වෙළද කලාපයේ රැකියා බිය
Anxiety in the Free Trade Zone
කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ස්වර්ණා මල්කාන්ති මේ දිනවල සිටින්නේ වෙනත් රැකියාවක් සොයා ගැනීමට සිදුවේද නැද්ද යන්න පිළිබදව වන දෙගිඩියාවෙන් යුතුවය. මල්කාන්ති මෙන්ම ලංකාවේ ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ රැකියාවන්හි නියුතු ලක්ෂ ගණනක් මේ වන විට සිටින්නේ තමන්ගේ රැකියාවේ හෙට දවස පිළිබදව අවිනිශ්චිත හැගීමෙන් යුතුවය.
උදේ හයට පමණ ඇගළුම් කර්මාන්ත ශාලාවට ගොස් ඉර බැස ගිය පසුව නැවත තමන්ගේ බොඩිම් කාමර වෙත පැමිණ කෑම වේල සකසාගන්නා මොවුන්ගේ ජීවත වෙනස්වීමේ අවදානමට මොවුන් මුහුණ දෙමින් සිටී. එකම ජීවන රටාවකට මුහුණදුන් මොවුන් දැන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නේ කෙසේද යන්න පිළිබදව දෙගිඩියාවෙන් සිටී.
ලංකාව විසින් යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති නිසා මෙම සේවකයින් අතර මෙවැනි දෙගඩියාවක් ඇතිකර තිබේ.
තමන්ගේ රැකියා අහිමිවීම පිළිබද දෙගිඩියාවකින් පසුවන ඇගළුම් කර්මාන්තශාලා සේවකයින් බොහෝ දෙනකේ තමන්ගෙ රැකියා පිළිබදව අවදානමක් ඇති බව දන්නා අතර ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අවදානමට ලක්විය හැකියැයි පවසයි. නමුත් ජී.එස්.පී. ප්ලස් සහනය යනු කුමක්දැයි ඔවුන්ගෙන් බොහෝ දෙනකේ දන්නේ නැත.
‘‘කෝටා ක‍්‍රමය අහිමිවීමෙන් පසුව ලංකාවට ලැබුණ සහනයක් තමයි ජී.එස්.පී. ප්ලස් කියන්නේ.’’ මල්කාන්ති පැවසුවාය.
ජී.එස්.පී. ප්ලස් යනු ලංකාවට ලැබෙන ණය මුදලක් වැනි දෙයක්යැයි නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩා පාලකයෙක් වශයෙන් සේවය කරන ලලිත් පුෂ්පකුමාර පැවසුවේය. ජී.එස්.පී. ප්ලස් පිළිබදව නිශ්චිත අදහසක් ප‍්‍රකාශ කළ නොහැකි නමුත් තමන් අසා ඇති ආකාරයට එය ලංකාවට ලැබෙන බදු සහනයක්යැයි ඔහු කීවේය.
ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇතිවන බලපෑම පිළිබදව ඇතැම් සේවකයින් ටිකදෙනෙක් තමන්ගේ රැකියා ස්ථානය තුළ කතාබහ කරයි. එහෙත් බොහෝ දෙනා ඒ පිලිබදව කතා නොකරන බව පුශ්පකුමාර පැවසුවේය.
‘‘අපි උදේ හයට වැඩට ගිහින් රෑට අයිමත් බෝඩිමට එනවා. දවසම වැඩ කරනවා. මේ නිසා මේ ගැන(ජී.එස්.පී. ප්ලස් පිළිබදව) කතා කරන්න වෙලාවක් නැහැ.’’ ඔහු සදහන් කළේය.
ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බොහෝ දොනා ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබදව කිසිවක් දන්නේ නැතැයි මල්කාන්ති කීවාය. නොදැනුවත් කම නිසා බොහෝ දෙනෙක් ජී.එස්.පී. ප්ලස් පිළිබදව කතා නොකරන්නේයැයි ඇය කීවාය.
නිදහස් වෙළද කලාපයේ සේවය කරන බොහෝ දෙනාගේ ජීවිත තමන් සේවය කරන කර්මාන්ත ශාලාවටත් අඩි දහයයි අටේ බෝඩිම් කාමරයටත් සීමාවී තිබේ. ඔවුන්ට එයින් හැර වෙනත් දෙයක් ගැන සිතීමට පවා වේලාවක් නොමැත.
කටුනායක නිදහස් වෙළද කලාපයේ රැුකියාවක් සොයාගෙන නුවරඑළිය වලපනේ ප‍්‍රදේශයේ සිට මීට වසර දොළහකට පෙර කොළඹ පැමිණි පුශ්පකුමාරගේ පවුලේ හතරදෙනාම ජීවත්වන්නේ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීමෙන් උපයන ආදයමෙනි. ඉදිරියේදී තමන්ගේ රැකියාව නැතිවුනොත් පවුල නඩත්තු කිරීමට වෙනත් රැකියාවක් සොයාගැනීමේ අවදානමට පුශ්පකුමාර ගොදුරුවී සිටී.
‘‘රස්සා නැතිවීම ගැන අපිට ලොකු බයක් දැනෙනවා. දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්නත් අමාරුයි.’’ පුශ්පකුමාර පැවසුවේය.
‘‘ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට රැුකියා අහිමිවුවහොත් ඔවුන්ට වෙනත් විකල්පයක් නැතිවෙනවා.’’ නිදහස් වෙළද කලාපයේ සේවයකින් සමග කටයුතු කරන සහන සංවිධානයක් වන ස්ටෑන්ඞ් අප් සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා මාපලගම පැවසුවාය.
