2008 වසරේදී ජී.එස්.පී. ප්ලස් වාසිය යූරෝ මිලියන 78

October 20, 2009 by Editor  
Filed under Featured, Stories

2008 GSP + benifit worth 78 million Euros – EU

යුරෝපා සංගමයේ රටවල්වලට යවන අපනයන සදහා ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය නිසා ලංකාවෙන් අපනයනය කරන ලද භාණ්ඩ සදහා 2008 වසරේදී යූරෝ මිලියන 78 ක සහනයක් හිමිව තිබුනේයැයි යුරෝපා සංගමය පවසයි.

ජී.එස්.පී. සහනය යටතේ ලංකාව විසින් 2008 වසරේදී යූරෝ බිලියන 1.4 ක භාණ්ඩ තොගයක් යුරෝපා සංගමය වෙත අපනයනය කර තිබූ අතර ජී.එස්.පී. සහනය නොතිබුනේනම් යූරෝ මිලියන 78 ක මුදල ලංකාවට ගෙවීමට සිදුවනු ඇතැයි යුරෝපා සංගමය සදහන් කළේය.

2005 වසරේ සිට ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සදහා බදු සහනයක් වශයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදුන්නේය. එම සහනය දීර්ඝ කිරීම පිළිබදව ෂලකා බැලීම සදහා යුරෝපා සංගමය කටයුතු කළ අතර මේ පිළිබදව වන වාර්තාවක් යුරෝපා සංගමය විසින් ඔක්තෝම්බර් 10 වැනි සදුදා ඉදිරිපත් කළේය.

ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කිරීමට තමන් බලාපොරොත්තුවන සුදුසුකම් මෙතෙක් ලංකාව විසින් සපුරා නැතැයිද මෙම වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශක ලූට්ස් ගූල්නර් පැවසුවේය.

‘‘ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. සහනය තාවකාලිකව නැවැත්වීමට සිදුවේදැයි යන්න පිළිබදව යුරෝපා සංගමය අවධානය යොමුකරමින් සිටිනවා.’’ යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශකයා පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත දීර්ඝ කිරීම සදහා ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව යුරෝපා සංගමය අවධානය යොමුකර තිබුනේය.

‘‘යුරෝපා සංගමය විසින් ලබාදෙන වෙළද ප‍්‍රතිලාබ වලට අමතරව ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමත් සමග ජාත්‍යන්තර මානව හිමිකම් තත්වය ආරක්ෂා කරගැනීම සදහා ලංකාව බැදී සිටිනවා.’’ යුරෝපා සංගමයේ වෙළද කටයුතු පිලිබද ප‍්‍රකාශකයා කීවේය.

මේ වන විට ලංකාවේ මානව හිමිකම් තත්වය දඩ මීමා බවට පත්කරගෙන ඇතැයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාලක රණතිලක පැවසුවේය. සහනාධාර ලබාදීමේදී මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි කියා හෝ වෙනත් කිසියම් කොන්දේසියන් පනවන්නේ නැතැයි ආචාර්ය රණතිලක කීවේය.

‘‘මෙතැන කිසිම ආර්ථික කතාවක් නැහැ. දේශපාලනික කතාවක් තිබෙන්නේ.’’ දේශපාලනික වශයෙන් බලපෑම් ඇතිකිරීමට ජී.එස්.පී. ප්ලස් සහනය යොදාගෙන ඇතැයි පවසන ආචාර්ය රණතිලක පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය සුනාමියෙන් පසුව ලංකාවට ලබාදුන් තාවකාලික සහනාධාරයක් වන බවත් දිගින් දිගටම සදනාධාර බලාපොරොත්තු විය නොහැකි බවත් ආචාර්යවරයා පැවසුවේය.

‘‘ජීවිත කාලයේම සහනාධාර මත යැපීමට හැකියාවක් නැහැ. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වන විට වෙනත් රටවල් විසින් ලබාදී ඇති සහනාධාර ඉවත් කරනවා. රටක් ආර්ථීක වශයෙන් සංවර්ධනය වන විට සහනාධාර වලින් ඉවත් විය යුතුයි. ’’ රණතිලක කීවේය.

