වසරකට පෙර කතුවරයෙක් මරාදැමුවේය
One year ago, an Editor was killed
2010 දෙසැම්බර් 8 වැනිදාත් සුපුරුදු පරිදි සන්ඩේ ලීඩර් පුවත්තේ කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ වෙමින් තිබුනේය. පත්තර කන්තෝරුවේ වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට ඇරඹෙමින් පවතින අවස්ථාවේදී සාමාන්‍යයෙන් පුවත්පත් කාර්යාලයට නොපැමිණෙන පිරිසක්ද එම කාර්යාලය වෙත පැමිණෙමින් තිබුනේය. මෙසේ පැමිණෙන්නන් ලීඩර් පුවත්පත් කාර්යාලට අමුත්තන් වූයේ නැත. මෙසේ පැමිණෙමින් සිටි බොහෝ දෙනෙක් මීට පෙර සන්ඩේ ලීඩර් පුවත්පත ආරම්භ කළ ලසන්ත වික‍්‍රමතුංග සමග පුවත්පතේ සේවය කළ අයය. මාධ්‍යවේදීන් වූ ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ මාධ්‍ය ජීවිතය ආළෝකමත් කර ගැනීමට වික‍්‍රමතුංගගෙන් නොමද පිටුවහලක් ලැබී තිබුනේය. මෙදින මේ ආකාරයට පැමිණ සිටි ඇතැම් අය ඔහුට ආදරය කළ අයය. නැතිනම් වික‍්‍රමතුංගගේ පත්තර ජීවිතයට ආදරය කළ අයය.
ලසන්ත සමීපය ඇසුරුකළ පුද්ගලයින් ලීඩර් පුවත්පත් කාර්යාලය වෙත පැමිණියත් වෙනදා සිනාමුසු මුහුණින් සිටින ලසන්ත ඔවුන් කිසිකෙනෙකුටවත් මුණගැසුනේ නැත. ඔවුන් පැමිණි බව කියන්න ලසන්ත පත්තර කන්තෝරුවේ සිටියේ නැත. සිනාමුසු මුහුණින් කර්තෘමණ්ඩලයේ ඔබ මොබ යන ලසන්න වෙනුවට ලීඩර් කර්තෘමණ්ලයට ඇතුළුවන දොරටුව අසල ලසත්තගේ විශාල පින්තූරයක් විය. සුපුරුදු සුන්දර සිනාවෙන් සිටින ලසන්තගේ පින්තූරය බොහෝ දෙනාගේ මතකය අදින් මීට වසරක පෙර දක්වා ගෙන ගියේය.
ලසන්තගේ විශාල ප‍්‍රමාණයේ කටවුට් එක අසල පහන් තබා තිබූ අතර ලීඩර් කර්තෘමාණ්ඩලකයින් විසින් ඒ අසලින් මල් තබමින් සිටියේය. ලීඩර් පුවත්පතේ සේවය කළ පුවත්පත හැරගොස් මෙදින නැවත කාර්යාලයට පැමිණ සිටි තවත් ය තැනින් තැනට වී ලසන්ත පිළිබදව වන මතකයන් අලූත් කරමින් සිටියේය.
‘‘ගිය අවුරුද්දේ මේ වෙනකොට සේරම වෙලා ඉවරයි.’’ උදෑසන එකොළහයි තිහ පමණ වන විට තමන්ගේ අත් ඔරලෝසුව දෙස බලමින් ලීඩර් පුවත්පතේ කර්තෘමාණ්ඩලිකයෙක් තවත් අයෙකුට පැවසුවේය.
2009 වසරේ ජනවාරි 8 වැනිදා ලසන්ත සුපුරුදු පරිදි තමන්ගේ නිවසේ සිට මොටර් රථයෙන් ලීඩර් පුවත්පත් කාර්යාලය වෙත පැමිණෙමින් සිටියේය. තමන් බලාපොරොත්තු වූ පරිදි කාර්යාලයට පැමිණීමට ලසන්තට වාසනාව ලැබුනේ නැත. ඒ දිනයෙන් පසු කවදාවත් ඔහු තමන් ආදරය කළ ලීඩර් පුවත්පත් කාර්යාලයට පැමිණියේ නැත. සිය කාර්යාලට කිලෝමීටර කීපයක් තිබියදී යතුරු පැදි දෙකක් පැමිණ ඔහුගේ මොටර් රථය නැවතුවේය. ලසන්ත සිටි රියදුරු අසුනේ වීදුරුව අසලට පැමිණි නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්වූ ලසන්ත කාර්යාලයට යනවා වෙනුවට ගියේ රෝහලටය. ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටි ලසන්ත සැත්කමකට භාජනය කිරීමෙන් පසුව නැවත මෙලොවට පැමිණියේ නැත.