‘‘මගේ අම්මා ගමේ ඉන්නේ. මගේ පඩියෙන් තමයි ඒ අයත් නඩත්තුකරන්නේ. හදිසියේවත් රස්සාව නැතිවුනොත් පවුලේ අයටත් ප‍්‍රශ්ණවලට මුහුණදෙන්න සිදුවෙනවා.’’ පුෂ්පකුමාර කීවේය. ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව අහිමි වී ගියහොත් නැවත ගමට ගොස් කුඹුරු වැඩ කිරීම ආරම්භ කිරීමට ඔහු සිතමින් සිටී.
රැකියා අහිමිවුවහොත් නැවත ගමට ගොස් ගොවිතැන් වැඩ ආරම්භ කිරීමට බොහෝ දෙනා සිතුවත් එය සිතන තරම් පහසු දෙයක් නොවන්නේයැයි අම්පාරේ සිට කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට පැමිණි අනූෂා කුසුම් රණවීර පැවසුවාය.
‘‘ගොවිතැන් කරන්න ගත්තත් වැසි නැතිවුනොත් ගොවිතැන් පාඩු වෙනවා. සත්තු ආවොත් ගොවිතැන් පාඩු වෙනවා.’’ ඇය කීවාය.
බොහෝ දෙනා නැවත ගමට ගොස් රැකියාවක් ආරම්භ කිරීමට සිතුවත් මල්කාන්තිගේ බලාපොරොත්තුව වන්නේ රැකියාවක් සොයාගෙන විදේශ ගතවීමය. එසේ නැතිනම් රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කිරීමය.
‘‘මම කලින් රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරලා තියෙනවා. මේ නිසා රස්සාව නැතිවුනොත් මට රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්න පුළුවන් කම තියෙනවා.’’ ඇය පැවසුවාය.
තමන්ගේ රැකියාව අහිමිවුවොත් වෙනත් රැකියාවක් සොයා ගැනීම සදහා උපදේශයක් ගැනීමට අයෙක් නොමැතිවීමේ ගැටලූවටද මල්කාන්ති මුහුණ දී සිටී. ඇගේ දෙමාපියන් එතරම් උගත් සමාජය පිළිබද දැනුමක් ඇති අය නොවන බැවින් ඔවුන් සමග මේ පිළිබදව කතා කළ නොහැකියැයි ඇය කීවාය.
‘‘රස්සාව නැතිවෙනවා කියලා ගෙදරට කිව්වොත් තාත්තා කියන්නේ මේවා සේරම අතහැර දාලා ගමට එන්න කියලා.’’ මල්කාන්ති කීවාය.
ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සදහා රැකියා සොයාගෙන වෙළද කලාපයට පැමිණි තමන්ට රැකියා අහිමිවීම ගැටලූවක් බව ඇය පැවසුවාය. තමන්ගේ දෙමාපියන් පවසන පරිදි නැවත ගමට යාම ගැටලූවක් බව ඇය පැවසුවාය.
වෙළද කලාපයේ රැකියාවක් ලැබීමත් සමගින් පවුලට බරක් නොවී ආර්ථික වශයෙන් ශක්තියක් ලබාදුන් ළමුන්ට රැකියා අහිමිවුවහොත් එය පවුලේ ආර්ථීකයට බලපෑ හැකියැයි මාපලගම කීවාය. රැකියා අහිමිවීම තුළ පවුලට ලැබන ආදායම අහිමවීම ඔවුන්ට බරපතල ලෙස දැනෙනු ඇතැයි ඇය කීවාය. රැකියා අහිමිවී නැවත ඔවුන් ගමට ගියහොත් පවුලේ යැපෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පවුලට දැනෙන ආකාරයේ ගැටලූවක් වනු ඇතැයි ඇය විශ්වාස කරයි.
‘‘මේ දුප්පත් ළමයින්ගේ අම්මලා තත්තලාට තවත් බත් පිගානක් වැඩි කරන්න වෙනවා කියන එක ප‍්‍රශ්ණයක්.’’ මාපලගම කීවාය.
ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවයකයින්ට නොයෙකුත් සේවා සැපයීම සිය ජීවනෝපාය කරගත් බොහෝ දෙනා මේ ප‍්‍රදේශයේ වෙති. ඇගළුම් කර්මානත්යේ රැකියා අහිමිවී ගියහොත් එය මොවුන්ටද බලපාන්නේය.
‘‘බෝඩිම් කාමර කාමර කුලීයට දෙන අයගේ සිට ත‍්‍රීවිල් රථ රියදුරා දක්වා වන අයට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඇගළුම් කර්මාන්තයේ රැකියා අහිමිවීම නිසා වක‍්‍ර ලෙස ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ අයට බලපානවා.’’ මාපලගම පැවසුවාය.
‘‘අපිට ගමට ගියොත් මොනවා හරි කරලා ජීවත් වෙන්න පුළුවන්. ඒත් බෝඩින් කාමර ලබාදෙන අය වගේ මේ පැත්තේ ඉන්න අයට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා.’’ රණවීර කීවාය.
ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අහිමිවෙතැයි බියෙන් සිටින පුශ්පකුමාර බලාසිටින්නේ මොන අවස්ථාවේදී එම සහනය ලංකාවට ලැබේද යන්න පිළිබදවය. මේ නිසා ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයැයි ඔහු විශ්වාස කරයි.
‘‘අපේ රස්සා ටික රැකගන්න ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයි කියලා හිතනවා.’’ පුශ්පකුමාර කීවේය.



