තැපැල් ඡන්දයේදී සැලකිය යුතු සිදුවීම් වාර්තා වුණා.

January 13, 2010 by Editor  
Filed under Featured, Stories

Concerns over postal voting

තැපැල් ඡන්දය භාවිතා කිරීම සම්බන්ධව බරපතල සිද්ධි වාර්තා වීමක් සිදු නොවුණත් සැලකිය යුතු මට්ටමේ සිදුවීම් කහිපයක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති.

ඒ සම්බන්ධව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘ රත්නපුර ගමනාගමන මණ්ඩලය තංගල්ල පොලිස් බල ප‍්‍රදේශය ආශි‍්‍රතව  ඡන්ද හිමියන්ට බලපෑම් කළ සිද්ධි කිහිපයක් වාර්තා වුණා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන වලින් පිටත ප‍්‍රදේශයේ නීතී විරෝධී ලෙස පෝස්ටර් බැනර් කටවුට්  ආදිය ප‍්‍රදර්ශනය කළ සිද්ධි කිහිපයකුත් අපිට වාර්තා වුණා.’’ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ ඊයේ දිනයේදී 65 පමණ ප‍්‍රතිශතයක් ඡුන්දය භාවිතා කළා. සාමාන්‍යයෙන් වෙනත් මැතිවරණයකදී තැපැල් ඡන්ද භාවිතා කරන පළමු දිනයේදී සාමාන්‍යයෙන් 70 ක් 75ක් පමණ ප‍්‍රතිශතයක් ඡන්දය භාවිතා කරනවා. එහෙම බැලූවොත් මෙවර මැතිවරණයේ පළමු දිනයේදී එය යම් මට්ටමකින් අඩු වී ඇති බව පේනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය.

‘‘මෙවර තැපැල් ඡන්ද භාවිතා කිරීම සාමකාමී අන්දමට සිදුවෙනවා. මේ සම්බන්ධව සැලකිය යුතු මට්ටමේ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වෙලා නැහැ. ඡන්දය ප‍්‍රකාශ කළ නොහැකි වූ අයෙකුට ඒ සඳහා ලබන 26 වැනිදා දක්වා කල් තියෙනවා. ’’ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පැවසුවේය.

‘‘තැපැල් ඡන්දය භාවිතා කිරීමේ කි‍්‍රයාවලිය තුළදී සිදුවු නීති විරෝධී සිදුවීම් රැසක් අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වලට සම්බන්ධව අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශ වල තැපැල් ඡන්දදායකයන්ට යම් යම් බලපෑම්කාරී වාතාවරණයක් පැවතියා. අනුරාධපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානය තී‍්‍රකුණාමලය නාවික හා ගුවන් හමුදා කඳවුරුවලට ඡන්ද පොළ නියෝජිතයන්ට ඇතුල් වීමේ බාධාවන් පැවතියා.’’ කැෆේ සංවිධානයේ කැදවුම්කරු කීර්ති තෙන්නකෝන් පෙරඹරට ප‍්‍රකාශ කළේය.

‘‘ නීති විරෝධි ලෙස පෝස්ටර් කටවුට් බැනර් ආදිය ප‍්‍රදර්ශනය කිරීමේ විශාල සිද්ධි ප‍්‍රමාණයක් අපිට වාර්තා වෙලා තියෙනවා. මෙය මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්. ඉතිහාසයෙ ප‍්‍රථම වතාවට තැපැල් ඡන්දයක් අවස්ථාවකදී මෙවැනි දේවල් සිදුවුණේ. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ලෙසයි අප දකින්නෙ.’’ තෙන්නකෝන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

‘‘තැපැල් ඡන්ද ප‍්‍රකාශ කළ පළමු දිනයට අදාළව අපේ මධ්‍යස්ථානය වෙත මැතිවරණ නීති උල්ලංඝණය කළ සිදු වීම් 15 ක් පමණ වාර්තා වුණා. බරපතල මට්ටමේ නොවුණත් ඒවා සැලකිය යුතු මට්ටමේ සිදුවීම්. අපේ මැතිවරණ නිරීක්ෂකයන් 170 ක් පමණ තෝරා ගත් ස්ථාන රැසක තැපැල් ඡන්දය නිරීක්ෂණයට යොදවා සිටියා.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂකණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක ප‍්‍රකාශ කළේය.

Election monitors expressed concern over several minor incidents recorded during postal voting. PAFFREL Executive Director Rohana Hettiarachchi said there were several incidents of violation of election laws during postal voting. CAFFE Spokesperson Keerthi Tennekoon said they had received a large number of complaints related to incidents on postal voting days. The intimidation of postal voters in the armed forces was one such incident, he said. CMEV Coordinator D.M. Dissanayake also said they had recorded about 15 incidents during the same period. However, Deputy Elections Commissioner Mahinda Deshapriya said the postal voting was conducted in a peaceful manner without any serious incidents being recorded.

By Anupama Ganegoda

  • Share/Bookmark
Creative Commons

Comments are closed.