ෆේස් බුක් හෝ ඊමේල්වලට ජනාධිපතිවරු බිහිකරන්න බැහැ – වීරවංශ

January 28, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණටය ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් දෙදෙනාම අන්තර්ජාලය ක‍්‍රියාශීලි ලෙස යොදාගෙන තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ක‍්‍රියාත්මක කළ අතර ෆෙස් බුක් හෝ අන්තර්ජාලයට ජනාධිපතිවරයෙන් නිර්මාණය කළ නොහැකියැයි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ අපේක්ෂකයාගේ ප‍්‍රභල ආධාරකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කීවේය.

‘‘විදේශ තානාපති කාර්යාලවටල කට කතාවලට ෆේස් බුක්වලට ඊමේල් වලට මේ රටේ ජනාධිපතිවරු බිහිකරන්න බැරි බව ඔප්පු කළා.’’ ජනවාරි 28 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වීරවංශ කීවේය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමට පෙර සිටිම ෆේස් බුක් හා ඊමේල් ඔස්සේ ජනාධිපතිවරණටය ඉදිරිපත්වූ ප‍්‍රධාන අපෙක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂට හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දක්වමින් නොයෙක් ආකාරයේ ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක වුනේය. ඇතැම් අවස්ථාවක මොවුන් දෙදෙනාට සහාය දක්වමින් ෆේස් බුක් පිටු හා කණ්ඩායම් නිර්මාණය වුනේය. මොවුන් දෙදෙනාගේම නිල වෙබ් අඩවිවල මෙම ෆේස් බුක් කණ්ඩායම්වලට පැමිණිය හැකි ආකාරයට ඒවා සකස්කර තිබුනේය.

ජනාධිපතිවරණ සටනේ උනුසුම ඉහළ යාමත් සමගින් අන්තර්ජාලයේද ජනාධිපතිවරණ සටන උනුසුම් මුහුණුවරක් ගත්තේය. අන්තර්ජාලයේ ජනාධිපති අපේක්ෂකරුන් දෙදෙනා අතර පැවති සටනේදී විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඉදිරියෙන් සිටියේය. මැතිවරණය පැවැත්වෙන සතිය වන විට විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ නිල ෆේස් බුක් කණ්ඩායමේ හැට දහසක් පමණ වන දෙනා සාමාජිකත්වය ලබාගෙන තිබුනේය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකත්වය ලබාගෙන තිබුනේ හතළිස් දහසකට ආසන්න පිරිසක් පමණි. මීට අමතරව ඇතැම් පුද්ගලයින් විසින් නොයෙක් ආකාරයෙන් ෆේස් බුක් කණ්ඩායම් සකස් කරගෙන තිබූ අතර ඔවුන් විසින්ද ඒ ඒ අපෙක්ෂකයාට සහාය දක්වන ආකාරයේ ප‍්‍රකාශයන් ෆේස් බුක් කණ්ඩායම් හරහා සිදුකර තිබුනේය.

අන්තර්ජාල සමාජය තුළ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වැඩි කැමැත්තක් ඇති බව පෙන්නුම් කළත් ජනාධිපතිවරණයේදී නැවත වරක් වත්මන් ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කළේය.

‘‘මේ රටේ ජනාධිපතිවරු බිහි කරන්නේ මේ රටේ පොදු ජනතාව බව මෙම මැතිවරණයෙන් පෙන්නුම් කළා.’’ වීරවංශ කීවේය.

ජනාධිපතිවරයාට සහාය දැක්වූ දේශපාලන පක්ෂයක නායකයෙක් මේ ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකරන අවස්ථාවේදී ෆේස් බුක් හා එස්.එම්.එස්. මාර්ගයෙන් විවිධ කට කතා පැතිරවූ බවට වන චෝදනාව මත පුද්ගලයින් තිදෙනෙක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේය. මෙසේ පුද්ගලයින් තිදෙනෙක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් අත්අඩංගුවට තිබෙන බව යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උයද නායායක්කාර තහවුරු කළේය.

මැතිවරණයෙන් පසුව ජයග‍්‍රහණය කළ හා පරාජයට පත්වූ ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබදව අන්තර්ජාල සමාජය විවිධ අදහස් පළකර තිබුනේය.

