ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නතර කරන්න කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නැහැ
No one wants to end violence දිනෙන් දින ඉහළ යන පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නැවැත්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති. මේ තත්ත්වය වහා වළක්වා නොගත හොත් මෙවර ජනපතිවරණය දුෂිත එකක් වනු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.
‘‘අපිට එක දේශපාලන පක්ෂයකට ඇඟිල්ල දික් කරන්න බැහැ. පක්ෂ දෙකේම අපේක්ෂකයන්ගේ අධාරකරුවෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරත වෙනවා. මඩ ප‍්‍රචාරණ බහුල විදිහට ක‍්‍රියාත්මක වෙනවා. මැතිවරණ නීති දැඩි ලෙස උල්ලංඝණය වෙනවා. එහෙත් කිසිම දේශපාලන පක්ෂයකට තමන්ගේ ආධාරකරුවෝ පාලනය කරගැනීමේ උවමනාවක් නැහැ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී.එම් දිසානායක පැවසුවේය.
‘‘මේ වන විට අප වෙත පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 620ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් සිදුවීම් 80 කට වැඩි ප‍්‍රමාණයක් ගිනි අවි භාවිතා කිරීම සම්බන්ධව වාර්තා වෙන්නෙ. බරපතල ගණයේ සිදුවීම් 276ක් වාර්තා වෙනවා. කොහොම වුණත් මැතිවරණය ආසන්න වන විට ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දිගින් දිගටම ඉහළ යන අකාරයක් තමයි පෙන්නුම් කරන්නෙ.’’ දිසානායක පැවසුවේය. ඔහු පෙන්වා දෙන ආකාරයට පොලිසිය පක්ෂපාතී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මැතිවරණ නීතිය ලෙස ක‍්‍රියාත්මක වීමට ඉඩ ප‍්‍රස්ථාව අහිමි වී තිබේ.’’
‘‘මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් විනාශ වන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. මේ වන විට මිනිස් ජීවිත හතරක් අකාලයේ අහිමි වෙලා. කිසිදු දේශපාලන පක්ෂයක් මේ දේවල් වලට වග කියන්නෙ නැහැ. අන්තිමට පැරදිලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාව.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය. පැෆ්රල් සංවිධානයට වාර්තා වී ඇති පරිදි මේ වන විට පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 371 වාර්තා වී තිබේ. ඉන් 136ක් දේශපාලන පක්ෂ කාර්යාල කඩා දැමීම් සහ ගනිබත් කිරීම්ය. පහර දීම් 78ක් මීට ඇතුළත් වන අතර රාජ්‍ය දේපල අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධව සිදුවීම් 34ක් ද වාර්තා වේ.
‘‘ මෙවර මැතිවරණයේදී ඉතා විශාල ආකාරයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ ගිහින් තියෙනවා. මේ වන විට මිනිස් ඝාතන කිහිපයක්ම සිදුව තිබෙනවා. මෙයට ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අයත් පක්ෂ විසින් මේ ප‍්‍රචණ්ඩ
කි‍්‍රයා සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක්. ඉදිරි දින කිහිපය තුළදීවත් මේ තත්ත්වය වළක්වා ගන්න කටයුතු කිරීම අතිශය වැදගත් කාරණයක්. ’’ කැෆේ සංවිධානයේ කැදවුම්කරු කීර්ති තෙන්නකෝන් ප‍්‍රකාශ කළේය.




