ජී.එස්.පී. ප්ලස් අහිමිවීම ගැටලූවක් නොවේ – මහ බැංකුව
GSP Plus loss can be weathered – Central Bank
ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කළත් ලංකාවේ අපනයන සදහා විශාල බලපෑමක් සිදු නොවන්නේයැයි මහ බැංකුව ප‍්‍රකාශ කරයි.
පසුගිය වසරේදී ලංකාව විසින් යූරෝ බිලියන 1.2 ක් වටිනා භාණ්ඩ යුරෝපා සංගමය වෙත අපනයනය කර තිබූ අතර මේ අනුව යූරෝ මිලියන 78ක සහනයක් ලංකාවට හිමිවූයේයැයි ජී.එස්.පී. ප්ලස් සහනය නැවත දීර්ඝ කරන්නේද යන්න පිළිබදව පැවැත්වූ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමය කීවේය.
‘‘ජී.එස්.පී. සහනය යටතේ ලැබුණු යුරෝ මිලියන 78 ක ප‍්‍රමාණය අපනයන වලින් සියයට එකයි දශම හතරක ප‍්‍රමාණයකුයි අත්කරගෙන තිබෙන්නේ.’’ මහ බැංකුව කීවේය.
ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට නැවත වරක් නොලැබී ගියත් එයින් වැඩිවන්නේ අපනයන බදුවලින් සියයට හයත් හතත් අතර ප‍්‍රමාණයක් වන බැවින් එයින් ලංකාවට විශාල බලපෑමක් එල්ල නොවන බව මහ බැංකුව පෙන්වා දෙයි.
‘‘ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව තීරණයක් ගැනීමට සිදුව තිබෙනවා.’’ ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව වන වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශක ලූට්ස් ගූල්නගර් කීවේය.
එහෙත් ලෝක ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමෙන් ලංකාවට බලපෑමක් ඇතිවිය හැකියැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේය. ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ ලංකාව යුරෝපා සංගමයට අපනයන කරන ලද භාණ්ඩ අතර ඇගළුම් ඉහළ ප‍්‍රමාණයක් වූ අතර මෙම සහනය නොලැබී ගියහොත් ඇගළුම් කර්මාන්තයට බලපෑම් එල්ලවිය හැකියැයි හෙතෙම කීවේය.
‘‘මේ අවස්ථාවේ ජී.එස්.පී. ප්ලස් සහනය නැති කිරීම ගැටලූවක්.’’ අබේරත්න කීවේය.
‘‘තරගකාරීත්වයක් ඇති විශාල පරිමානයේ කර්මාන්තවලට ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් විශාල ගැටලූ ඇතිවන්නේ නැහැ. එහෙත් කාර්යක්ෂමතාවයෙන් අඩු, තරගකාරීත්වයෙන් අඩු, අකාර්යක්ෂම කර්මාන්තවල ලාභ ප‍්‍රමාණය අඩු වීමට මෙය හේතු විය හැකියි.’’ ආචාර්ය අබේරත්න පැවසුවේය.
ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ අතරින් වැඩියෙන්ම පවතින්නේ ඇගළුම්ය. මෙම සහනය නොලැබීමත් සමගින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඇගළුම් කර්මාන්තයට වන බව ආචාර්ය අබේරත්න කීය.
මේ අවස්ථාවේදී ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ වන විට ඇගළුම් කර්මාන්ත ශාලා වැසීගෙන යන තත්වයක් පවතින බැවින් මෙම සහනය නොලැබී යාමත් සමගින් රැකියා පිළිබදව වන ගැටලුව තවත් බරපතල විය හැකි යැයි ආචාර්ය අබේරත්න පවසයි.
මේ වන විට රුපියල ජාත්‍යන්තර මුදල් සමග තරගකාරී තත්වයක පවතින බැවින් ජී.එස්.පී. පලස් සහනය අහිමිවූවත් ලංකාවට වන බලපෑම අඩුවිය හැකියැයි මහ බැංකුව පෙන්වාදෙයි. රුපියල තවදුරටත් අවප‍්‍රමාණ වුවහොත් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් වන බලපෑම තවත් අඩු විය හැකියැයි මහ බැංකුව පවසයි.
‘‘මේ වන විට රුපියල ස්ථාවර තත්වයක පවතින්නේ. රුපියල අවප‍්‍රමාණ වීමෙන් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් වන බලපෑම අඩුවන රුපියල අවප‍්‍රමාණ වීම වෙනත් ආර්ථික කාරණා සම්බන්ධයෙන් යහපත් ආකාරයෙන් බලපාන්නේ නැහැ. රුපියල අවප‍්‍රමාණ වුවහොත් තෙල් වැනි අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ මිල ඉහළ යාමට හැකියි.’’ ආචාර්ය අබේරත්න කීවේය.
ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලංකාවට හිමිවිය යුතුයැයි ආචාර්ය අබේරත්න පවසයි. තවත් වරක් මෙම සහනය දිර්ඝ කර එම සහනය අවසන්වන කාල සීමාවක් පිළිබදව පූර්ව දැනුම්දීමක් කළ යුතුව ඇතැයි හෙතෙම පැවසුවේය. එසේ ජී.එස්.පී. ප්ලස් සහනය අවසන්වන කාලසීමාවක් පිළිබදව කලින් දැනගැනීමට හැකියාව ලැබෙන්නේනම් ඒ සදහා කර්මාන්තවලට සූදානම් වීමේ හැකියාවක් පවතින්නේ යැයි ඔහු කීය.
‘‘සහනාධාර කියන්නේ තාවකාලික දෙයක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන විට ලැබෙන සහනාධාර ක‍්‍රමයෙන් අඩු වෙනවා.’’ මේ වන විට ලංකාව දුප්පත් ගනයේම රටක් ලෙසින් නොසැලකෙන බැවින් ලැබෙන සහනාධාර එකින් එක අඩුවෙමින් පවතින බව පවස ආචාර්ය අබේරත්න සදහන් කළේය.
විදේශ රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය වැනි තීරු බදු සහනවලින් ලංකාව නිසි ප‍්‍රයෝජන නොගන්නා බවද ආචාර්ය අබේරත්න පැවසුවේය. තීරුබදු රහිතව භාණ්ඩ තුන්දහසක් අපනයනය කිරීමට ඇමරිකාව අවස්ථාව ලබාදී ඇතත් මේ වන විට ලංකාව අපනය කරන්නේ එයින් භාණ්ඩ තුන්සියකට ආසන්න සංඛ්‍යාවක් වන බව ඔහු කීය.
‘‘විදේශ රටවල් අපට ලබාදෙන සහනාධාර නිසි පරිදි යොදාගත යුතුයි.’’ ආචාර්ය අබේරත්න පැවසුවේය.
The Central Bank of Sri Lanka says the country would not be badly affected if the EU decides to withdraw the GSP+ facility from Sri Lanka. The Bank states that the 78 million Euro concessions received by the country’s export sector through the GSP+ facility amounted only to 1.4% of Sri Lanka’s total exports. The EU is yet to make a final decision on extending the GSP+ facility to Sri Lanka. However, Senior Lecturer, Economics Division of the Colombo University, Prof. Sirimal Abeyratne says that losing the GSP+ facility during a global recession would be problematic to Sri Lanka.



