මිනිසුන්ට දැන් සුනාමිය වැදගත් නැති දෙයක්

December 22, 2009 by Editor  
Filed under Featured, Stories

Five Years After the Tragedy – Everyone has forgotten the tsunam

සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය කොතරම් විශාල දැයි සජීවී ආකාරයෙන් ලෝකයාට දැක ගැනීමට අවස්ථාව උදාවිය. ගමන් බිමන් යාම සදහා ගාල්ල බස් නැවතුම් පොළට පැමිණ සිටි තරුණියන් සිවු දෙනෙකු සුනාමි රළ පහරට හසුව ගසා ගෙන යන ආකාරය ලෝකයාම සුනාමිය ලංකාවට පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදා සවස් වන විට දැක ගන්න ලැබුණේය. ඒ සුනාමිය ගාල්ල නගරයට පැමිණි ආකාරය සජීවිව රූපගත කිරීමට ලංකාවේ කැමරාකරුවෙකු සමත් වීම නිසාය.

එම අනුවේදනීය සිදුවීම රූගත කර තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ ගාල්ල ප‍්‍රාදේශීය වාර්තාකරු වශයෙන් කටයුතු කළ අජන්ත සමරවික‍්‍රම විසිනි.
සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය ලොවට පෙන්වූ අජන්ත සමරවික‍්‍රම ගාල්ලේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන්නේ නැත. පුද්ගලික හේතු නිසා ගාල්ලේ සිට කොළඹට පැමිණි ඔහු දැන් වීඩියෝ ඡයාරූප කලාව සම්බන්ධයෙන් වන වෙළෙද සැලක් පවත්වා ගෙන යන්නේය.

වසර පහක් ආපසු හැරී බලද්දී මේ වන විට ලංකාවේ මිනිසුන්ට සුනාමිය වැදගත් නොවන දෙයක් බවට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.

‘‘සුනාමිය ඇවිත් අවුරුදු පහකුත් ඉවරයි ඒත් දැන් මිනිස්සුන්ට ඒ වගේ දෙයක් වුණාද නැද්ද කියලා අමතක වගෙයි. ගොඩක් අයට සුනාමිය දැන් වැදගත් කමින් තොර දෙයක් බවට පත්වෙලා.’’ සමරවික‍්‍රම කීවේය.

සුනාමියෙන් නිවාස අහිමිවූ බොහෝ දෙනාට මේ වන විට අලූතින් නිවාස ලැබී තිබේ. සුනාමියට පෙර කුඩා පැල්පත් වැනි නිවාසවල ජීවත්වූ අයට අලූතින් ඉදිකළ නිවාස ලැබුනේ යැයි සමරවික‍්‍රම සදහන් කළේය.

‘‘සමහරුන්ට සුනාමිය ඛෙදවාචකයක් වගේ දැනුණට සමහර අයට සුනාමියෙන් සමෘද්ධිය උදාවුණා. අලූත් ගෙවල් දොරවල් ඇතුළු සියලූම පහසුකම් ලැබුණා.’’ හෙතෙම සදහන් කළේය.

සුනාමියෙන් නිවාස අහිමි වූවන්ට නැවත නිවාස ලබා දීමට මෙන්ම සුනාමියෙන් විනාශ වූවන්ට කඩිනම් සහන ලබා දීමට හා සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශ ගොඩනැංවිම සදහා විදේශ ආධාර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ලැබුණේය. මේ ආකාරයට ඩොලර් මිලියන 35 ක ආධාර ලංකාවට ලැබීමට හේතු වී තිබුණේ සමරවික‍්‍රමගේ වීඩියෝ පටය ලොව පුරා විකාශය වීම නිසාය.

