අදුරු මතකයන් මැදින් තවමත් නැගෙන හම්බන්තොට
Five Years After the Tragedy – Hambantota Reawakens
වියරු සුනාමි රළ පැමිණියේ දකුණුකරයට බොහෝ දෑ අහිමි කිරීමේ බලාපොරොත්තුව ඇතිවය. මව පියා, බිරිය, සැමියා, දුව, පුතා, පමණක් නොව ආච්චි, සීයා සහ හිතවතුන් සේම අසල්වැසියන් ද අහිමි වූයේ වියරු සුනාමි රළ පහරෙනි. මිනිස් ජීවිත පමණක් නොව අහිමි වූ භෞතික දේපළ ප‍්‍රමාණය ද අති විශාලය.
එහෙත් බිංදුවටම වැටී සිටි ඔවුහු අදුරැ මතකයන් මැදින් සිය ජීවිතය යළි ඇරඹූහ. සුනාමි ව්‍යසනයෙන් වසර පහක් ගතවන මොහෙතේදීත් ඔවුහු තැත් දරන්නේ සිය ජීවිතය යථා තත්ත්වයට පත්කර ගනු පිණිසය.
හම්බන්තොට නගරය සුනාමිය ආවේ දහස් ගණනක් ජීවිත සේම දේපලද විනාශ කරමිනි. වර්තමානය වන විට සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට නගරය යළි ගොඩනැගෙමින් තිබේ.
‘‘සුනාමිය එන්න කළින් මම හිටියේ මාර්කට් එකේ. ඊට පස්සේ තමයි මාර්කට් එකෙන් ටිකක් මෙහාට ආවේ. සුනාමියෙන් මට ලක්ෂ 12ක විතර පාඩුවක් සිද්ධ වුණා. ටික කාලයක් ගිහින් ආයෙමත් බිස්නස් පටන් ගත්තා. හැබැයි දැන් බිස්නස් තියෙනවා. ඒත් ඉස්සර තරම් බිස්නස් නැහැ.’’
හම්බන්තොට නව පොදු වෙළෙඳ සංකීර්ණයේ ප්ලාස්ටික් සහ විසිතුරු බඩු කඩයක් පවත්වා ගෙනයන එම්.වයි රිෂාඞ් පැවසුවේය.
‘‘ඉස්සර තරම් බිස්නස් නැති වෙන්න හේතු තියෙනවා. සුනාමියෙන් පස්සේ ටවුන් එකේ හිටපු බොහෝ දෙනෙක් පිටස්තර ප‍්‍රදේශවලට අරන් ගිහින් පදිංචි කළා. එ හින්දා ටවුන් එකට එන සෙනෙඟ අඩුයි. වරාය හදන නිසා කතරගම පාරත් වැහුවා. දැන් පිටින් එන අයට හම්බන්තොට ටවුන් එකට නෑවිදින් පිටින් යන්න පු`ථවන්. එ්කයි බිස්නස් අඩු.’’ හම්බන්තොට සජී ටේලර්ස් අධිපති කේ.ඞී ගුණසේන පැවසුවේය.
සුනාමිය පැමිණීමට පෙර ඔහුගේ ව්‍යාපාරය තිබුණේ හම්බන්තොට පැරණි පොදු වෙළෙද සංකීර්ණයේය.
හම්බන්තොට නව වෙළෙඳ සංකීර්ණයේ පිටු පස කොටසේ සිල්ලර වෙළෙද ව්‍යාපාරයක් පවත්වා ගෙන යන එස් බුහාර්දීන් සුනාමියෙන් අනතුරුව තමන්ට ලැබුණ කඩය පිළිබඳ සෑහීමකට පත්වන්නේ නැත.
‘‘අපි මෙතන හැංගිලා වගේ. එ හින්දා නගරෙට එන සෙනඟ වැඩිය මෙහෙට එන්නෙ නැහැ. අනික අපි ඉස්සර හිටිය තැනට මාසිකව බදු ගෙව්වේ රුපියල් එකසිය පනහක් විතර. දැන් අපි මාසෙටම රුපියල් තුන්දහස් පන්සීයක් විතර ගෙවන්න ඕන. ලයිට් බිල් වෙනම ගෙවනවා. බිස්නස් වැඩිය නැහැ.’’
බුහාර්දීන් පැවසුවේය.
සුනාමි ව්‍යසනයෙන් පසුව නගරයේ සිදු වූ වෙනසට බොහෝ දෙනාගේ එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.
