ෆොන්සේකා නිදහස්කරන්නැයි ඉල්ලා සත්‍යග‍්‍රහයක් හෙට

February 9, 2010 by Editor  
Filed under Featured, Stories

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු පැහැරගෙන ඇති බවත් ප‍්‍රකාශ කරන පොදු විපක්ෂය ඔහු නිදහස් කරන ලෙස හා ඔහු සිටින ස්ථානය පිළිබද අනාවරණය කරන ලෙස කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී සත්‍යග‍්‍රහයක් පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කොළඹ නගරයේ පැවැත්වෙන ප‍්‍රධාන සත්‍යග‍්‍රහයට සමගාමීව දීප ව්‍යාප්තව සත්‍යග‍්‍රහ මාලාවක් සංවිධානය කර තිබෙන බවද මීට අමතරව ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ආගමික වතාවන් පැවැත්වීමට කටයුතු කරන බවද පෙබරවාරි 9 වැනිදා විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පොදු විපක්ෂය කියා සිටියේය.

‘‘හෙට (පෙබරවාරි 10) ලංකාව පුරා පන්සල් පල්ලි කොවිල් ගානේ තම තමන්ගේ ආගමික ඇදහිලි අනුව ආගමික වතාවත් පවත්වා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්නැයි ඉල්ලා සිටිනවා.’’ ෆොන්සේකාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර පැවසුවේය.

යුද හමුදා පොලීසියේ නිලධාරීන් පැමිණ ෆොන්සේකා අත්අඩංගුවට නොගත් බවත් ඔහු පැහැරගෙන ගිය බවත් එම පැහැරගැනීම සිදුකළ අවස්ථාවේ තමන් ඇසින් දුටු සාක්ෂි කරුවෙක් වන බවද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ කීවේය.

‘‘මේක අත්අඩංගුවට ගැනීමක් නොවෙයි. පැහැර ගැනීමක්. බලහත්කාරයෙන් පැහැරගැනීමක්.’’ අමරසිංහ කීවේය.

ෆොන්සේකා පැහැරගැනීමට ලක්වන අවස්ථාව වන විට තමා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සාකච්ඡා කරමින් සිටියේයැයි හෙතෙම පැවසුවේය. එවන් ස්ථානයකට යුද හමුදා පොලීසියේ නිලධාරීන් බලහත්කාරයෙන් පැමිණි බවද ඔහු කීවේය. ‘‘මම මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙක්. මා සමග සිටි අනික් තිදෙනාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්. අපිට  ඕනෑම තැනක සිට සාකච්ඡා පැවැත්විය හැකියි.’’ ඔහු කීවේය.

ඉදිරි මහ මැතිවරණයේදී ජෙනරාල්වරයා දැවැන්ත භූමිකාවක් ඉටුකිරීමට නියමිතව සිටි බවත් මෙය කඩාකප්පල් කිරීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි අමරසිංහ සදහන් කළේය.

‘‘මෙම පැහැරගැනීම හරහා රජය දැවැන්ත ෆැසිස්ට් වාදයකට ප‍්‍රවිශ්ඨ වෙනවා.’’  ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාවුෆ් හකීම් කීවේය.

‘‘මෙම කි‍්‍රියාව ඉතාමත් සාහසිකයි. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් තාක් දුරකට ඉතිරිව තිබෙනවානම් මේ සිදුවීමත් සමගින් එයට ඉතාම නිර්ලජ්ජිත ආකාරයෙන් පහර දී තිබෙනවා.’’ අමරසිංහ කීවේය.

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රාත‍්‍රී දොළහට පමණ කිසිදු වරෙන්තුවක් නොමැතිව ඔහුගේ නිවස ඔහුගේ බිරිද පමණක් සිටි අවස්ථාවේදී සෝදිසි කර තිබෙන බවද රහස් පොලීසිය විසින් ප‍්‍රකාශයක් ලබාගැනීමට බව පසමින් ඇය පැය දෙකකට ආසන්න වේලාවක් රදවාගෙන තිබෙන බවද සමරවීර මන්ත‍්‍රීවරයා කීවේය.

අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදාපතිවරයා සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින නිසා හමුදා නීතිය අනුව කටයුතු කළ නොහැකියැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කරයි. එහෙත් හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන මාස හයක් යන තෙක් හමුදා නීතිය අනුව කටයුතු කළ හැකියැයි හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ කීවේය.

මේ වන තෙක් ෆොන්සේකා සිටින ස්ථානය පිළිබදව කිසිදු තොරතුරක් ලැබී නැතැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා ඔහුගේ බිරිද කියා සිටී. ඔහු ඉලක්ක කරගෙන එල්ලවූ ප‍්‍රහාරයෙන් පසුව දිනපතාම බෙහෙත් ලබාදිය යුතුයැයි ඔහුගේ බිරිද කියා සිටී. මෙතෙක් මෙම බෙහෙත් ලබාදිය නොහැකිවූ නිසා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හරහා ෆොන්සේකාට එම බෙහෙත් යැවීමට ඉල්ලීමක් කර ඇතැයි සමරවීර මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘ජනරාල්වරයාගේ බිරිද දන්නා ඊයේ රාත‍්‍රී සිට සෑම තැනකටම කතාකර මෙම බෙහෙත් යැවීමට උත්සාහ ගත්තා. ඒත් ඒ උත්සාහය අසාර්ථක වූ තැන ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හරහා ජනරාල්වරයාට බෙහෙත් යැවීමට උත්සාහ ගන්නවා.’’ සමරවීර කීවේය.

ෆොන්සේකා අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුයැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටී. මේ සදහා වන නීතිමය ක‍්‍රියාමර්ග ගැනීම සදහා නීතිඥයින් කටයුතු කරමින් සිටින්නේයැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේනතුමන්ත‍්‍රී කරු ජයසූරිය කීවේය.

‘‘අපි හෙට(පෙබරවාරි 10) අධිකරණය හමුවට යනවා. මානව අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට අපි කටයුතු කරනවා.’’ ජයසූරිය කීවේය.

  • Share/Bookmark
Creative Commons