සෙවණගල උක් ගොවියාගේ අද දවස

November 18, 2009 by Editor  
Filed under Featured, Stories

Suger mainSevenagala Today

සෙවණගල කියන විට අපගේ මතකයට නැගෙන්නේ සෙවණගල සීනි කම්හල. දේශීය ආර්ථිකයට වගේම සැමගේ දිව පැණි රසයෙන් පිනවන්නට සීනි වලින් ලැබෙන්නේ මහඟු පිටිවහළකි. සීනි නිපදවීම සඳහා යොදා ගන්නේ උක් ශාඛය. සෙවණගල අවට ප‍්‍රදේශවල අක්කර 25000ක් පමණ ප‍්‍රමාණයක ගොවියන් 7000ක් පමණ උක් වගාව සිය ජීවනෝපාය මාර්ගය කරගෙන තිබේ.

80 දශකයේ අග භාගයේදී උක් වගා කරන ගොවීන් සෙවණගල සීනි කම්හල අවට විවිධ ප‍්‍රදේශවල පදිංචි වී ඇත. ඒ එවකට පැවති රජයේ මැදිහත් වීමෙනි. නම්මුණි ආරච්චිගේ නන්දසේනත් එවැනි පදිංචි කරුවෙකි. අවුරුදු 18ක කාලයක සිට ඔහු උක් වගා කරමින් තම දරු පවුල නඩත්තු කරන්නනේය.

‘‘දැන් අපි මෙහාට ඇවිල්ලා අවුරුදු 19ක් වෙනවා. මුලදි එද්දි ගණ කැලෑව තිබුණේ. ඒ කාලේදී අලින්ගෙන් අපේ වගාවන් බේර ගන්න බැරි වුනා. ඊට පස්සෙ තමයි මේ කැලෑව එළි කරල අපිට උක් වගා කරන්න සීනි සමාගමෙන් මේ ඉඩම්වල බිම් සකස් කරල දුන්නේ. එදා ඉඳල තමයි අපි මේ විදියට උක් වගාව දිගටම කරගෙන ආවේ.” නන්දසේන පවසන්නේය.

සෙවණගල සීනි කම්හල පවත්වා ගෙන ගියේ රජය මගිනි. නමුත් දැන් එය පෞද්ගලික අංශයට පවරා දී තිබේ. ඒ අනුව මේ ගොවියන්ට අවශ්‍ය පහසුකම් සෙවණගල සීනි කම්හලෙන් ලබා දෙනු ලැබේ. නමුත් තවමත් මේ ඉඩම්වල අයිතිය ගොවියන්ට පවරා දී නොමැත.

‘‘මේ ඉඩම් අපිට රජයෙන් දුන්නේ. ඒත් තාම බලපත‍්‍රයක් එහෙම දීල නැහැ. අපි මේ ඉඩම්වල උක් වගා කරල දැන් ඒ පෞද්ගලික ආයතනයට දෙනවා. එහෙන් තමයි අපිට උදව් කරන්නේ. උදව් කියන්නේ ඉතින් බිමි සකස් කරලා දෙනවා. පොහොර දෙනවා. ඒවාට අවශ්‍ය වල්නාශක ඒ සියලූම දේවල් දෙනවා. දීල ඉතින් ඒවාට අපෙන් සියයට දහ අටක පොලියකුත් එක්ක අය කර ගන්නවා.” නන්දසේන එසේ විස්තර කරයි.

උක් වගාව ආරම්භයේදී අවශ්‍ය තරම් ප‍්‍රමාණයට වර්ෂාව නොලැබීම නිසා එය වගාවේ වර්ධනයට බාධාවක් වි ඇත. ‘‘මෙහාට ඉතින් වැස්ස වහිනවා අඩුයි. පැළ වර්ධනය වෙන කාලෙට  ඕන කරන තරම් වතුර නැති වුනොත් වගාව සාර්ථක වෙන්නේ නෑ. අපි ඉතින් උඩවළව ජලාශයෙන් ඇළවල් දිගේ එන වතුර  තමයි දමන්නේ. ඒ විදියට ඉතින් ගොඩාක් මහන්සි වෙන්න  ඕන වගාවක් කරන්න.” නන්දසේන එසේ පවසයි.

ඇතැම් අවස්ථාවල ස්වභාවික උවදුරු වගේම රෝග වැළදීමෙන් මේ ගොවියන්ගේ උක් වගාවන් විනාශ වී ඇත. නන්දසේනගේ උක් වගාවටත් කිසියම් රෝගයක් වැළදීම නිසා කාලයක් තිස්සේ වගා කටයුතු නවතා දැමීමට සිදු වී ඇත.

‘‘උක් වගාවට ජී.එස්.ටී. කියලා රෝගයක් හැදෙනවා. මේක මගේ වගාවටත් හැදුනා. අක්කර 4ක උක් වගාව විනාශ වුනා. ඒ රෝගය හැදුනම ගහ සුදුපාට වෙනවා. නිකන් මල් ගහක් වගෙයි. ඊට පස්සේ ගහ මැරිලා යනවා. ඒක ස්වභාවිකවම නැතිවෙලා යනවා. නැතුව ඒකට බෙහෙත් නෑ. දැන්නම් ටිකක් ඒක අඩුවෙලා යනවා. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මේ සැරේ තමයි ආපහු උක් වගා කරන්න පටන් ගත්තේ.” නන්දසේන පවසන්නේය.

අවුරුදු 54ක් වයසැති උංගා කට්ටඩිගේ ගුණදාසත් අක්කර හතරක් උක්වගා කරන ගොවියෙක්. තම වගාවන් කිරීමට  ඕන කරන මිනිස් ශ‍්‍රමය ලබා ගැනීමට අපහසු වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව ඔහු පවසයි.

