ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා
දෙපා සරසන්නට මිරිවැඩි සගලක් හෝ නොමැතිව කීලත්සා තක්සලාවට ඇවිද එන්නේ ශිල්ප ඉගෙන දක්වන්නට ඇති උන්දුව නිසාය. අප්පා අමාරුවෙන් ගැට ගහගන්නා ජීවිතයට සවියක් වන්නට ඇගේ පුංචි සිතට ඕනෑ වී තිබේ. එබැවින් ශිල්පය මැනවින් හදාරන්නට කීලත්සාට ඇති උන්දුව අති මහත්ය.
‘‘ මම කවදා හරි වෛද්‍යවරියක් වෙන්න ආසයි’’ ඇය බලාපොරොත්තු පිරුණු හඩින් සේ පැවසුවාය. නව හැවිරිදි කීලත්සා ජෙගනාදන් පෙරිය පිල්ලූමලෙයි රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන්නීය. උපන්දා සිටම සැප සම්පතින් පිරුණු ලොවක් ඇයට හිමි වූයේ නැත. ඇය මෙලොව එළිය දුටුවේද ශාපලත් යුද්ධයක් පවතින නිමේෂයකය. සමගි සම්පන්න සාමකාමී වටපිටාවක් වෙනුවට ඇය අත්වින්දේ බෝම්බ වෙඩි හඩින් එකිනෙකා විනාශ කරගන්න වටපිටාවකි. එහෙත් දැන් ඒ දුෂ්කර අවදිය නිමා වී තිබේ.
‘‘ මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අප්පා කැලේට ගිහින් දර කපලා තමයි සල්ලි හොයා ගන්නෙ.’’ අප්පාගේ ඉපැයීම් ජීවත් වන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කීලත්සා වටහා ගෙන සිටින්නීය.
කීලත්සාට පමණක් නොව පිල්ලූමලෙයි රෝමානු කතෝලික ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන බොහෝ සිසුන්ගේ ජීවිතය එතරම් සැපවත් එකක් නොවේ. මඩකලපුවේ මාධ්‍ය සංචාරයක නිරත වූ අපි මේ පාසලට ගොඩවැදුණේ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
‘‘මේ දරුවන්ගේ දෙමව්පියො ගොඩක් දුප්පත්. ඒ නිසා දරුවන්ව පාසල් එවන්න ලොකු උවමනාවක් නැහැ.’’ විදුහලේ ගුරුවරියක වූ තිස්පස් හැවිරිදි ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවාය. සිසුන් 45 දෙනෙකුගෙන් යුත් මේ ප‍්‍රාථමික විදුහලට එදින පැමිණ සිටියේ සිසුන් විස්සකටත් අවම සංඛ්‍යාවකි. සිසුන් පාසල් නොඑන දිනවලට සිය දෙමාපියන් සමග කැලේ ගොස් දර කැපීම, හේන්වල වැඩ කිරීම ආදිය සිදු කරන බව ඉන්දුමතී පැවසුවාය.
මඩකලපුව, පිල්ලූමලෙයි ග‍්‍රාම නිලධාරී වසමට අයත් මෙම ප‍්‍රාථමික පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය සේවය ලබා දෙයි. විදුහලේ කොටසක් මේ වන විටත් වල් අලි ප‍්‍රහාරයකින් හානියට පත්ව තිබේ. එහෙත් පුංචි මල් කැකුථ වන් මේ සිසුන් ඇල්මෙන් අකුරු උගනින්නට එන්නේ මේ පාසලටය.
‘‘මට කවදා හරි ගුරුවරියක් වෙන්න ආසයි’’ එක වසරේ ඉගෙනුම ලබන ජෙගනාදන් සමීරා පවසන්නීය. පවුලේ එකම දරුවා වූ ඇය පාසල් එන්නට මහත් උනන්දුවක් දක්වන්නීය. අම්මාත් අප්පාත් ගොවිතැන් කොට ජීවත් වන බව ඇය පැවසුවාය.
