සාගර පත්ලේ රන් සෙව්වෝ
රන් සොයා මුහුදු පත්ලේ කිමිදුණද ඔවුන්ගේ මුහුණු වල ඇත්තේ බලාපොරොත්තු කඩ වූ පෙනුමකි. හිරුගේ රශ්මිය දැඩි වන මොහොතේ ඔවුහු සිය කාර්ය නිම කොට සාගර දියෙන් ගොඩට ඇදෙති. එහෙත් ඉද හිටක මිස රන් වාසියක් ලැබෙන්නේ නැත. ඉන් අධෛර්යමත් වන්නේ ඔවුන් නොවේ. ඊලග රන් සොයා යන දිනයේදී ඔවුහු නැවතත් අපේක්ෂා සහගතව මුහුදට බසිති.
සැබැවින්ම මෙය මුහුදු පත්ලේ මුතු සොයා කිමිද යන ගමනක් සේ නොවේ. එනම් ඔවුන් ස්භාවික රන් ඉල්ලම් සොයා යන්නෝද නොවේ. ඔවුන්ගේ රන් සොයා යන දිනය වන්නේ සෑම සතියකම සදුදා දිනයේදීය. එදිනට රන් සොයන්නෝ පිටින් මුහුදට බසින්නේ රන් වාසිය තමන්ට හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
‘‘ඇත්තටම වෙන්නේ සති අන්තයේ මේ ප‍්‍රදේශවලට පැමිණෙන සංචාරකයෝ නාන තොටුපලවලට බැස්සට පස්සේ සමහර වෙලාවට ඔවුන්ගේ රන් භාණ්ඩ නැති වෙනවා. නානකොට මේ රන් භාණ්ඩ මුහුදට වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් සංචාරකයෝ ආපසු ගියාට පස්සේ මේ ප‍්‍රදේශවල ඉන්න මිනිස්සු මේ වැටුණු රන් භාණ්ඩ සොයා යනවා.’’ මාතර පොල්හේනේ පදිංචි සී.එම් රත්නායක පැවසුවේය. සුන්දර පොල්හේන මුහුදු වෙරළේ සදුදා දිනයේදී රන් සොයා යන්නන් ගැවසීම සාමාන්‍ය දසුනක් වී ඇති බවද රත්නායක පැවසුවේය. දක්ෂිණ ශී‍්‍ර ලංකාවේ ජනප‍්‍රිය වෙරළ තීරයන්හී මේ අකාරයෙන් රන් සොයා යන්නන් දැන් දැන් සුලභ වෙමින් පවතී.
සති අන්තය ගෙවී ගොස් අවසන් වූ වහාම මේ ප‍්‍රදේශයේ තරුණ පිරිස් මේ අකාරයෙන් මුහුදට බැස පෙරදා පැමිණි සංචාරකයන්ගේ රන්භාණ්ඩයක් වැටී ඇත්දැයි යොයති. ඔවුන් කිමිදුම්කරුවන් සේ හැද පැළද ආරක්ෂිතව මුහුදට බසිති.
මාතර පොල්හේනේ පදිංචි වඩු කාර්මිකයෙකු වූ සුසන්ත ගමගේ පවසන ආකාරයට සෑම දිනකම මුහුදු වෙරළට ඒම ඔහුගේ සිරිතක් ඇත.
‘‘ගොඩාක් අය පොල් හේනට එන්නේ නාලා විනෝදවෙලා යන්න ඒ ඇව්ත් සෙල්ලම් කරනවා දුවනවා මේවගේ වෙලාවට මේ උදවිය දන්නේ නෑ තමන් පැළඳ ඉන්න අභරණ ගලවන්න ඕන කියලා ඉතිං මේවා හැලෙනවා නැතිවෙනවා” ගමගේ පවසයි.
සදුදා දිනයේ උදැසන පොල් හේන මුහුදු තීරයට ගිය අපට දැක ගත හැකිවුයේ දහදෙනෙකු පමණ මුහුදු තීරයේ බිම ඉතාම විපරමින් යමක් සොයන ආකාරයකි. මේ පිරිස අතරින් වයස අවුරුදු හතළිහක් පමණ වන ජයසේකර විතානගේ පවසන්නේ සංචාරකයින්ගෙන් වැටෙන මෙම ආභරණ ඇහිළිමට පැමැණිම දැන් තමන්ට පුරුද්දක් වී ඇති බවයි.