‘‘සරත් ෆොන්සේකා ෆේස් බුක්හි ජනාධිපතිවරයායි. ඒත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයායි. රටේ මතය ෆෙස් බුක් වෙතින් නියෝජනය නොවන බව මතක තියාගන්න.’’ ෆේස් බුක්හි තමන්ගේ මතය සටහන් කරමින්  නතාශා කුමාරි ලියා තිබුනේය.

මැතිවරණයෙන් ජයගැනීමත් සමග ජනාධිපති රාජපක්ෂගේ ෆේස් බුක් කණ්ඩායම වෙත පැමිණි අන්තර්ජාලය භාවිතා කරන්නෝ ඔහුගේ ජයග‍්‍රහණය පිළිබදව විවිධ අදහස් ඉදිරිපත් කර තිබුනේය. මෙම ජයග‍්‍රහණය පිළිබදව බොහෝ දෙනා ෆේස් බුක් ඔස්සේ ජනාධිපතිවරයාට සුභ පැතුම් එක්කර තිබුනේය. ‘‘රට භාරයි නුඔට පුතේ…….. සුභ අනාගතයක් වේවා ජනාධිපතිතුමනි……… අපේ සුභපැතුම් මහ රජානෙනි……’’ ආදී වශයෙන් වන සුභ පැතුම් පණිවුඩ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆේස් බුක් පිටුවේ ලියා තිබුණි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව අලූතින් ෆේස් බුක් කණ්ඩායමක් නිර්මාණය විය. ‘‘සරත් ෆොන්සේක තවමත් අපි ඔබ සමගයි’’ යනුවෙන් එම ෆේස් බුක් කණ්ඩායම සකස් කර තිබුණි.

‘‘සත්‍ය කෙදිනක හෝ ජයගනු ඇත….එතෙක් අපි ඔබ සමගයි.’’මෙම ෆෙස් බුක් කණ්ඩායම නිර්මාණය කිරීමට දායකත්වය ලබාදී තිබූ ලක්ෂාන් ජාෂ් කියා තිබුනේය.

එහෙත් මෙම කණ්ඩායම ව්‍යාජ කණ්ඩායමයක් වන බවත් එහ ෆොන්සේකාට සහාය නොදක්වන බවත් ඇතැම් අය එහි ලියා තිබුනේය.

විදේශ තානාපති කාර්යාලවලට ජනාධිපතිවරු බිහිකළ නොහැකි බවට වීරවංශ ප‍්‍රකාශ කරන අවස්ථාව වන විට වත්මන් ජනාධිපතිවරයා සමග සහයෝගයනේ කටයුතු කිරීමට තමන් කටයුතු කරන බවද නිවේදනයක් නිකුත්කරමින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේය.

‘‘සාමකාමී හා සෞභාග්‍යවත් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමට අපි රජයට හා ජනතාවට සහාය ලබාදෙනවා.’’ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සදහන් වූයේය.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව විපක්ෂයේ පොදු අපේක්ෂකායගේ ආරක්ෂාව පිළිබදව විවිධ ගැටලූ ඇතිවී තිබූ අතර තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග ඛරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ඉල්ලා තිබුනේය. මේ පිලිබදව ඇමරිකානු තානාපති කාර්යාල සිය අවධානය යොමුකර තිබුණි.

‘‘ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලූම අපේක්ෂකයින්ගේ හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටිනවා.’’ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේය.

ඇමරිකාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාද ලංකාවේ ජනාධිපතිවරණය පිළිබදව සිය අවධානය යොමුකර තිබුනේය. මැතිවරණය සාමකාමී අන්දමින් පැවති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් ජනවාරි 27 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී පැවැති  ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා තිබුනේය.

An ally of the current administration, parliamentarian Wimal Weerawansa told a press conference on the 28th that the diplomatic offices, Facebook pages and e-mails cannot help elect Presidents. Soon after handing in nominations, various Facebook pages and e-mails were used to propagate the two main contenders at the Presidential election, President Mahinda Rajapaksa and General Sarath Fonseka. Weerawansa said the election has proven that it was the people who elected the President. Meanwhile, three persons were arrested by the Defence Ministry for spreading false rumors through Facebook and SMS. In relation to the diplomatic community, the US embassy in Colombo and UN Secretary General Ban Ki-Moon made statements on Sri Lanka’s Presidential elections.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark
Creative Commons