ගංවතුරින් නැගෙනහිර පළාතේ අසූ දෙදහසක් පීඩාවට පත්වේ

December 15, 2009 by Editor  
Filed under Featured, Stories

Flood in AmparaFloods wreck havoc in  the East

පසුගිය දින කිහිපය පුරා ඇදහැලූණු අධික වර්ශාව නිසා නැගෙනහිර පළාතේ පවුල් අසූදෙදහස් තුන්සිය දොළහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර අනතුරු දැනුම්දීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කීවේය.

වර්ශාව සමග ඇතිවූ අකුණු සැර වැදීම් නිසා අම්පාර තිරක්කාමනු ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙන බවද හෙතෙම කීවේය.

අධික වර්ශාව සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා නැගෙනහිර පළාතේ පුද්ගලයින් රැුසක් අවතැන්ව සිටින අතර වැඩිම අවතැන් පිරිසක් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවෙයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් තුන්සිය තිහක පුද්ගලයින් හත්සිය හැත්තෑනමදෙනෙක් අවතැන්ව සිටින අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 123ක් අවතැන්ව සිටී.

ගංවතුර තත්වය වැඩියෙන්ම බලපා ඇති මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 76 511 ක් ගංවතුරින් පීඩාවට පත්ව තිබෙන බවත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 5 392 ක් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය පවසයි. ගංවතුර තත්වය නිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 409 ක්ද පීඩාවට පත්ව සිටී.

‘‘අධික වර්ශාව හා ගංවතුර තත්වය නිසා නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබනවා. තවත් නිවාසවලට අර්ධ හානි සිදුව තිබෙනවා.’’ කොඩිප්පිලි කීවේය.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ නිවාස 92 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 1033කට අර්ධ හානි සිදුව තිබේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ නිවාස 67 ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. එහි තවත් නිවාස 257කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇති අතර තවත් නිවාස 88කට අර්ධ හානි සිදුව ඇත.

නැගෙනහිර පළාතට දෙසැම්බර් 14 වැනිදා සිට ඇදහැලූණු අධික වර්ශාවෙන් මඩකලපුව අම්පාර හා ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක තුනේ පදිංචිකරුවන් මේ වන විට අවතැන්ව සිටින බවද හෙතෙම කීවේය. මෙසේ අවතැන්ව සිටින වැඩිම පිරිස මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන අතර මඩකලපුව දිස්ත‍්‍රික්කයේ චෙන්කලඩි වාකරේ වාලච්චේන කාත්තන්කුඩි කලවංචිකුඩි වව්නතිව් යන ප‍්‍රදේශවල මේ ආකාරයට පුද්ගලයින් අවතැන්ව සිටින බවද හෙතෙම සදහන් කළේය.

‘‘මඩකලපුව දිස්ත‍්‍රික්කයේ අවතැන්ව සිටින පුද්ගලයින් කදවුරු හතරක රදවා සිටිනවා.’’ කොඩිප්පිලි කීවේය.

ගංවතුර තත්වය නිවා අවතැන්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව සිටින බවද මේ වන විට දිසාපතිවරු මාර්ගයෙන් ගංවතුරින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා ලබාදීම ආරම්භ කර තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපය පුරා වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා මේ නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් ලැබුනේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප‍්‍රීතිකා ජයකොඩි කීවාය. මෙම තතත්වය යටතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට වැඩිම වර්ශාපතනයක් වාර්තාවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

‘‘දෙසැම්බර් 14 වැනිදා උැසන අටයි තිහෙන් ආරම්භවී දෙසැම්බර් 15 වැනිදා උදෑසන අටයි තිහෙන් අවසන්වූ පැය විසිහතර ඇතුළත මඩකලපුව දිස්ත‍්‍රික්කයට මිලිමීටර 241.7ක වර්ශාපතනයක් ලැබී තිබෙනවා.’’ජයකොඩි කීවාය.