මෙලොව හැරගිය ලසන්ත මියගොස් වසරයක් වන විට සියලූම දෙනා ලසන්ත සැමරීමට කාර්යාලට පැමිණ සිටියේය. ඔහු ආරම්භ කළ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයින් විසින් ලසන්තගේ ඡුායාරූපය අසල තිබූ පහන් දැල්වූයේ ඔහු සිහිපත් කිරීම සදහාය.
ලසන්තගේ විශාල ප‍්‍රමාණයේ පින්තූරය අසලට ක‍්‍රිස්තියානි ආගමික වතාවන් සිදුකෙරිණි. ඔවුන් විසින් ලසන්තගේ ජීවිතය වෙනුවෙන් යාඥා කළේය. මේ අවස්ථාව ලසන්ත පිළිබද ඔහුගේ සමකාලීනයින්ගේ මතකය අලූත් වූ අවස්ථාවක් විය. ඔහු පිළිබදව මතකය අලූත්වූ ලසන්තට ආදරය කළ සියල්ලන්ගේම නෙත් අග කදුළු බිදු රැදී තිබුනේය. සිය කතුවරයා ආයතන ප‍්‍රධානියා වෙනුවෙන් නෙත් අගට ආ කදුළු බිදු සැගවීමට කිසිවෙක් උත්සාහ කළේ නැත. ඒ කදුළුබිදු නිදහසේ ලසන්තගේ පා පතුල් ඇදී ගිය ලීඩර් කර්තෘ මණ්ඩලයේ බිමට නිදහසේ ඇදී වැටුනේය.
ලසන්ත වෙනුවෙන් කාර්යාලයේදී දේව මෙහෙයන් පවත්වමින් ඔහු සිහිපත් කරන අවස්ථාව වන විට ලසන්තගේ ජීවිතය බිළිගත් ස්ථානයේ සුපුරුදු පරිදි වාහන ගමන් කරමින් මිනිසුන් ඔබ මොබ යමින් තිබුනේය. ලීඩර් පුවත් පත් කාර්යාලයේ සිදුකළ දේව මෙහෙයෙන් පසුව ලසන්තගේ පවුලේ හිතවතුවන් ඔහුට වෙඩි තැබූ ස්ථානයට පැමිණියේය. සුන්දර සිනාවකින් යුත් ලසන්තගේ පින්තූරයක් ඒ අසල තැබූ හිතවත්තු එය අසල ඉටි පන්දම් දල්වමින් ලසන්ත සිහිපත් කළේය.
එක්වරම විශාල පිරිසක් පැමිණ ඉටිපන්දම් දල්වමින් සිදුකරන්නේ කුමක්දැයි යන්න පිළිබදව ඒ අවස්ථාවේදී එතැනින් ගමන් කරන බොහෝ දෙනාට දැනගැනීමට අවශ්‍යවී තිබුනේ නැතත් එක්අයෙක් දෙදෙනෙක් සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබදව අවධානය යොමුකළේය. වයස අවුරුදු හැටක පමණ අයෙක් පැමිණ එතැන සිටි අයෙකුගෙන් විමසුවේ පාර අසල එක්වරම සිදුවන්නේ කුමක්ද යන්නයි. ලසන්ත ඝාතනය කර වසරක් ගතවී ඇති බව එතැන සිටි අයෙක් ඔහුට පැවසුවේය.
‘‘මෙතැනදීනේ ඒ මහත්තයාට වෙඩි තිබ්බේ. වෙඩි තියලා අවුරුද්දක් වෙනවාද? ඒක හරියට අද ඊයේ වුන දෙයක් වගේනේ.’’ සාමාන්‍ය මිනිසුන්ට ලසන්ත තවමත් අමකත කර නැති බව පසක් කරමින් ඔහු පැවසුවේය.
By Sanjaya Nallaperuma