‘‘සහනාධාර ලබාගෙන සහනාධාර මත යැපිය යුතුය යන මානසිකත්වය ඇතිවූ පසුව අපි(ලංකාව) එම මානසිකත්වයේ තබාගෙන නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කරනවා.’’ හෙතෙම සදහන් කළේය.

ජී.එස්.පී. ප්ලස් සහනාධාරය යනු ඒක පාර්ශවික ගෙවීමක් වන බැවින් එම සහනාධාරය ලබාදෙන රටේ අවශ්‍යතාවයන් අනුව සහනාධාරය ලබාදෙන්නේද යන්න තීරණය වන බව ඔහු කීවේය.

‘‘සියලුම දේවල් කැපකරලා ජී.එස්.පී. ප්ලස් සහනාධාරය ලබාගත යුතුයැයි කියලා කියන්න බැහැ.’’ ආචාර්ය රණතිලක කීවේය.

මෙම සහනාධාරය නොමැති කාල වකවානුවේ පවා ලංකාව කිසිදු ගැටලූවකින් තොරව යුරෝපා සංගමයට අපනයන සිදුකළේයැයි ඔහු පෙන්වා දෙයි.

සහනාධාර මත යැපීම වෙනුවට ස්වාධීන රටක් ලෙස ආර්ථික ශක්තියක් ඇතිකරගැනීම වැදගත්යැයි ආචාර්ය රණතිලක පෙන්වාදෙයි. මේ සදහා සහනාධාර බලාපොරොත්තු නොවී වෙනත් කර්මාන්ත සමග තරග කිරීමේ හැකියාව ලංකාවේ කර්මාන්ත ලබාගත යුතුව ඇතැයිද තරගකාරී නිශ්පාදන රටාවකට අවතීර්ණ විය යුතු බවද හෙතෙම පෙන්වාදෙයි.

‘‘මේ සදහා කර්මාන්තවල පිරිවැය අවම කරගත යුතුයි.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නේද යන්න පිළිබදව තීරණය කිරීමට සිය සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡුා කරමින් සිටින බවද යුරෝපා සංගමය පවසයි. ඊට අදාල කොන්දේසි පිළිබදව ලංකාව සමග සාකච්ඡා කිරීමටද යුරෝපා සංගමය බලාපොරොත්තුවෙන් සිටී.

‘‘මෙම වාර්තාව මගින් හදුනාගෙන ඇති ලංකාවේ ඇති මානව හිමිකම් ගැටලු පිළිබදව හා ඒවාට විසදුම් ලබාදීම පිළිබදව ලංකාව සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටිනවා.’’ යුරෝපා සංගමයේ වෙළද කටයුතු පිළිබද ප‍්‍රකාශකයා කීවේය.

මෙම වාර්තාව පිළිබදව ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිචාරයන්ද යුරෝපා සංගමය බලාපොරොත්තු වෙයි. මේ පිළිබදව වන වාර්තාවන් නොවැම්බර් මස 6 වැනිදාට පෙර ලබාදෙන ලෙස යුරෝපා සංගමය තමන්ට දැනුම් දී ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

‘‘යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාව හොදින් අධ්‍යයනය කරනවා.’’ විදේශ කටයුතු අමාත්‍යාංශය කීවේය.

2004 වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි සුනාමියෙන් පසුව යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා බදු සහනයක් වශයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදුන්නේය. එම සහනය දීර්ඝ කිරීම සදහා ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව යුරෝපා සංගමය සිය අවධානය යොමු කරමින් ඒ පිළිබදව වන විමර්ශණයක් පසුගිය වසවරේ ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කළේය.

The GSP+ trade concession offered to Sri Lanka by the EU had given the country a benefit of 78 million Euros in 2008. The European Commission says that while Sri Lanka had exported goods amounting to 1.4 billion Euros to the EU, the country would have had to spend an additional 78 million Euros had the GSP+ facility was not available. Spokesperson of Economic Affairs at the European Commission says the EU is still inquiring whether the facility could be extended to Sri Lanka for a further period given that the country has not complied with the stipulated regulations, especially on human rights. The GSP+ facility was extended to the country as a temporary concession by the EU after the 2004 tsunami. The EU is currently inquiring if Sri Lanka has met with the required human rights requirements to extend the facility for a further period.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.