නැගෙනහිර පළාතට ඇදහැලූණු අධික වර්ශාපතනය නිසා පළාතේ මාර්ග රැුසක්ම ජලයෙන් යටවී තිබූ අතර ඇතැම් ප‍්‍රදේශවල ගමනාගමනය නැවතී තිබුණි. එහෙත් දෙසැම්බර් 15 වැනිදා දහවල් වන විට ගංවතුර තත්වය පහළ යාමත් සමග මාර්ගවල ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව තිබේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර දෙදහසක් පමණ ගංවතුරින් යටවී ඇතැයිද වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලය පැවසුවේය.

මාස ගණනාවක් තිස්සේ පැවති නියගයෙන් පසුව ඇදහැලූණු වර්ශාව සමගින් සිදී ගොස් තිබූ අම්පාර ප‍්‍රදේශයේ ඇති වැව් පිරී ඉතිරීයන්නට විය. ගල් ඔය ව්‍යාපාරයේ ඇති සියලූම කුඩා වැව් මේ වන විට පිරී වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලයේ අම්පාර කලාප අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු සමන් වීරසිංහ පැවසුවේය.

‘‘මේ වන විටත් අම්පාරේ තිබෙන කුඩා වැව් දහඅටක් වාන් දමනවා.’’ වීරසිංහ කීවේය.

පසුගිය කාලයේ පැවති නියං තත්වය සමගින් ඔක්තෝම්බර් මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි තිස්පන්දහස දක්වා පහළ බැස තිබූ අතර මේ වන විට එහි ජල මට්ටම අක්කර අඩි දෙලක්ෂ හැත්තෑහ දහස් තුන්සිය දාසයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වීරසිංහ කීවේය.

‘‘ඊයේ(දෙසැම්බර් 14වැනිදා) දිනයේ පමණක් ජල මට්ටම අක්කර අඩි විසිහත්දහසකින් ඉහළ ගොස් තිබෙනවා.’’ වීරසිංහ සදහන් කළේය. මේ ආකාරය දිගින් දිගටම අධික වර්ශාපතනයක් වාර්තාවුවහොත් ජනවාරි මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීම අරඹනු ඇතැයි වීරසිංහ කීය.

‘‘පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීමට තවත් වතුර අක්කර අඩි පක්ෂ පහක් පමණ එක්විය යුතුයි. මේ ආකාරයට දිනපතාම වර්ශාව ලැබුණහොත් ජනවාරි මාසය වන විට වාන් දමන තත්වයක් ඇතිවිය හැකියි.’’ඔහු කීවේය.

පසුගිය දින කීපය තුළ වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා එක්වරම නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් වාර්තාවුවත් මේ වන විට වායුගොලීය පීඩන තත්වය පහව ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය කැළඹීම් ස්වභාවයක් බවට පත්ව තිබෙන්නේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥවරිය කීවාය.

‘‘අධික වර්ශාපතන තත්වය ඉදිරි දින දෙක තුළ ක‍්‍රමයෙන් අඩුවෙතැයි අපි බලාපොරොත්තුවෙනවා. එක් වරම වර්ශාව නවතින්නේ නැතත් ක‍්‍රමයෙන් වර්ශාපතනය අඩුවෙතැයි විශ්වාස කරනවා.’’ ඇය කීවාය.

ඊසාන දිග මෝසම් සුළං තත්වය යටතේ තවදුරටත් නැගෙනහිර පළාතට වැසි ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Heavy rains in the East have affected 82,312 families in the Province, Disaster Management Center said. Batticaloa District is the worst affected area with 76,511 families being affected and 330 families displaced by floods. The displaced are housed in four camps in Batticaloa. Over 1,000 houses have either been completely or partially destroyed in Battacaloa. In the Trincomalee District, 123 families have been displaced by floods while destroying over 300 houses completely or partially. The Meteorological Department says the Eastern Province could receive more rains from the North Eastern monsoon.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.