ෆොන්සේකාගේ අන්තර්ජාල පෙත්සම ගැන නොයෙක් කතා
මාසයකට ආසන්න කාලයක් තිස්සේ යුද හමුදා පොලීසියේ අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබාගැනීම ආරම්භ කළ අන්තර්ජාල පෙත්සම මේ වන විට අතරමග ඇණ හිට තිබේ. එම පෙත්සමට අත්සන් ලබාගැනීම සදහා ආරම්භ කළ අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව රජය විසින් වලකා ඇතැයි ෆොන්සේකාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ප‍්‍රකාශ කරයි.
‘‘මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් ලබාගැනීම සදහා ආරම්භ කළ වෙබ් අඩවියට පිවිසීම රජය විසන් බාධා කර තිබෙනවා.’’ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට එක්ව සිටින ප‍්‍රධානතම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පැවසුවේය.
ජනාධිපතිවරණය අවස්ථාවේ සිටම ආණ්ඩුවට සරත් ෆොන්සේකා භීතිකාවක් වැදලී තිබූ බවද ඔහු සිරගත කළේ මේ භීතිතාව නිසාවෙන් වන බවද හදුන්නෙත්ති කීවේය. මෙම වෙබ් අඩවියට පිවිසීම බාධා කිරීම එහි තවත් එක් අවස්ථාවක් වන බවද හෙතෙම පැවසුවේය.
මෙම වෙබ් අඩවිය තහනම් කිරීමට රජය සම්බන්ධවී ඇති බවට ඔවුන් චෝදනා කළත් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ‘‘මේ වෙබ් අඩවිය තහනම් කිරීමට අපි කිසිදු නියෝගයක් ලබාදී නැහැ. මෙම වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් රජයේ හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කිසිදු සම්බන්ධයක් නැහැ. රජය විසින් මෙම වෙබ් අඩවියට පිවිසීම බාධා කර බවට එල්ල කරන චෝදනා අමූලික බොරුවක්.’’ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාජල් අනූෂ පැල්පිට සදහන් කරයි.
වෙබ් අඩවියකට පිවිසීම බාධා කිරීම මගින් ෆොන්සේකාගේ ඉදිරි ගමන වැලැක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කීය. වසර තිහක් තිස්සේ ලංකාවේ පැවති යුද්ධය අවසන් කළ පුද්ගලයා මේ අකාරයේ සුළු බාධාකිරීම්වලින් නොනවතින්නේයැයි ඔහු කීවේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලංකාවේ වෙබ් අඩවි තහනම් කීරීමේ හැකියාවක් නැතැයිද ඒ සදහා නියෝග ලබාදීමෙන් පසුව වෙබ් අඩවි තහනම් කළ යුත්තේ අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් වන බවද එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කිසියම් වෙබ් අඩවියක් තහනම් කිරීමට නියෝගයක් ලබාදුන්නේනම් එම වෙබ් අඩවිය නැරඹීමට නොහැකි වන්නේ ලංකාවේ සිටින පුද්ගලයින්ට පමණක් වන බවද ඔහු කීය.
‘‘වෙනත් රටවල සිටින පුද්ගලයින්ටත් මේ වෙබ් අඩවියටය පිවිසෙන්න බැහැ. ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ ඇමරිකාවේ තිබෙන ඔවුන්ගේ සර්වරයේ තිබෙන ගැටලූවක් නිසා.’’ පැල්පිට කීවේය.
වෙබ් අඩවියක් තහනම් කිරීම මගින් අනවශ්‍ය ප‍්‍රචාරයක් ලැබෙන බවද ෆොන්සේකාගේ වෙබ් අඩවියට අනවශ්‍ය ප‍්‍රචාරයක් ලබාදිය යුතු නැති නිසා එම වෙබ් අඩවිය තහනම් කිරීම ගැන කිසිදු කතා බහක් පවා ඇති නොවූයේයැයි පැල්පිට පැවසුවේය.
වෙබ් අඩවි තහනම් කරමින් කුමන ආකාරයේ බාධක එල්ල කරත් තමන් යන ගමන ඉදිරියටම යන බව හදුන්නෙත්ති කීවේය. මේ සදහා ලෝකයේ සියලූම් රටවල සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට ආරාධනා කරන්නේයැයි ඔහු සදහන් කළේය. ‘‘ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා සිටින වෙබ් අඩවියට පිවිසීම බාධා කිරීමට විරෝධය දක්වන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන ලෝකයේ සිටින සියලූදෙනාටම ආරාධනා කරනවා. විදේශ රටක ඉදලා හරි මෙයට විරෝධය දක්වන්න එක් වන්න.’’ හදුන්නෙත්ති ඉල්ලා සිටියේය.