‘‘සුනාමියෙන් පස්සෙ හදපු ටවුන් එක කිසි පිළිවෙළක් නැහැ. ඔර්ලෝසු කණුව කැඩුවා. මාර්කට් එක හැදුවේ සෙනඟට පේන තැනක නෙමෙයි. හදනවා කියපු ගොඩනැගිලි තාමත් හදලා නැහැ. සුනාමියෙන් පස්සේ හම්බන්තොට ගැන ගොඩක් බැලූවේ රාජ්‍ය නොවන සංවිධාන තමයි.’’ ජේ ඒ අල්ලූදීන් පැවසුවේය.
අල්ලූදීන් හම්බන්තොට නගරයේ වෙළෙද ව්‍යාපාරිකයෙකි.
‘‘සුනාමියෙන් පස්සෙ ටවුන් එකේ අලූතින් ගොඩනැගිලි හැදුවා තමයි. ඒත් මිනිස්සුන්ගේ ජීවිත තාමත් එතනමයි. මීට වඩා වෙනසක් වෙන්න ඕන කියලයි අපිට හිතෙන්නෙ.’’ රැකව පදිංචි පද්මසිරි පැවසුවේය. ඔහු හම්බන්තොට නගරයට පැමිණ සිටියේ සිය මෝටර් රථයට අමතර කොටස් කිහිපයක් රැගෙන යාමේ අදහසිනි.
රුදුරු සුනාමියෙන් වඩාත් හානියට පත් වූ පිරිස අතරින් හම්බන්තොට ධීවරයන් ද සුවිශේෂී පිරිසකි.
හම්බන්තොට ධීවරයෙකු වූ ඒ පී ප‍්‍රියන්ත සුනාමියෙන් අවතැන් වූ ධීවරයෙකි. සුනාමි රළ පහර ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුම සොරා ගත්තේය. මහත් කම්පනයට පත්ව සිටි ඔහු සිය රැකියාව නැවත අරඹුවේ ජීවිත් වීමට මුදල් සෙවීමටය.
‘‘සුනාමියෙන් පස්සේ අපි ගොඩක් අමාරු තත්ත්වෙකයි හිටියෙ. අපිට විවිධ අයගෙන් ආධාර ලැබුණා. බෝට්ටු දැල් වගේ ගොඩක් දේවල් ලැබුණා. ඒ හින්දා තමයි ඉක්මනටම අපිට රස්සාව කරන්න පුලුවන් වූණේ. මට නම් ඉස්සරට වඩා දැන් ව්‍යාපාර කටයුතු හොඳයි.’’ ප‍්‍රියන්ත පැවසුවේය. ඔහුගේ සොහොයුරා වන ඒ. පී අජීත්ද ප‍්‍රියන්ත සමඟ එකතු වී මුහුදු රස්සාවේ යයි.
‘‘ මට නම් රජයෙන් කියලා කිසි දෙයක් ලැබුණෙ නැහැ. සුනාමියෙන් මගේ රැපියල් 45000ක විතර මාලු නැති වුණා. මාලු පෙට්ටි විසි අටක් නැති වුණා. සීයේ තරාදි දෙකක් වතුරේ ගියා. අඩුම තරමින් ඉන්න ගෙයක්වත් ලැබුණෙ නැහැ.ඒ මදිවට දැන් බිස්නස් සවුත්තුයි. ඉස්සර වගේ නැහැ’’ ඒ සී.එම් නවුෆර් පැවසුවේය. ඔහු පවසන අන්දමට සුනාමියෙන් ප‍්‍රතිලාභ ලැබුවේ ඉන් වැඩි හානියට පත් වූ පුද්ගලයන්ට වඩා අඩුවෙන් හානියට පත් වූ පුද්ගලයන්ටය.
‘‘සුනාමියට දැන් අවුරුදු පහයි. එත් අපි තාමත් එතනමයි. බලන්න මේ මාර්කට් එක දිහා. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. මොනවද අපිට තියෙන පහසුකම්. අපේ මහන්සියට වටිනාකමක් තියෙනව ද. මම කියන්නෙ අපිට තනියම නැගිටින්න පසුබිම හදලා දෙන්න කියලා.’’ හම්බන්තොට මාලු වෙළෙඳ පොළේ ඒ .එච් තස්මින්ඞීන් පැවසුවේය.
වියරු දළ රළ පෙළ දකුණු ලක වැසියන්ගේ ජීවිත කනපිට හැරවූයේය. තවමත් ඉන් ලද තිගැස්ම ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසකි. සුනාමි ව්‍යසනයේ අඳුරු මතකයන් මැදින් නැඟී සිටින්නට වෙර දරණ මේ හම්බන්තොට වැසියන්ගේ ජීවිත බොහොමයක් තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත. සිය දිවි පෙවෙත පිළිබඳ සැනසීමෙන් කතා කරන්නට ඔවුන්ට හැකි වන්නෙ ඔවුන් කෙරේ කිසියම් සැලසුම් සහගත අවධානයක් යොමු වන්නේ නම් පමණි.




