නිදහසේ බලාපොරොත්තුව

February 5, 2010 by Editor  
Filed under Featured, Stories

සියවසකට ආසන්න කාලයක් හිරු නොබසින අධිරාජ්‍යයා විසින් ලංකාවට යටත් කරගැනීමෙන් පසුව නැවතත් ලංකාව නිදහස් ජාතියක් වශයෙන් නිදහස්වූ පෙබරවාරි හතරවැනිදා ලංකාව පුරාම ජාතික කොඩි එසවෙයි. කොළඹ ගොල් ෆේස් පිටිය අසල උත්සවාකාරයෙන් නිදහස් උත්සවය සැමරෙන්නේ රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙනි. එහෙත් මෙවර නිදහස් දිනය අන් දිනයන්ට වඩා වෙනස් ආකාරයෙන් සැමරුනේය. මෙවර නිදහස් උත්සවය සුපුරුදු පරිදි කොළඹ පැවැත්වුනේ නැත. රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙන් එහ පැවැත්වුනේ ලංකාව බි‍්‍රතාන්‍ය ජාතිකයින්ගේ යටත් විජිතයක් බවට පත්වීම සදහා වන ගිවිසුමට අත්සන් කළ උඩරට මගුල් මඩුව අසලදීය.

මෙවර නිදහස් උත්සවය පිළිබදව ජනතාවගේ සිත් තුළ පැවතියේ වෙනදාටත් වඩා නිදහස් හැගීමකි. කොයි මොහොතේ කොතැනක බෝම්බයක් පිපිරෙයිදැයි යන සැකය ඇතිව නිදහස් උත්වය සැමරූ ජනතාව හැට දෙවැනි නිදහස සැමරුවේ හිත්වල කිසිදු බයකින් තොරවය. ජාතික ධජයන් ලංකාව පුරාම එසවී තිබුනේය. පාරේ ගමන්කළ සෑම වාහනයකම පාහේ ජාතික කොඩියක් සවිකර තිබුණි. වෙනදා සිංහ කොඩියේ සිටින සිංහයාට වඩා වැඩි අභිමානයකින් මෙවර ජාතික කොඩියේ සිටි සිංහයා තේජාන්විතව සිටියේය. වෙනදා නිදහස් දිනය පිළිබදව එතරම් විශාල තැකීමක් නොකළ අය මෙවර නිදහස් උත්සවයට කල් තබා සූදානම් වන ආකාරයක් දකින්න ලැබුනේය.

වෙනත් වසරවල නිදහස් දිනයේදී නිදහස පිළිබදව කිසිදු හැගීමකින් තොරව එම දිනය ගත කළ වත්තල පදිංචි රංජන් කපිල මෙවර නිදහස් දිනයේදී වේලාසනින් නැගිට්ටේය. තමන්ගේ රාජකාරි කටයුතු සදහා ඔහු පිටත්ව ගියේ රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් තිබූ ජාතික නිදහස් උත්සවය නැරඹීමෙන් පසුවය.

‘‘වෙනදා නිදහස් උත්සවය සමරනවාට වඩා වැඩි නිදහසකින් අද අපි නිදහස සමරනවා. ඒ වගේම වෙනදා නිදහස් දිනයේදී සිතට නොදැනෙන සතුටක් දැනෙනවා.’’ වත්තල පදිංචි රංජන් කපිල කීවේය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවට බියට පත්කළ කුරිරු යුද්ධය අවසන්වීම නිසා තමන් නිදහසේ නිදහස සමරන බව හෙතෙම සදහන් කළේය.

‘‘අද හොද දවසක්. යුද්ධය ඉවර වෙලා සමරන පළවෙනි නිදහසනේ මේක.’’ නිදහස් දිනයේදී තමන්ගේ ත‍්‍රීරෝද රථයේ ජාතික කොඩියක් ගැටගසමින් සිටි මොහොමඩ් අනාස් කීවේය.

