මහනැවියා පොකුණේ සිරිසර විපුල
මහ මුහුදේ ජල කඳ අහස සිඹින්නට සැරසෙන සෙයකි. සැඩ සුළඟ හා සමඟ පොර බදන එම ජල තරඟ ගත සත බියපත් කරන සුලූය. අතුරන ලද ගල් වැටිය නොවන්නට එම දළ රළ පෙර ඉතා ඉක්මනින්ම තව තවත් ගොඩබිම සෝදා ගෙන ගොස් සයුරු පතුළෙහි සඟවනු නිසැකය.
වැලි සහිත මුහුදු තීරයක් එම වෙරළට හිමි වී නොමැත. රළ සැඩ බව නිසා ම මිනිසුන් විසින් මුහුදට එම වැලිසහිත පටු වෙරළ අහිමි කොට තිබේ.
මුහුද අද්දරට වන්නට ජනතාවගේ ජල පහසුව වෙනුවෙන් කණින ලද පොදු ළිඳකි. අද ප‍්‍රදේශවාසීන්ගේ” නාන ළිඳ” එය යි. ”ඒ දවස්වල අපේ අම්මල බොන්න වතුර අරගෙන ගියේ මේ ළිඳෙන්” එලෙස පවසන්නී එතැන දිය නාමින් සිටින කාන්තාවකි.
”කළු කන්ද ළිඳ” නමින් හඳුන්වන එම ළිඳට දිගු ඉතිහාසයක් ඇත. නමුත් කිසි දා දිය නොසිඳෙන එහි ඉතිහාසය කවුරුන්වත් නොදනිති. අඩි පහළොවක් පමණ ගැඹුරැුති කළු කන්ද ළිඳ ගම්වැසියන් සලකන්නේ තමන්ට තිබෙන ඉමහත් පොදු සම්පතක් වශයෙනි.
වෙරළෙහි සිට කළු කන්ද ළිඳ පිහිටා ඇත්තේ අඩි කිහිපයක් ගොඩබිමට වන්නටය. ගල්වැටියත්, ගුරු පාරත් විසින් එම ළිඳත් මහ මුහුදත් වෙන් කරවයි. මුහුද අද්දර පිහිටියද කළු කන්ද ළිඳේ ජලය කිවුල් රස නොමැත. එනම් ඊට කරදිය මුසු නොවේ. රට මැද පිහිටි ළිඳක මෙන් ප‍්‍රනීත ජලය එහි පිරී තිබේ.
දකුණු මුහුදු තීරයේ ෙඓතිහාසික වැලිගම පිහිටි මෙවැනි තවත් ළිඳක් ද තිබේ. රට මැද පිහිටි ළිඳක ජලය මෙන් ඒවා ප‍්‍රනීතය. කිවුල් දිය නොරඳයි.
අද ශේෂ වී තිබෙන මෙම කළු කන්දේ ළිඳ ජනප‍්‍රවාදය ද සාහිත්‍යය ද පරිශීලනය කරන අප සියවස් ගණනක් ආපසු හැරී බලවන්නේය. පුරාණ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණවලින් මෙන්ම ජනශ‍්‍රැතිවලින් ද පැවසෙන ”මහනැවියා පොකුණ” අද අප‍්‍රකටව පවතින්නකි. ඒ වටා ගොඩ නැගුණු සිදුවීම් පෙළකින් මහ නැවියා පොකුණ ජනතා සිත් සතන් තුළ පමණක් තවමත් ජීවත් වෙයි. එමෙන්ම මහ නැවියා පොකුණ ලෙස හඳුනා ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැතිකමින් එම මතක ශේෂය පවා අනාගතයට දායාද නොවන බවක් ද පෙනෙන්නට තිබේ.
