විශ්වාසයනීය හෙටක්- විපක්ෂයේ පොදු අපේක්කයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනතාවට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා තමන්ගේ දේශපාලන ඉදිරිගමනේදී ගමන්කරන ගමන්මාර්ගය පහැදිළි කරමින් ප‍්‍රතිපත්ති දහයකින් සමන්විත ‘‘විශ්වාසනීය හෙටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹදී ජනවාරි 7 වැනිදා එළිදැක්වූයේය.
විපක්ෂයේ පොදු සන්ධානයට සම්බන්ධව සිටින විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගෙන මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේයැයි ෆොන්සේකා සදහන් කළේය. මේ පිළිබදව විවධ මත ඉදිරිපත්වූ නමත් සියලූදෙනාමට එකගවිය හැකි කාරණා මත මෙම ප‍්‍රතිපත්ති දහය සකස් කරගෙන ඇතැයි පොදු අපේක්ෂකයා සදහන් කළේය. මහජනතාමවට
‘‘මෙම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.’’ ෆොන්සේකා කීවේය.
විපක්ෂයේ පොදු සන්ධානයට එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයින් සහභාගී වූ උත්සවයකදී මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අතර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුල් පිටපත ෆොන්සේකා විසින් භික්ෂූන් වහන්සේලාට හා අන්‍ය ආගමික පූජක වහන්සේලාට පිරිගන්වනු ලැබීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම, නාස්තිය දූෂනය අවම කිරීම, අත මිට සරුකරගැනීම සදහා හැම පවුලකටම උපකාර කිරීම, ජීව බර සැහැල්ලූ කිරීම, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීම, සෞඛ්‍ය හා අධ්‍යාන ක‍්‍රමය නගාසිටුවීම, කාන්තා අයිතීන් සුරැකෙන ගෞරවනීය තත්වයක් ඇතිකිරීම, තරුණ පරපුරට රැුකියා ලබාදීම ,යුක්ති ගරුක හා විනයගරුක සමාජයකට අඩිතාලම දැමීම, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනට ඇතුළත් වුනේය.
තමන් විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් රට මුහුණදී තිබෙන ගැටලූ රාශියකට පිළිතුරු ලබාදීමට අවස්ථාව ලැබෙන බවද ෆොන්සේකා කීවේය. මෙය මැතිවරණයක් ආසන්නයේදී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ආකාරයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් නොවන බවද හෙතෙමෙ කීවේය. මීට පෙර පැවති ජනාධිපතිවරණ වලදී විවිධ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන රටට ඉදිරිපත් කර ඇතත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලින් වෙනස්වන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් වන්න්නේයැයි හෙතෙම කියයි.
‘‘මීට පෙර ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නැවත අපි අතට ගන්නේ ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොවීම නිසා ආණ්ඩුවට බැණීමටයි. ඒත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඡුන්ද ගනන් බලාගෙන නොවෙයි. රටත් ජනතාවත් ඉදිරියට යෑමට හැකි යෝජනා මාලාවක් තමයි අපි මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ.’’ විපක්ෂයේ පොදු සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
මේ රටේ ප‍්‍රජතාතන්ත‍්‍රවාදය අහිමිවීමට ප‍්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය වන බැවින් ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් සකස් කිරීමට කටයුතු කරන බවද ෆොන්සේකා පැවසුවේය. ‘‘අප ඉදිරියේ පවතින ප‍්‍රධානම අභියෝගය වන්නේ ඒකාධිපති පාලනයකට පාර කපන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ජනාධිපති ලෙස මා පත්වීමෙන් පසුව මා සිදුකරන ප‍්‍රථම කටයුත්ත වන්නේ ස්වාධීන කොමිශන් සභා යළි ස්ථාපිත කිරීමට හැකිවෙන පරදි 17 වන ව්‍යවස්ථා සංශෝධනය පණ ගැන්වීමයි.’’ ෆොන්සේකා විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වෙයි.
තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව පවතින යෝධ කැබිනට් මණ්ඩලය විසුරවා හරින බවද ෆොන්සේකා කීවේය. භාරකාර රජයක් යටතේ ලංකාවේ පැවත්වන වඩාත්ම නිදහස් හා සාධාරණ මැතිවරණය පවත්වන බවද තොරතුරු දැනගැනීම හා හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරිම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා සංශෝධනය කිරිමට අවශ්‍ය නව පනත් මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වේ.