වෙනදා තමන් පමණක් නොව දූ දරුවන් පවා නිවසින් පිටතට ගොස් නැවන නිවසට එන තුරු බියෙන් සිටියත් මේ වන විට බියවීමට කිසිදු හේතුවක් නැතැයි කපිල සදහන් කළේය. මේ වන විට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඕනෑම අයෙක් බිය නැතිව පාරේ ගමන්කරන්නේයැයි ඔහු සදහන් කළේය.

‘‘යුද්ධය අවසන්වීමත් එක්ක පාතාලය අවසන්වීම නිසා අපිට කිසිම කරදරයක් නැතිව නිදහස සමරන්න පුළුවන් වෙලා තියෙනවා.’’ අනාස් සදහන් කළේය.

මෙවර නිදහස් දිනයේදී ලංකාවම ජාතික කොඩිවලින් බැබැලූනේය. අන් දිනවලදී නිදහස් උත්සවයේදී ඔසවන ජාතික කොඩි වලට වඩා වැඩි ජාතික කොඩි සංඛ්‍යාවක් මෙවර නිදහස් උත්සවයේදී සෑම තැනම ප‍්‍රදර්ශණය කර තිබුනේය. ජාතික කොඩි අළෙවි කරන්නෝ බොහෝ තැන්වල විය.

‘‘මේ අවුරුද්දේ මිනිස්සු නිදහසේ නිදහස සමරනවා. මිනිස්සු ගොඩක් සතුටින් උනන්දුවකින් යුතුව මේ පාර මිනිස්සු කොඩි අරගෙන ගියා.’’ බොරැුල්ල දීපදුත්තරා කොඩි වෙළදසැලේ දීපිකා හේමමාලි කීවාය.

නිදහස් උත්සවයේදී ජාතික කොඩි මිලට ගත්තේ කිසිදු ජාතිභේධයකින් තොරවය. සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයින් පමණක් නොව විදේශිකයින්ද තමන්ගේ වෙළදසැලට පැමිණ ජාතික කොඩි මිලට ගත්තේයැයි ඇය කීවාය.
නිදහස් දිනයට මාස ගණනාවකට පෙර සිටම ජාතික කොඩි අළෙවිය වැඩිවුනේයැයි හේමමාලි කීවාය. යුද ගැටුම් අවසන්වීමත් සමග ජාතික කොඩි අළෙවිය වැඩිවී තිබන අතර එම අළෙවිය එක දිගට තිබුනේයැයි ඇය කීවාය.

‘‘යුද්ධය දිනීමත් එක්ක මිනිස්සු ජාතික කොඩිය තමන්ගේ කරගත්තා. හැම තැනම ජාතික කොඩි ප‍්‍රදර්ශණය කළා. මේ නිසා තමයි ජාතික කොඩි අළෙවිය වැඩිවුනේ.’’ ඇය සදහස් කළාය.

නිදහසේ නිදහස් උත්සවය සමරන ජනතාවගේ බලාපොරොත්තුව වන්නේ යළි කිසි දිනෙක ලංකාවේ සාමය බිද නොවැටේවා යන්නයි. ‘‘ඉදිරියේදීත් මේ ආකාරයටම සාමය තිබේවා යන්න තමයි අපේ ප‍්‍රාර්ථනය වන්නේ. කිසිම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුවෙන්න එපා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා.’’ කපිල කීය.

‘‘සාමකාමී ලංකාවක් තමයි අපේ අනාගත බලාපොරොත්තුව වන්නේ.’’ පොලිස් නිලධාරියෙක් වන කේ.ඒ. චන්ද්‍රදාස කීවේය.