‘‘කුලී කාරයෝ සොයා ගන්න බැරි එක තමයි ගැටළුව. කපන කාලෙට සෙනග හොයාගන්න බැරි කම තමයි හුඟක් දුරට බලපාන්නේ. ඉතින් වගාවක් කපන්න මාස දෙකක් එක හමාරක් යනවමයි අනිවාර්යෙන්ම. අපි ඉතින් තුන්දෙනා කල්ලිය, හතරදෙනා කල්ලිය ඒ විදියට කල්ලි හැදිල තමයි වැඩ කරන්නේ. බොහොම අමාරුයි කට්ටිය හොයාගන්න. ඒ අයටත් රුපියල් 650ක් 700ක් විතර දෙන්න  ඕන ටොන් එකක් කපල පටවපුවහම.” ගුණදාස පවසන්නේය.

උක් වගා කටයුතු සඳහා පිරිමින් වගේම කාන්තාවන්ගෙන් ද ලැබෙන්නේ ලොකු සහයෝගයකි. මේ නිසා දවසේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් වගා කටයුතුවලට යොමු වීම හේතුවෙන් පවුලේ අනෙකුත් වැඩ කටයුතු බොහෝ දුරට අතපසු වී තිබේ. විශේෂයෙන් ළමයින් පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබෙන්නේ අඩු කාලයක් වීම ඔවුන්ට ගැටළුවක් වී ඇත.

‘‘මාස ගණනක් යනකම්ම වගාවේම තමයි. වෙන කුලියකට යන්නවත් වෙලාවක් නෑ. උක් දඬු හිටවල ඊට පස්සේ බැරල්වලට වතුර පුරවලා ඒවාට තෙල් දිය කරලා ඊට පස්සෙ හතර පස් දෙනෙක් දමලා තෙල් ගහන්න  ඕන. තෙල් ගහල මාසෙකින් පොහොර ගහන්න  ඕන. ආයිමත් මායිම්පැළ ගලවන්න  ඕන. මේ විදියට තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. මේවට මහන්සි වුනාම ඉතින් ගෙදර වැඩ කටයුතු ගොඩාක් මග ඇරෙනවා. ළමයි පන්ති ගිහින් එන කොට රෑ වෙනවා. මේ පැත්තේ හරියට බස් එකක්වත් නෑ. යන්න එන්න හරියට පාරක් නෑ. තිබුණත් යන්න එන්න අමාරුයි. ළමයි පන්ති ගිහින් එන කොට ත‍්‍රී විල් එකකින් තමයි ගොඩාක් දුරට එක්කන් එන්න යන්න වෙන්නේ. අමාරුවෙන් දුක් විඳල හම්බකර ගන්න සල්ලි ඉතින් ඒවාට තමයි යොදවන්න වෙන්නේ. එහෙම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ.” මල්පගේ අනුලා පවසන්නීය.

මේ ප‍්‍රදේශ වියළි කලාපයට අයත් නිසා වර්ෂාව ලැබෙන්නේ අඩු වශයෙනි. ඒ් නිසා වගාවන් වලට වගේම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ දී මේ ජනතාවට ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇත. මේ හේතුවෙන් ඇතැමුන් දරුණු ලෙඩ රෝගවලට පවා ලක්වීමේ වැඩි අවධානමක් මේ ප‍්‍රදේශවල පවතී.

‘‘අපිට ගොවිතැනක් කර ගන්න හරියට වතුරවත් නෑ. බොන්නවත් වතුර නෑ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. උඩවළව ජලාශයෙන් ඇළ දිගේ එන වතුර තමයි අපි පාවිච්චි කරන්නේ. මේ ඇළ වැහුවොතින් නාන්නවත් නෑ අපිට. බොන්නේත් ඉතින් ඇළෙන් ගේ්න වතුර තමයි. ඒවගෙන් ඉතින් ලෙඩත් හැදෙනවා. වකුගඩු අමාරුව හැදෙනවා. මුත‍්‍ර අමාරුව ඒවත් හැදෙනවා ඉතින් කට්ටියන්ට. ඒ වගේ තත්ත්වෙක තමයි ජීවත්වෙන්නේ.” පද්මානි විජේසිංහ එසේ පවසන්නීය.

මේ විදියට බොහෝ අමාරුවෙන් පවත්වාගෙන එන උක් වගාව අනාගතයේදී කිසියම් අර්බුදයකට මුහුණ දීමේ අවධානමක් පවතී. තරුණ පරපුර මේ සඳහා යොමුවීම අඩු වීමත් ඊට එක් හේතුවක් වී ඇත.

‘‘කවදක හරි ඉතින් සෙවණගල උක් වගාව නැති වුණොත් එහෙම අපිට ජීවත් වෙන්න ක‍්‍රමයක් නෑ. දැන් තරුණ අය, ඔය ළමයිනම් කැමති නෑ උක් වගා කරන්න. මේක ටිකක් අමාරු කාර්යයක්නේ. කපන්න අමාරුයි, වගාවන්වල වැඩ කරන්න අමාරුයි. ඒ නිසා ඒ අය අකමැතියි මේකට. කොටසක් කැමති අයත් ඉන්නවා. ඒ කියන්නේ අපෙන් පස්සෙ නම් මේක කරන අය අඩුයි ඉතින්. එහෙම වුනොත් ඉතින් උක් වගාවත් ඉවරයි. සීනි කාලත් ඉවරයි.” නම්මුණි ආරච්චිගේ නන්දසේන එසේ ද පවසන්නේය.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.