‘‘මගේ යාථවත් ගුරිවරියක් වෙන්න ආසයිලූ.’’ සමීරා සිය මිතුරිය වූ ප‍්‍රසානිගේ අතින් අල්ලා අපට පැවසූයේ අහිංසකවය.
‘‘මේ සිසුන්ට ඉගෙන ගන්න මෙහෙ පහසුකම් නැහැ. ඒ අයගේ ආර්ථිකය සවිමත් නැහැ. ඒත් කළා අංශයෙන් එහෙම ගොඩක් දක්ෂකම් තියෙන දරුවො ඉන්නවා. ඒ අයට ඒ දක්ෂකම් පිටට පෙන්වන්න අවස්ථාව නැහැ.’’ ඉන්දුමතී පවසන්නීය.
එය සැබෑවකි. ඔවුහු පාසල් බිමේ අප ඉදිරියේ ගැයූහ. අත්වැල් පටලා රග දැක්වූහ. කැලේ පිපෙන මල් කෑලේට පර වන්නට නොදී ඔවුන්ට පෙළහර පාන්නට ඉඩ දෙන්නේ නම් වඩාත් ලස්සණ හෙටක් ඔවුනට උරුම වනු ඇත. එහෙත් අතිශය දුෂ්කර ග‍්‍රාමයක් වූ පිල්ලූමලේ සිට එවැනි සමත්කම් පාන්නට ඔවුනට ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රස්ථාවකි.
අප පාසැල් අවසන් වනතුරුම ඒ බිමෙහි උන් හා දුක සැප බෙදා ගත්තෙමු. ඔවුන් අප හා කුථපග වූයේ නිමේෂයකිනි. අපූර්වතම දර්ශනය දැක ගත හැකි වූයේ පාසල් අවසන් වූ මොහොතේය. පාසල් නිමා වීමෙන් අනතුරුව දරුවන් රැගෙන යාමට පැමිණියේ එල්ෆ් වෑන් රථයකි. ගුරුවරුන් හා සිසුන් සියල්ලම වෑන් රථයට නැග ගත්හ. සිසුහු කිහිප දෙනෙක් වෑන් රථය උඩටද නැග ගත්තේය. වෑන් රථයේ දොරත්, එහි වහලය මතත්, පිටුපසත් සිසුන් එල්ලී සිටියහ. එය අපට අපූරු දසුනක් වුවද එය ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය කාර්යකි.
මේ දරුවන්ට ඇත්තේ සීමිත වූ සම්පත් ප‍්‍රමාණයකි. දශක කිහිපයක් මුථල්ලේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් බැට කෑ මෙහි වැසියන්ට සැප සම්පතින් සපිරුණු හෙටක් පිළිබද බලාපොරොත්තුවකට ඉඩක් තිබුණේ නැත. යුද්දය නිමා වුවද ඔවුන්ට තවමත් නැගී සිටින්ට සවියක් නොමැත. එබැවින් සිය දරුවන්ගේ මූලික අවශ්‍යතාවන්හෝ ඉටු කර දීමට ඒ දෙමාපියන්ට නොහැකි වී තිබේ.
මේ පාසලේ සිසුන්ගේ බොහොමයක් දෙපා නිරුවත්ය. එසේ නොවේ නම් කැඞී ගිය සපත්තු කුට්ටමකින් ඒ දෙපා සැරසී තිබිණි. ඇදුමේ ද පිළිවෙලක් නොවේ. එහෙත් ඒ දරුවන්ගේ දෙනෙත් වල ඇත්තෙ සවිමත් අනාගතයක් පිළිබද සිහිනයකි. දිනෙක ඔවුන්ට සිය සිහිනය සැබෑ කරගන්නට ඉඩ ලැබෙනුයේ නම් ඔවුන්ගේ ඉදිරි දවස යහපත් එකක් වනු ඇත.