නොයෙක් බලවේග විසින් ලංකාව අස්ථාවර රටක් බවට පත්කර ලංකාවේ තිබෙන සම්පත් සූරාගත් නමුත මේ වන විට ඒ තත්වය වෙනස්ව ඇතැයි කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙක් වන උයද කුමාර කීවේය. ලංකාවේ තිබෙන සම්පත් කොල්ලකෑමට යුදමය අර්බුද හා දේශපාලන වශයෙන් ලංකාව අස්ථාවර කළ බවද මේ වන විට එම තත්වයන් සියල්ලම වෙනස්වී ඇතැයිද ඔහු කීය. මේ වන විට එම අර්බුද සියල්ලම සමතයකට පත්වී ලංකාව ස්ථාවර රටක් බවට පත්වෙමින් සිටින්නේ යැයි කුමාර පැවසීය.

රටක් ලෙස නිදහස්වී ඇති නමුත් ආර්ථික වශයෙන්ද නිදහස්වීමේ කාලය උදාවී ඇතැයි ඔහු පැවසුවේය. ‘‘දැන් තමයි අපි ආර්ථික වශයෙන් නිදහස් වීම ආරම්භ කර තිබෙන්නේ. ආර්ථික වශයෙන්ද නිදහස් වීමට අපි කටයුතු කළ යුතුයි.’’ කුමාර පැවසීය.

ඇමරිකාව බි‍්‍රතාන්‍ය වැනි රටවල ජීවත්වන ජනතාව අභිමානයෙන් යුතුව තමන් ඇමරිකානු ජාතිකයෙක් හෝ බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් බව ප‍්‍රකාශ කරන ආකාරටය ලංකාවේ ජනතාවට අභිමානයෙන් යුතුව තමන් ලාංකිකයෙක් බව ප‍්‍රකාශ කළ හැකි තත්වයක් ඇති කරගත යුතුව ඇතැයි කුමාර කියයි.

‘‘නොයෙක් කුමන්ත‍්‍රණවලට හසුනොවී ජාතියක් ලෙස දියුණු විය යුතුයි. නොයෙක් දේශපාලන ආගමික හා ජාතිවාදී කදවුරුවලට ගැතිව සිටි පරගැති ච්න්තනයෙන් අපි නිදහස් විය යුතුයි’’ ඔහු පැවසුවේය.

හැට දෙවැනි නිදහස් දිනය සමරන අවස්ථාව වන විට තමන් බලාපොරොත්තු වන්නේ ලංකාවේ සංවර්ධනය වනු දැකීම බව අනාස් කීවේය. මේ වන විට යුද්ධය අවසන්ව තිබෙන නිසා යුද්ධයට වැයවූ මුදල් සංවර්ධනය සදහා යෙදවිය හැකියැයි ඔහු පැවසුවේය.

අනාගත පරපුරට අභිමානයෙන් යුතුව තමන් ශ‍්‍රී ලාංකිකයෙක් බව ප‍්‍රකාශ කළ හැකි ආකාරයට රට ශක්තිමත් ස්ථානයකට ගෙනයැමට සියලූදෙනාම එක්ව කටයුතු කළ යුතුයැයි කුමාර කීවේය. නැතිනම් දරු පරපුර අනාගතයේදී වත්මන් වැඩිහිටි පරපුරට ශාප කරනු ඇතැයි ඔහු බිය පළකළේය.

‘‘ජාතික අභිමානය ඇතිව අපි සියලූදෙනාම එකට ඉදිරියට යා යුතුයි. ඒ සදහා මෙතෙක් පැවති සියලූම බාධාවන් මේ වන විට අවසන්ව තිබෙනවා. ජාතික අභිමානයකින් යුතුව අපි ඉදිරියට ගියේ නැතිනම් තවත් අවුරුදු හැට දෙකක් ගියත් අපි එකම තැන සිටීවි.’’ කුමාර කීවේය.

The country’s 62nd Independence Day was celebrated differently this year. The celebrations this time around were shifted to Kandy from the traditional location at Galle Face, Colombo. Most people expressing their sentiments about Independence Day this year said the country after several decades enjoyed true independence following the end of the war. They said it was now time to gain economic independence as well.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark
Creative Commons