නවුෆියාගේ ගෙවල් සිහිනය
Five Years After the Tragedy – Naufiar’s Tale
සුනාමියෙන් අවුරුද්දකට පසුව කැන්වස් කූඩාරම් ලැබීමෙන් පසුව ජුම්මා පල්ලිය අසලට පැමිණි මොහොදීන් නවුෆියා ඇතුළු සුනාමි අවතැන්වූවන්ට මාස කීපයකින් ලී වලින් සකස්කළ තාවකාලික නිවාස ලැබුනේය. එහෙත් අවුරුදු හතරකින් පමණ මෙම නිවාස කිසිවක් අලූත්වැඩියා කර නැතැයි ඇය කීවාය. මේ නිසා වැසි කාලයේ තාවකාලික නිවාසවල ජීවත්වීම අපහසුවී තිබේ.ගෙවල්වල ලී දිරා ඇති බවත් වහලට සෙවිලිකර තිබන ටකරම් දිරා තිබෙන බවත් ඇය පැවසුවාය.
වැසි කාලයේ ගෙවල් ඇතුළ වැසි වතුරින් පිරී යන ලෙසටම සුළං ඇති කාලයට ඔවුන් ජීවත් වන්නේද බියෙනි. ඒ සුළගින් තමන් සිටින නිවාසවලට හානියක් වෙයිදැයි යන සැකය නිසාය.
‘‘සුළං තියෙන වෙලාවට මේ කටරම් සුළගට ගහගෙන යයි කියලා අපි බයෙන් ඉන්නේ. ළගදි තද සුළගක් ආවා. ගෙවල්වල වහලවල් ගලවාගෙන යයි කියලා බයවූ අපි පල්ලියට දුවගෙන ගියා.’’ ඇය කීවාය.
වැසි දවස්වලට මේ කැළයේ සිටින සතුන් ගෙවල් තුළට පැමිණෙයි. කුඩා ළමුන් මේ තාවකාලික නිවාසවල සිටීම නිසා ෂතුන් සර්පයින් ගෙවල් තුළට පැමිණීම භයානක යැයි එම නිවාසවල පදිංචිවූවෝ පවසති. ළමුන් බිම නිදා ගන්නා නිසා වැසි දවස්වලට ගෙවල් වල දොරවල් හා බිම අතර තිබෙන කුඩා ඉඩ ඇහිරීමට මහත් වෙහෙසක් මහන්සියක් ගැනීමට සිදුව ඇතැයි ඔවුහු පවසති. ‘‘වැසි දවස්වලට රෑට සත්තුන්ට ඒනන බැරි විදියට දොරවල් වහලා ඉරුණු පැදුරු කෑලි හා රෙදි කෑලි දොරවල් යටට දානවා.’’ ඔවුහු කියති.
සුනාමි කදවුරුවල ජීවත්වන අයට ඇත්තේ පොදු වැසිකිළි හා පොදු නාන කරාමය. මේ නිසා වැසිකිළියට යාමටත් නෑමටත් පෝලිම්වල සිටීමට සිදුව ඇතැයි නවුෆියා කීවාය. වැසි කාලයට වැසිකිළි වලවල් පිරීයන බැවින් ඒ කාලයට ප‍්‍රදේශයම පිරිසිදු වන බව ඇය සදහන් කළාය. මේ අතර මැසි මදුරු කරදර නිසා කදවුරේ සිටින ළමුන් නිතරම ලෙඩ වන බව ඇය කීය.
මොවුන් ජුම්මා පල්ලිය අසල කදවුරට පැමිණෙන විට ඉක්මනින්ම ගෙවල් ලබාදෙන බව බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. මෙම පොරොන්දුවලට වසර ගණනාවක් ගතවී ඇති නමුත් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුවී නැත.
‘‘අද ගෙවල් දෙනවා හෙට ගෙවල් දෙනවා කිව්වා. මෙහෙමෙ අවුරුදු පහක්ම ගතවුනා. ඒත් තවම අපිට ගෙවල් ලැබුනේ නැහැ.’’ තමන්ගේ කියා ගෙයක් ලැබෙන්නේ කොයි මොහොතේදැයි යන්න පිළිබදව බලාගෙන සිටින නවුෆියා කීවාය.




