කේ.ඞී. පියසේන පැවසුවේය.

ගියවර මැතිවරණයට වඩා වැඩි උනන්දුවකින් යුතුව ජනතාව මෙවර පැවැත්වූ පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කළේයැයි මාතර ගන්දර ප‍්‍රදේශයේ ධීවරයෙක් වන ප‍්‍රියන්ත සෙල්ලහේවා කීවේය.

‘‘මම සන්ධානයට තමයි ඡන්දය දුන්නේ. යුද්ධය ඉවර වුන නිසා තමයි මිනිස්සු උන්දුවෙන් ගිහින් ඡන්දය දුන්නේ.’’ සෙල්ලහේවා සදහන් කළේය.

ඇඹිලිපිටිය මොරකැටිම මහා විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන අතුල අබේවික‍්‍රම කිලෝමීටර ගණනාක් දුර ගෙවාගෙන තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට කිරම ප‍්‍රදේශයට පැමිණ සිටියේය. ඇඹිලිපිටියේ සිය පවුල සමග තාවකාලිකව පදිංචිව සිටින ඔහු ඡන්ද ප‍්‍රකාශ කිරීමට ලියාපදිංචිව සිටියේ කිරම ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ පියාගේ නිවසටය.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහාම කිලෝමීටර ගණනාවක් දුර ගෙවාගෙන පැමිණි අබේවික‍්‍රම නැවත තමන් තාවකාලිකව පදිංචිව සිටින ස්ථානයට යාමට බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටියේය. පැයකට අධික කාලයක් තිස්සේ බස් රථයක් පැමිණෙන තෙක් පැමිණි නමුත් බස් රථයක් පැමිණියේ නැත.

‘‘ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇති උනන්දුව නිසා තමයි මම මේ තරම් දුර ඉදන් ඡන්දය දෙන්න ආවේ.’’ අබේවික‍්‍රම කීය.

බඩු මිල වැඩි නමුත් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී බඩුමිල පිළිබදව කිසිම අවධානයක් යොමු නොකර තමන් ඡන්දය ප‍්‍රකාශ කළේයැයි සෙල්ලහේවා කීවේය.

‘‘දැන් බඩුමිල ඉහළ ගිහිල්ලා. මේ නිසා අපි රහස් ඡන්දය රහස් විදියටම ප‍්‍රකාශ කළා.’’ ගන්දර පදිංචි සිරිල් පුංචිහේවා කීය.

පෞද්ගලිකව තමන්ට කිසිම දෙයක් ලැබෙතැයි අපේක්ෂාවක් නැතත් ගමේ ජනාතාවට පොදු සේවයක් වෙතැයි යන අපේක්ෂාවෙන් යුතුව තමන් සිය ඡන්දය පාච්චි කළේයැයි කිරම බටගස්ත පදිංචි බරනාදුරගේ සදසීලි කීවාය.

පසුගිය මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ජී.සිරිසේන මෙවර වෙනත් පක්ෂයට සිය ඡන්දය ප‍්‍රකාශ කළ බව ඔහු පැවසුවේය.

‘‘ශක්තිමත් විපක්ෂයක් සකස් කරගැනීම සදහා මම ඡන්දය ප‍්‍රකාශ කළා.’’ සිරිසේන කීවේය.

ඡන්ද විමසීම අවසන් වන අවස්ථාව වන විට ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නසේ සිටි පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයට ජයක් ලැබෙතැයි යන අපේකෂාවන් යුතුවව ප‍්‍රීතිඝෝෂා නගමින් රත්ඤ්ඤා පත්තුකරමින් විනෝද වෙමින් සිටියහ. මාතර වත්තේගම දකුණ ග‍්‍රාමසේවා නිලධාරී කාර්යාලයේ තිබූ ඡන්ද මධ්‍යස්ථාය අසල සිටි ඡන්ද දායකයින් මේ ආකාරයට විනෝද වෙමින් සිටියහ.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ගියේය. ආරක්ෂාව සදහා මග දෙපස තැනින් තැන පොලිස් නිලධාරීන් රදවා සිටියේය. මෙම ඡන්ද පෙට්ටි ගෙන යන වාහන අසලට පැමිණි පාක්ෂිකයින් නොයෙක් ආකාරයේ සටන් පාඨ කියමින් විනෝද වෙමින් සිටියහ. තවත් තැන්වල පක්ෂවල පාටින් ඇති විශාල කොඩි ගත් පිරිස් නොයෙක් සටන් පාඨ කියමින් සිටිහ. මෙම සටන් පාඨ කීමට ඡන්දය දීමට වයස සම්පූර්ණ නොකළ ළමුන් මෙන්ම ඡන්දය වචනයේ තේරුම පවා නොදත් කුඩා ළමුන් එක්ව සිටියහ.

ඡන්ද විමසිම අවසන්වීමෙන් පුසව මාතර නගරය සාමකාමී අන්දමින් තිබෙන ආකාරයක්ද දකින්න ලැබුනේය.

මැතිවරණ දිනය සාමකාමී අන්දමින් ගෙවී ගියේයැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය. මැතිවරණ දිනයේ පමණක් මැතිවරණ සිදුවීම් පිළිබදව වන සිදුවීම් පනහක් වාර්තාවී තිබූ අතර මේවායින් තිස් හතක් තහවුරු කරගැනිමට හැකිවූබව හෙතෙම කීවේය.

ඡන්ද විමසීම සිදුවූ දිනයේදී සිදුවීම් එකසිය පනස් පහක් වාර්තාවී තිබූ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කළ කැෆේ සංවිධානය ඡන්ද විමසීම අවසානයේදී නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේය.

වාර්තාව-සංජය නල්ලපෙරුම

සහාය – මාතර මාධ්‍ය නිවස

ඡායාරූප – දිනිදු ද අල්විස්

Election monitors PAFFREL said the Southern Provincial Council election concluded in a free and fair manner without any major incidents of violence being reported from any of the districts. The CAFFE organization said there were 155 election related incidents reported on the day of the elections. According to PAFFREL, about 50-55% of the people in the South had cast their votes at the election to elect 55 provincial councilors to the Southern Provincial Council election. People in the South who cast their votes at the election said people were keen on voting this time around for various reasons that ranged from showing gratitude to the government for ending the war, building a strong opposition and finding a solution to the rising cost of living.

  • Share/Bookmark
Creative Commons