‘‘අපි මෙතනට උදේ පන්දරින්ම එනවා ගෙදරින් මම අද ආවේ උදේ පහට විතර මෙතනට උදේට එන ගමේ අය කව්රුත් බලන්නේ උදෙන්ම ඇවිත් වෙරළේ ඇවිදින්න දැන් මෙතන දහයක් විතර ඉන්නවා මම පාන්දර එනකොටත් දෙන්නේක් ඇවිත් හිටියේ” විතානගේ පවසයි.
‘‘මම ගිය සුමානේ පවුම් භාගයක විතර රත්තරන් මාලයක් ඇහුලූවා ඒක රුපියල් දහදාහක් විතර වෙනවා,ගොඩක්ම (චේන්,මාල තමයි අහුලන්නේ තව මුදු, (බේස්ලට්,අත් පළදනා, මුදු, කාරාබු අහුලනවා. මේ ලඟදී මෙතන එකකෙනෙකුට රුපියල් පනස් දාහක් ව්තර වටිනා මාලයක් අහුලන්න ලැබුනා.” විතානගේ වැඩි දුරටත් පැවසීය.
‘‘මේ වැඬේ ඒ තරම් හොද වැඩක් නෙමෙයි කියලා අපි පිළිගන්නවා. ඒත් මේක කරනවා. සමහර වෙලාවට සංචාරකයො කියනවා නාන කොට රත්තරන් මාලේ වැටුණා, මුද්ද වැටුණා කියළා. අපි ඒ වෙලාවට ගිහින් ටිකක් බලලා දෙනවා. පස්සේ ඒ අය ගියාම අපි කොහොම හරී ඒක හොයා ගන්න උත්සහා කරනවා.ඉදලා හිටලා හරි එකක් හමුවුණොත් මාසෙටම ඇති’’ පොල්හේන මුහුදු වෙරළේ නම හෙළි නොකළ රන් සොයන්නෙකු පැවසීය.
‘‘පහුගිය කාලේ සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වුණා. සංචාරක කර්මාන්තය ජීවනෝපාය කරගත් මේ ප‍්‍රදේශවල බොහොමයක් තරුණයන්ට රැුකියා අවස්ථා අහිමි වී ගියා. කරගන්නම දෙයක් නැතිවෙන කොට මිනිස්සු මේ වගේ දෙවල් කරන්නත් පුරුදු වුණා.’’ සී.එම් රත්නායක පැවසුවේය. මේ රන් සොයා යාම එක් අතෙකින්ක මුහුදු ඛාදනය ඉහළ නංවන්නක් වී තිබේ. විශේෂයෙන් මුහුදු පත්ල පීරා රන් භාණ්ඩ සොයා යාම දක්ෂිණ මුහුදේ කොරළ් කැඞී යාම කෙරෙහි බලපාන්නක්ද වී තිබේ.
‘‘මේ අකාරයෙන් රත්තරං බඩු සොයා යාම හොද දෙයක් නෙමෙයි. තාමත් මේ තත්ත්වය වළක්වන්න පියවරක් අරන් නැහැ. මෙය දැනට කරදරයක් නොවුණට ඉදිරියට විශාල කරදරයක් බවට පත් වේවි.’’ මේ සදහා වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව ඇතැයි රත්නායක පෙන්වා දෙයි.
සති අන්තයේ දිය නෑම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මෙය යහපත් තත්ත්වයක් නොවනු ඇත. විශේෂයෙන්ම මේ තත්ත්වය මත ඉදිරියේදී අකටයුතුකම් සිදුවීමේ හැකියාව ඉහළ ටම්මක පවතී. සංචාරකයන් වෙසෙසින් අගයන නිදහස අහිමි වීම හා හොරමැරකම් සිදු වීමේ ප‍්‍රවණතාව මේ මගින් ඉහළ යා හැකි බව පොල්හේන ප‍්‍රදේශවාසීන්ද පෙන්වා දෙති. එය දේශීය සංචාරක ව්‍යාපාරයට අසුබ ලකුණක් වනු නොඅනුමානය.




