පාට කළ සිහිනය
ඔවුන් සිත්තම් කොට තිබුණේ සිය ජීවිතයේ සිහිනය විය යුතුය. වර්ණ ගන්වා හැඩකර තිබුණේ සිය අනාගතයේ බලාපොරොත්තුව විය යුතුය. එය ද්ප්තිමත්ය. නිවුල්ය. තවෙකෙකුට එදෙස බලා සැනසෙන්නට හැකිය. උතුරේත් නැගෙනහිරත් ජීවත් වූ ඔවුන් තමන්ගේ සිහින පාට ගන්වා දකුණට එවූයේ සිය සොදුරු සිහිනයේ දිග පළල පෙන්වන්නට නොව සිහින සෑබෑ කරගනෙීමේ හැකියාව තමන්නට ඇති බව අගවන්නට විය යුතුය.
වර්ණ ගැන්වූ මෙම සිහින සිතුවම් දැක්ම පැවත්වූයේ වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේදීය. එය වඩාත් සුවිශේෂි වූයේ කුරිරු යුද්ධයට මැදි වූ දරු දැරියන් විසින් එම චිත‍්‍ර ඇද තිබීමයි. යුරෝපා සංගමයේ අනුග‍්‍රහය යටතේ ගෝඩ් ඕන් චිල්ඩ්රන් පවුන්ඩේෂන් ආයතනය විසින් පවත්වන ලද මෙම සිතුවම් දැක්ම බොහෝ දෙනාගේ පැසසුමට භාජනය වූයේය.
‘‘ මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ සුවිශේෂි දරුවන් පිරිසක්. එය වැදගත් වෙන්නෙ ඒ හින්දා. මේ දරුවන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් ශාරීරිකව ආබාධයට පත් වූවන්. එහෙම නැත්නම් යුද්ධයෙන් මාපියන් අහිමි වූවන්. එහෙමත් නැත්නම් යුද්ධය නිසාම විශේෂ අවධානයට ලක් වූවන්.’’ යැයි ගෝඞ් ඕන් පවුන්ඬේෂන් හි සභාපති අශෝක් කුමාර් පැවසුවේය.
‘‘ මේ මෙහොත සැබෑ සතුටට කාරණයක්. යුද්ධයේ අමිහිරි මතකය මේ දරුවන්ගෙ සිත් වලින් දැන් අකා මකා යමින් තිබෙනවා. මේ චිත‍්‍ර මේ දරුවන්ගේ බලාපොරොත්තු වලින් පිරිලා. ඒ වගේම කලාත්මකයි. අති විශිෂ්ටයි.’’ සිතුවම් දැක්මේ සමාරම්භක උළෙලට සහභාගී වූ යුරෝපා සංගමයේ තානාපති බර්නාඩ් සවේජ් පැවසුවේය. මෙම සිතුවම් දැක්මේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සවේජ්ය.
චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹ පැවතියද සිතුවම් වල හිමිකරුවන්ට එම අවස්ථාවට සහභාගී වීමේ වරම් ලැබී තිබුණේ නැත. එහෙත් ඔවුන් සිය හැගීම් දැනීම් දකුණේ නෑදෑයන්ට සිත්තම් කොට එවා තිබුණේ අපූරු ලෙසිනි. ලග නොමැති වුවද මල් වැනි සිත් ඇත්තන් වූ ඔවුන්ගේ ජීවන සුවද දකුණේ නෑදෑයන්ට දැනුනු බව නම් නිසැකය.
‘‘ අපි මේ චිත‍්‍ර බලලා ගොඩක් පුදුම වුණා. ඇත්තටම හරිම ලස්සණයි. අපිට නම් මේ වගේ ලස්සණට චිත‍්‍ර අදින්න බැරි වෙයි කියලා අපි කතා වුණේ.’’ සිය මිතුරියන් පිරිවරා සිතුවම් දැක්ම නැරඹීමට පැමිණ සිටි මධුෂිකා පැසුවාය. ඇය වැල්ලවත්ත හින්දු කාන්තා විදුහලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි.
‘‘ බලන්න මේ චිත‍්‍රය දිහා කොච්චර අමාරුවෙන්ද ඇදලා තියෙන්නෙ. ගොඩක් හැඩයි. මට හිතෙන්නෙ අපි එ් අයට උදව් කරන්න ඕන කියලයි. මම ගොඩක් ආසයි ඒ අයව මුණ ගැහිලා කතා කරන්න.’’ හින්දු කාන්තා විදුහලේ අටවන
ශේ‍්‍රණියේ ඉගෙනුම ලබන නිදර්ශනී පැවසුවාය.