වැලිගම ක‍්‍රි:පූ: යුගයේ සිට ම ජනප‍්‍රියව පැවති සොබාවික වරායක් සහිත වෙළඳ නගරයකි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග‍්‍රහය ලත් ඓතිහාසික පුරවරයකි. මාතර ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ වැලිගම කුඹල්ගමින් වමට හැරී ”මහනැවියා පාර” දිගේ ගමන් කළ හැකිය. එය ගුරු පාරකි. මහනැවියා පොකුණ පිහිටා තිබූ බව පැවසෙන ස්ථානයක් සහිත මුහුදු තීරයත්, කළු කන්දත් එහිදී මුණ ගැසෙන්නේ ය. නමුත් අද පොකුණක් ලෙස හඳුනාගැනීමට හැකි කිසිවක් නම් එහි දී හමු නොවෙයි. එම සියලූ නෂ්ටාවශේෂයන් පවා මහ මුහුද විසින් අකාරුණික ලෙස උදුරා ගෙන තිබේ.
මහනැවියා පොකුණ පිළිබඳ සඳහන් එකම සාක්‍ෂිය වන්නේ ඒ පිළිබඳ සංදේශ කාව්‍යය හතරකින් ම පමණක් වර්ණනා කිරීමයි. වෙනත් කිසිදු ලිඛිත ඓතිහාසික සඳහනක් ඊට නොමැත. ඒ ගම්පොළ යුගයේ දී රචිත මයුර සහ තිසර සංදේශවල (ක‍්‍රි:ව: 1341-1408* සහ කෝට්ටේ යුගයේ රචිත පරෙවි සහ කෝකිල සංදේශවලින්ය.
මයුර සංදේශය රැුගෙන ගම්පොළ සිට දෙවිනුවර දක්වා ගමන් කරන මයුරාට මහ නැවියා පොකුණ පිළිබඳ සඳහන් කොට ඊට ගොස් ගිමන් නිවා ගන්නා ලෙස පවසයි. තරුණ ගැහැණුන් එහි දිය ක‍්‍රීඩා කරනු දුටුවොත් විඩාව සංසිඳෙන බව ද කතුවරයා සිය තයාට පවසයි.
මහ නැවියා පොකුණ – යෝනන් සිලිල් සනහා
කෙළනන් දුටු ගමන් – කළ මං ගමන් සනහා
එමෙන්ම තිසර සංදේශයේ කතුවරයාද මහ නැවියා පොකුණෙහි ඇති නෙළුම් දඬු අනුභව කොට යන ලෙස දෙවිනුවර සිට දැදිගම්පුර බලා ගමන් කරනා තිසරයාට දන්වන්නේ මෙලෙසිනි.
කුසුමාවියා එන කල් කියනුව සෙ සෙ ද
සරසාවියා ගොස කැරැ නිවෙස ගත් ස ඳ
මහ නැවියා පොකුණෙහි පොකුරු සිරි න ද
තොස නැවියා ගොස් එපවුත් සිරි නෙත ද
අදින් ශතවර්ෂ 7 කට පමණ ඉහත දී සංදේශකරුවන් දුටු මහනැවියා පොකුණ දැක ඇත්තේ එලෙසින් ය. එනම් ඊට පෙර සිටම මහ නැවියා පොකුණ පැවති බව එ මඟින් පැහැදිලි කොරෙන අනෙකුත් අදහසයි.
ගම්පොළ යුගයෙන් පසුව එළඹෙන්නේ කෝට්ටේ යුගයයි. එහි දී ද සංදේශකරුවන් දෙදෙනා මහ නැවියා පොකුණ දැක ඇත. ඉන්පසුව කිසිදු සාහිත්‍යකරුවකුු හෝ ඉතිහාසකරුවකු එම පොකුණ පිළිබඳ ලියා නැත. එය අද විසඳා ගත නොහැකි කුතුහලයක් ලෙස ඉතිරි වී ඇත. ජයවර්ධනපුර සිට දෙවිනුවරට ගමන් කරන පරෙවි සංදේශය මගින් පැදි දොළහකින් ම මහ නැවියා පොකුණ වර්ණනා කොට ඇත. ඉතා රූමත් කාන්තාවන් එහි දිය ක‍්‍රීඩා කරන ආකාරය එහි ශෘංගාරාත්මකව වර්ණනා කරයි.