‘‘මුලින්ම ගාල්ල නගරයට සුනාමිය පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝ පටය විකාශය වුණේ අයි.ටී.එන්. (ස්වාධින රූපවාහිනී සේවයේ)එකේ. ඊට පස්සේ සි.එන්.එන්, බී.බී.ස’ වගේ ලෝකයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල විකාශ කරන්න ගත්තා.’’ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ කිසියම් වීඩියෝ වැඩසටහනකින් විනාඩි තුනක කොටසක් ලබාගැනීමට  ඕනෑම ආයතනයකට හැකියාව ඇතැයි සමරවික‍්‍රම සදහන් කළේය.

මෙම රූප රාමු පෙළ දුටු ලෝකයා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දුන්නේය. ඒ තරමටම මෙම රූප රාමු පෙළ ලෝකයට සංවේදී වි තිබුණේය.

‘‘මේක රූප රාමු නිසා ලංකාවට මේ තරම් ආධාර ලැබෙතැයි මම හිතුවේ නැහැ.’’ තමන් කළ වීඩියෝ කළ රූප රාමු පෙළෙන් රටට වැඩක් වූයේ යැයි සතුටු වන බව සමරවික‍්‍රම පැවසුවේය.

සුනාමියෙන් ගාල්ල නගරය විනාශ වී යන ආකාරය මෙන්ම සුනාමියට හසුවූ තරුණියන් සිවු දෙනෙකු රළ පහරේ ගසා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝගත කිරීම තමන්ගේ ජීවිතයේ ලැබූ සුවිශේෂීම අත්දැකීමක් බව සමරවික‍්‍රම කියයි. සමරවික‍්‍රමට මෙම දුලබ සිදු වීම වීඩියෝ කිරීමේ අවස්ථාව  ඔහු ගාල්ල් නගර  ව්‍යාපාරික මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන නිසාය.

සුනාමිය පැමිණි දෙසැම්බර් 26 වැනිදා සමරවික‍්‍රම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණියේ සති අන්තයේ ඔහුගේ සේවා ස්ථානයේ සේවකයින් සේවයට නොපැමිණෙන නිසාය.

ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති සේලක ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසලට ගාල්ල නගරයේ සෑම ස්ථානයක්ම පහසුවෙන් දැකිය හැකි විය. ඒ එම ගොඩනැගිල්ල ගාල්ල නගරයේ ඇති උස් ගොඩනැගිල්ලක් වන නිසාය. ව්‍යාපාරික ස්ථානයට වී සිටි අජන්තට මුහුද ගොඩගලන බව මුලින්ම පවසා තිබෙන්නේ ඔහුගේ සහෝදරියයි. ඇය ඒ වන විට සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබුණේය.

‘‘මුහුද ගොඩගලනවා කියලා කිව්වාම මම එළියට ඇවිත් වෙන්නේ මොකක්ද කියලා බැලූවා . මම ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදියට මුලින්ම අතට එන්නේ කැමරාව ඒ නිසා කැමරාව අර ගෙන වීඩියෝ කිරීම් ආරම්භ කළා.’’ සමරවික‍්‍රම පවසයි. මුහුද ගොඩගැලීම ආරම්භ වී ගාල්ල නගරටය මුහුදු රළ පැමිණෙන අවස්ථාවේ සිට සුනාමියෙන් නගරයට සිදු වූ හානිය දක්වා සියල්ම සමරවික‍්‍රම වීඩියෝ ගත කළේය.

ඔහු මුලින්ම එක් කැමරාවකින් සුනාමිය පැමිණෙන ආකාරය වීඩියෝ කළත් ටික වේලාවක් ගත වන විට සේලක ගොඩනැගිල්ලට එක්ව සිටි පිරිස නිසා එම කැමරාව වතුරට ඇද වැටිණි. ඉන් පසුව තවත් කුඩා කැමරාවක් ගෙන නැවත වරක් ඔහු වීඩියෝ කිරීම ආරම්භ කර කළේය.