සති තුනක් ඇතුළත වංචා දූෂනය පිටු දැකීම සදහා වන නව නීති සම්පාදනය කිරිමටද විපක්ෂයේ පොදු අපේක්ෂකයා සූදානම් වෙයි. මේ වන විට ගොවි පවුල් සදහා ලබාදෙන සහනාධාර ගොවීන්ට ලබාදීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාද පොරෝන්දුවී සිටී. යූරියා මිටියක් රුපියල් තුන්සිය පනහකටත් අනෙක් පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කරන බවද ෆොන්සේකා විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වෙයි. ඒ අතරම ජීවන බර සැහැල්ලූ කිරිම සදහා ආහාර මිල පහත හෙළීමට කටයුතු කරන අතර ඉන්ධන මිල පහළ හෙලීමටද කටයුතු කිරිමට නියමතිය. එමෙන්ම ප‍්‍රවාහන වියදම් අවම කිිරීම සදහා කටයුතු කිරීමටද ෆොන්සේකා බලාපොරොත්තු වෙයි.
ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ක‍්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සියලූදෙනා පිළිබදව පරීක්ෂණ කඩිනම් කර අධිකරණයට ඉරිපත් කිරිම පුනරුත්ථාපනය කිරිම හෝ නිදහස් කිරිම සිදුකරන බවටද ෆොන්සේකා ජනතාව හමුවේ පොරොන්දුවී තිබේ.
තරුණයින්ට රැකියා ලබාදීම සදහා යොවුන් අභියෝග ණමින් පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමටත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනතාව හමුවේ පොරොන්දුවී තිබේ. ගෞරවනීය පොලිස් සේවයක් ඇතිකිරීමට කටයුතු කරන බවද අවුරුදු විසි දෙකක සේවා කාලයෙන් පසුව විශ‍්‍රාම යාමට කැමැත්තක් දක්වන අයට සම්පූර්ණ විශ‍්‍රාම වැටුප් සහිතව විශ‍්‍රාම යාමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම කියයි.
අසල්වැසි රටවල ආරක්ෂක තත්වය පිළිබදව අවධානය යොමුකරමින් විසි එක්වැනි සියවසේ අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයට ආරක්ෂක හමුදාවන් නවීකරණය කිරීමට කටයුතු කරන බවද විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකශයේ දැක්වේ.
‘‘මේ ප‍්‍රතිපත්ති මාලාව රටේ අනාගතය තීරණය කරාවි. මෙම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරීමට අපි දැඩි අධිෂ්ඨානයකින් පසුවනවා.’’ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හදුන්වාදෙන අවස්ථාවේදී ෆොන්සේකා කීවේය.
‘‘මෙය තවත් ලියවිල්ලක් පමණක් නොවෙයි. රටට විශ්වාසයක් ඇතිකරන ලියවිල්ලක්.’’ මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කීය. විවිධ දේශපාලන මත දරන පක්ෂවල එකතුවෙන් සකස් කර ඇති මෙවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් නොකළ බවද හෙතෙම පැවසුවේය.
මෙවර පවත්වන මැතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවද ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා කීවේය. ‘‘මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ජනාධිපති හා කැබිනට් මණ්ඩලය අතර පරතරයක් ඇතිකර තිබෙනවා. ඒ මගින් පාර්ලිමේන්තුවේ බලය ශූන්‍ය කර තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය විසින් පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර තිබෙනවා.’’ හෙතෙම පැවසුවේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට වැඩි ආරක්ෂාවක් ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති අතර ෆොන්සේකාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිර්දේශයට ඉදිරිපත් කර තිබුනේය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය අනුව ජනාධිපතිවරයා කටයුතු කර නැති බවද තමාගේ ආරක්ෂාව වැඩි නොකළ බවද සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිිරීම සදහා පැවති උත්සවය අවසන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ ෆොන්සේකා කීවේය.
‘‘26 වැනිදාට දොරටු දෙකක් විවෘත කිරගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා යහ පාලනය ඇති කිරීම සදහා එක් දොරටුවක් විවර වෙනවා. අනික් දොරටුව වංචාව දූෂනය පිරුණු දොරටුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විවර කරගැනීම සදහා වන දොරටුව විවර කරගැනීම සදහා අවශ්‍ය දැක්ම මේ යෝජානාමාලාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.’’ දිසානායක පැවසුවේය.