කරකැවියා නොම දෙන සත පටු දෙළෙන
කුසුමාවියා සැවු දිය මෙන් බැම ලෙළෙන
තිසුල්වියා කල් බැඳ කල් බැඳ කෙළෙන
මහ නැවියා පොකුණට බදු කෙළි දෙළෙන
කෝකිල සංදේශය යැවෙන්නේ දෙවිනුවර සිට යාපා පටුනටයි. මහ නැවියා පොකුණෙහි නෙළුම් මල්වල වසා සිටින මී මැස්සන්, විහඟුන් එම සංදේශ කාව්‍යයෙන් වර්ණනා කොට ඇත්තේ එක් කවියක් පමණක් යොදාගෙන තිබේ.
හිම සිවියා බිඹු ලෙසැ සස ලපිනුදුල
බිඟු සෙවියා මිණිමුතු හෙළ පියුමවල
මහ නැවියා පොකුණෙන් සිර සර විපුල
තොම නැවියා කළ නරඹා සිට අසල
සංදේශකරුවන් අත්‍යංලාකාරයෙන් මහනැවියා පොකුණ පිළිබඳ සටහන් තැබුවද එය පිහිටා තිබූ ස්ථානය හඳුනා ගැනීමට වර්තමානයට නොහැකි වී ඇත. එය පිහිටා තිබූ ස්ථානය පිළිබඳ ඇත්තේ අදහස් ගොන්නක් පමණි. ජනප‍්‍රවාද අනුව එය පිහිටා ඇති ප‍්‍රදේශය ලෙස මුඛ පරම්පරාගතව පැමිණ ඇත්තේ අද එය මහ මුහුදට සේදී ඇති ප‍්‍රදේශයක් ලෙසිනි. කෝට්ටේ යුගයෙන් පසුව එය හුමුදු බත් වී ඇත.
කළු කන්ද පාමුල ඇත්තේ මානගේ වැල්ල යි. මානගේ වැල්ල ලෙස හඳුන්වන්නේ එකල මහනැවියා පොකුණ පිහිටි ප‍්‍රදේශය බව ජනප‍්‍රවාදය පවසයි. මුහුද අද්දර පිහිටි කළු කන්ද ළිඳෙහි දිය කිවුල් රසයක් නොගන්නේ එකල මහචනැවියා පොකුණට දිය සැපයුණු දිය උල්පත් නිසා බවට අදහසක් පවතී. මහනැවියා පොකුණට ජලය සැපයූ ජල උල්පත බාදිය කාලයට තල් කඳක් තරම් මහතට එකල දිස්වූ බවට ද ජනප‍්‍රවාදයේ එන්නේය. එහෙත් එවැන්නක් දැක ඇති අයෙකු නම් අද ජීවතුන් අතර නොවෙති.
සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වූ වෙ. වි. අභයගුණවර්ධනයන්ගේ මහ ගෙදරද පිහිටා තිබුණේ කළු කන්ද හා මහනැවියා පොකුණ පිහිටි බව කියන මානගේ වැල්ල සමීපයේ ය. නමුත් මහනැවියා පොකුණෙහි සලකුනක් පවා තමන් නුදුටු බව එතුමා පසු කලෙක සඳහන් කොට තිබුණි.
මහ නැවියා පොකුණ පිළිබඳ අපිදු ප‍්‍රදේශයේ වැඩිහිටියකෙුගෙන් විමසීමු. එස්. එල්. ඒ. චන්ද්‍රසේන (66* නැමැති ඔහු පැවසුවේ මෙබන්දකි.
”මහ නැවියා පොකුණ මුහුදෙහි තිබෙනව කියල අම්ම කියල තියෙනවා. අම්මලවත් දැකල නැහැ. මේ ප‍්‍රදේශයේ පොකුණ කියල හඳුන්වන ළිඳකුත් තියෙනවා. ඒක අපේ ආච්චිලාගෙ කාලෙ කපාපු එකක්.”