‘‘කිසිම සිහියක් නැතිව තමයි මුල් විනාඩි පහ දහය වීඩියෝ කීරීම් කළේ.’’ සමරවික‍්‍රම කීවේය.මේ ආකාරයෙන් වීඩියෝ කිරීම් සිදු කර ගෙන යන අතරවාරයේදී ගාල්ල බස් නැවතුම් වහල දක්වා ජල පහර ඉහළ නගිමින් තිබුණි. කෙමෙන් කෙමෙන් ඉහළ යන ජලපහර තමන් සිටි ගොඩනැගිල්ලේ පහළ තට්ටු යට කර ගෙන පැමිණෙතැයි බිය වූ සමරවික‍්‍රම ගොඩනැගිල්ලේ ඉහළට දිව ගියේය.

බස් නැවතුම්පළේ වහලේ කොටසක් කඩා ගෙන යන ආකාරය වීඩියෝ ගත වී තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම කඩා ගෙන යන ආකාරය වීඩියෝවී නැත්තේ කොටසක් වීඩියෝ කිරීමන් පසුව ඉහළ තට්ටුවට මම දිව ගිය නිසාය.

මෙම සිදුවිම රූගත කරන අතරවාරයේදී සැම දෙනාගේම නෙත් අගට කදුළක් දනවන ආකාරයේ සංවේදී රූප රාමු කීපයක් තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමරවික‍්‍රමට හැකියාව ලැබුණේය. සුනාමියෙන් ලංකාවට සිදුවූ හානිය පිළිබදව ලෝකයාම කතා කිරීමට හේතු වූ මෙම සංවේදී රූප රාමු පෙළ වූයේ ගාල්ල බස් නැවතුම් පොළේ සිටි තරුණියන් කිහිපදෙනෙක් සුනාමියට හසුව ගසාගෙන යන ආකාරයයි.

‘‘මේක ක්ෂණිකව වුණා. ඒත් හොදට ෆෝකස් වෙලා තිබුණා. කැමරාකරණය පිළිබදව තිබූ පළපුරුද්ද නිසා තමයි මේ විදියට හොදට පින්තූර ඇවිත් තිබුණේ.’’
සුනාමියෙන් ගාල්ල නගරයට සිදු වූ හානිය සිය කැමරාමේ සටහන් කරගත් සමරවික‍්‍රම කොළඹට එම කැසට් පටය ගෙන යන ආකාරයක් පිළිබදව සිතා බලන්නට විය. මුහුදු මාර්ගය ඔස්සේ කොළඹ පැමිණීම දුෂ්කර විය හැකි යැයි සිතූ ඔහු විකල්ප මාර්ග භාවිතා කරමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත කැසට් පටය ගෙනවිත් භාර දුන්නේය.

සුනාමිය පැමිණ කාලයක් ගත වන විට විවිධ රටවල සිට පැමිණි මාධ්‍යවේදීන් ලංකාවේ සුනාමිය පිළිබද සමරවික‍්‍රමගෙන් සම්මුඛ සාකච්ඡ ලබා ගෙන තිබුණේය. එහෙත් සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට කිසිවෙක් පැමිණ ලංකාවේ සුනාමිය පිළිබද කිසිවක් විමසන්නේ නැතැයි සමරවික‍්‍රම කීය.

‘‘මම ඒ වෙලාවේ මට පැවරී තිබූ රාජකාරිය ඉටුකළා කැසටි එක නියම වෙලාවට අයි.ටී.එන් එකට ගිහිල්ලා දුන්නා. පරක්කුවෙලා ඒක ගිහින් දුන්නා නම් වැඩක් නැහැ. මම හරියට කළ වැඩෙන් රටට වැඩක් වුණා කියලා අද සතුටු වෙනවා.’’ සමරවික‍්‍රම පැවසුවේය.

The live video footage of Independent Television Network’s provincial correspondent, Ajantha Samarawickrema, of the tsunami that hit the Galle town on December 26, 2004 showed the world of the tragedy. His video footage that was telecast a few minutes into the tragedy showed the world the magnitude of the tragedy. It also helped bring in foreign funds to the country. However, he says most people have now forgotten about the tsunami. Samarawickrema observes that while the tsunami was a tragedy for some it brought in prosperity to others because of the new houses they received.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.