උතුරු නැගෙනහිර සිය හිත මිතුරන්ගේ දස්කම් ඔවුන්ව කිසි දිනෙක නොදුටු දකුණේ හිත මිතුරන් විසින් ඇගයූවේ එලෙසිනි. මේ සිතුවම් දැක්ම ඔවුන්ගේ සිහින වලින් පාට වී තිබුණා යැයි කීම අතිශයෝකිතියක් නොවේ. ඔවුන් පතන හෙට දවස මෙම සිතුවම් වල අල්ප මාත‍්‍ර වශයෙන් සිත්තම් වී තිබුණ බව නරඹන්නන් දකින්නට ඇත.
‘‘ මේ වගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් කොළඹ පැවැත්වීම ගොඩක් හොද දෙයක්. ඇත්තටම පාසල් ළමයි පමණක් නොවෙයි. අපිත් මේ දරුවන්ගේ දක්ෂතා දැකලා පුදුමයට පත් වුණා. ඒකට හේතුවක් තියෙනවා. මේ දරුවන් සාමාන්‍ය දරුවන් නොවේ. ඇත්තටම මේ දරුවන් අනෙක් දරුවන්ටත් හොද ආදර්ශයක් වේවි.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ ආචාරිනී බී සිවකුමාරන් පැවසුවාය. සිය පාසලේ දරු දැරියන්ද කැටුව මෙම සිතුවම් දැක්ම නැරඹීමට ඇය පැමිණ සිටියාය.
‘‘ අපි ආවේ මේ චිත‍්‍ර ප‍්‍රදර්ශණය බලන්න නෙමෙයි. පන්තියෙන් එළියට යන්න ඕන කමට. ඒත් මේ චිත‍්‍ර දැක්කම අපේ ඇස් උඩ ගියා.අපිටත් චිත‍්‍ර අදින්න පුළුවන් තමයි. ඒත් මේ අය ආබාධිත වෙලත් අපිට වඩා හොදට චිත‍්‍ර අදිනවා. මගේ අවධානය සම්පුර්ණයෙන්ම යොමු වුණේ මේ චිත‍්‍ර බලන්න.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ හත් වන වසරේ ඉගෙනුම ලබන ක‍්‍රිෂ්ණමූර්ති පැවසුවේය.
‘‘ මට හිතෙන්නෙ ඒ ගොල්ලො මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ ඒ ගොල්ලන් ලබපු අත්දැකීමෙන්. ඒ අත්දැකීම් කොච්චර කටුක වෙන්න ඇතිද කියලා මේ චිත‍්‍ර බලන කොට මට හිතෙනවා. ඒ මොනවා වුණත් ඒ අය අපේම සහෝදර සහෝදරියො.’’ හින්දු කාන්තා විදුහලේ උසස් පෙළ හදාරන මිචෙල් මයිකල් පැවසුවාය. ඇය මෙම සිතුවම් දැක්ම පැවැත්වීමට ගෝඞ් ඕන් චිල්ඩ්රන් ආයතනය හා එක්ව දැඩි ලෙස කැපවූ සිසුවියකි. උතුරු නැගෙනහිර මේ දරුවන් තනී වී නොමැති වග ඔවුන්ට පසක් වනු ඇත. ඔවුන් වෙනුවෙන් දකුණේ තෙත් වූ හදවත් ඇත්තන් බොහෝ ඇති වග ඔවුන්ට වැටහෙනු ඇත.
දකුණේ දරුවන්ට සේම උතුරු නැගෙනහිර දරුවන්ටද සැනසෙන්නට කරුණු කාරණා බොහොමයක් දැනට ඇත. වෙඩි හඩින් බිය පත්ව දෙකන් වැසූ ඔවුහු දැන් සාමයේ මිහිර සැනසිල්ලේ භුක්ති විදී. ශාපලත් යුද්ධය අවසානය. ඉන් ඔවුන්ගේ බොහො දේවල් අහිමි වූ බව සැබෑය. උන් හිටි තැන් පමණක් නොව තමන්ට සිටි අන්තිම නෑයාත් ඔවුන්ට අහිමි වන්නට ඇත. එහෙත් දැන් නිදහසේ සිය ලෝකය තනන්ට වෙර දරන මේ දරුවන්ට දකුණේ ලෙන්ගතුකම් අපමණය.
The exhibition of drawings by children injured and orphaned by the war was organized by Gods Own Children Foundation with the patronage of the European Commission. The drawings were an emotional journey of the traumatised children. The drawings portrayed the hope of all these children to build their own world without the sound of guns and fear of war. Students and teachers who attended the exhibition said that they could now at least get a senses of what the artists had suffered. Unfortunately, the child artists could to attend the exhibition held at the Tamil Association hall in Wellawatte.