කුඹල්ගම සිට වැලිගම දක්වා වූ මාර්ගය සමීපව ”ඒකලේ” නැමැති වගුරු බිම් ප‍්‍රදේශයක් තිබේ. වාසල මුදලි ඩබ්. ඇෆ්. ගුණවර්ධනයන් 1928 දී පමණ මයුර සංදේශයට විවරණයක් සපයමින් ඒකලේ යනු මහනැවියා පොකුණ පිහිටි ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශ කොට ඇත. බන්දුසේන ගුණසේකර, විනී විතාරණ, මැන්දිස් රෝහණධීර ආදී සාහාත්‍යසේවීහු ද එම අදහස් විශ්වාස කරති.
මහනැවියා පොකුණ ඉදිකිරීම පිළිබඳ ජනප‍්‍රවාදයක් ද ඇත. සතුරු ආක‍්‍රමණවලින් බේරීමට අනුරාධපුරයෙන් පළාගිය වළගම්බාවන් කළු කන්දෙහි සිය බිසෝවරුන් සමඟ කාලයක් වාසය කොට ඇත. එම බිසෝවරුන් ඇතුළු රාජකීයන්ට දිය නෑමට එම පොකුණ ප‍්‍රදේශවාසීන් විසින් ඉදිකරන ලද බව ජනප‍්‍රවාදයේ සඳහන් කතාවකි. මහනැවියා පොකුණ මුහුදුබත් වන්නට ඇති බව එම ජනප‍්‍රවාදයෙන්ද හඟවයි.
මහනැවියා පොකුණ ”මහනෙයියා” පොකුණ ලෙසද ව්‍යවහාර වෙයි. භික්‍ෂූන් වහන්සේ ස්නානය කළ නිසා එලෙස ව්‍යවහාර වන බවට වන අදහසක්ද ඇත. එමෙන් ම පුරාණයේ සිට නාවික මධ්‍යස්ථානයක් ලෙස ප‍්‍රචලිතව පැවති වැලිගමට පැමිණෙන වෙළෙඳ නාවිකයන්ට දිය නෑමට ප‍්‍රදේශයේ විසූ තවත් මහ නැවියෙකු විසින් මෙම මහනැවියා පොකුණ ඉදි කළ බව ද විශ්වාසයක් පවතී. මුහුද අසල පිහිටි නිසා මහනැවියා පොකුණ ලෙස හඳුන්වන බව ද තවත් අයෙකුගේ අර්ථ දැක්වීමක ඇත.
ඉතා සුන්දර මතකයක් අවදි කළ ද මහනැවියා පොකුණ අද දැක ගැනීමට පවා නොහැකි වී ඇත. අනාගතයේ කිසිවෙකු විසින් එහි නිෂ්ට වූ ශේෂමය සාක්‍ෂියක් හෝ සොයා ගැනීමට හෝ අහම්බයකින් හෝ එවැන්නක සලකුණක් මතු වුව හොත් ඓයිතිහාසික ජනප‍්‍රවාද මෙන් ම සංදේශ නිර්මාණවල සඳහන් අගය කුළු ගන්වනු ඇත. එ දවස අනාගත පරපුරකට හෝ උදා වේවායි ප‍්‍රාර්ථනයෙන් මෙම අසංක්‍ෂිප්ත සටහන තබන පන්හිඳ කළු කන්ද මුදුනේ සිට මහනැවියා පොකුණ පිහිටා තිබුණේ යයි පැවසෙන මානගේ වැල්ලට වීසි කරන්නෙමු.
මෙම ලිපිය සඳහා ඇතැම් මඟ පෙන්වීම් නිහාල් ජගත්චන්‍ද්‍ර මහතාගේ ”මහනැවියා පොකුණ” කෘතියෙන් ලබා ගතිමි.
දෙනගම ධම්මික රනවීර




