මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යවේදියෝ පාරට බසිති

February 8, 2010 by Editor  
Filed under Featured, Stories

ජනමාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන හිරිහැරනවතන ලෙස හිරිහැරවලට විරෝධය දක්වමින් තවත් විරෝධතා ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පෙබරවාරි 8 වැනිදාත් පැවැත්වුනේය.

දින දහයක් තිස්සේ අත්අඩංගුවේ තබාගෙන සිටින ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත නිදහස් කරන ලෙස හා දින පහළොවක් තිස්සේ අතුරුදහන් කර සිටින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ දේශපාලන තීරු ලිපි රචක ප‍්‍රදීප් එක්නැලිගොඩ නිදහස් කරන ලෙස බලකරමින් මාධ්‍යවේදීන් මෙහිදී උද්ඝෝෂනයේ නිරත විය.

‘‘ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත නිදහස් කරනු…… අපේ ප‍්‍රගීත් අපට දෙන්න….. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන්න……රාජ්‍ය මාධ්‍ය තුළ මාධ්‍යවේදීන් දඩයම හෙලා දකිනු’’ යනාදී වශයෙන් වන සටන් පාඨ ඇතුළත් පුවරු ප‍්‍රදර්ශණය කරමින් මොවුන් විරෝධතාවයේ නිරත විය.

මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට ලංකා පුවත්පතේ කර්තෘවරයාගේ බිරිද හා දියණියද එක්නැලිගොඩගේ බිරිද සහභාගී වී සිටියේය. මොවුන් තමන්ගේ සැමියන් නිදහස් කරන ලෙස හා සොයාදෙන්නැයි සදහන් පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධතාවයට සහභාගී වී සිටියේය.

‘‘මගේ මහත්තයා දූෂණ වංචා හෙළිකිරීමේ ස්ථාවරයක සිටියා. එයා සිටි ස්ථාවරය ආණ්ඩුවට ලොකු බාධාවක් වුනා.’’ මේ නිසා තමාගේ සැමියා රහස් පොලීසිය විසින් රදවාගෙන සිටින්නේයැයි සිරිමල්වත්තගේ බිරිද වන හේමමාලි අබේරත්න පැවසුවාය.

රදවාගැනීමේ නියෝග මත රදවාගෙන සිටින සිරිමල්වත්ත මේ වන විට ඉතා දුක්බර ජීවිතයක් ගතකරන බව තමන් දන්නා බවද ඇය කීවාය.

‘‘මේ වන විට හතරවැනි තට්ටුවේ මගේ මහත්තයා ගතකරන ජීවිතය ඉතා දුක්බර බව මම දන්නවා. මට දැනෙන ඒ වේදනාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ මගේ මහත්තයා වැරදි දෙයක් කර නැති බවට වන හැගීම නිසයි.’’ අබේරත්න පැවසුවාය.

තමාගේ දරුවාට හැකි සෑම අවස්ථාවකදීම ඇගේ පියා හිරේ ගියේ වැරදි වැඩක් නොකළ නිසා බව අගවන බවද ඇය කීවාය. ‘‘මගේ මහත්තයාගේ හැකියාව ශක්තිය මට ලොකු ධෛර්යයක්.’’

නොයෙක් බාධාවන් මැද සිටින සිරිමල්වත්ත නිදහස්ව එළියට පැමිණෙනු ඇතැයි අබේරත්න විශ්වාස කරන්නීය. ‘‘මේ සේරම බාධක මැද මහත්තයාට අයිමත් එළියට ඇවිත් ඔහුගේ සුපුරුදු වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබේවි.’’ ඇය කීවාය.

දින පහළොවක් තිස්සේ අතුරුදහන් කර සිටින එක්නැලිගොඩ පිළිබදව තොරතුරු පොලීසියෙන් විමසුවත් ඔවුන් පවසන්නේ තවමත් පරීක්ෂණ අවසන් කර නොමැති බව ඔහුගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ සදහන් කළාය. මානව හිමිකම් කොමිසමේ මේ පිළිබදව වන පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බවද ඇය පැවසුවාය.

‘‘ඒත් මේවන තුරු මගේ මහත්තයා ඉන්නවාද කොහේද ඉන්නේ කියලා කිසිම කෙනෙක් කියලා නැහැ.’’ ඇය පැවසුවාය.

එක්නැලිගොඩ පැහැරගන්නට ඇත්තේ ඔහු ලියූ දේශපාලන විචාර නිසාවෙන් විය හැකියැයි ඔහු සේවය කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සදරුවන් සේනාධීර කීවේය. ඔහු ලියූ මතවාද උසුලාගත නොහැකි බලවත් අය විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇතැයි ඔහු සැක පහළ කළේය.

‘‘ඔහු ඉන්නවානම් නිදහස් කරන්න කියලා තමයි ඉල්ලන්නේ.’’ සේනාධීර කීවේය.

පොලීසිය විසින් මේ දක්වා දක්වන නිහඩතාවය බිද පිළිතුරක් ලබාදෙන්නැයි එක්නැලිගොඩගේ බිරිද ඉල්ලා සිටී. ‘‘මට මේ මනුස්සයා ඉන්නවාද කියලා කියන්න. එයා ඉන්නේ කොහේද කියලා කියන්න.’’ ඇය ඉල්ලා සිටියාය.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark
Creative Commons

Comments are closed.