ජනාධිපතිවරණ උණුසුම අන්තර්ජාලයටත්
Election fever in cyberspace
ජනාධිපතිවරණය පවත්වන දිනය ආසන්න වෙමින් පවතින විට දේශපාලන ලෝකයම කෙමෙන් කෙමෙන් උණුසුම් වෙමින් පවතින අතර ජනාධිපතිවරණ සටනේ උණුසුම අන්තර්ජාලය ඔස්සේද වර්ධනය වෙමින් තිබේ.
අන්තර්ජාලයේ ඇති මිතුරු සමාජයක් වන ෆේස් බුක් වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරණයේ උණුසුම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් මේ වන විට එම වෙබ් අඩවියේ පමණක් පිටු හා කණ්ඩායම් සිය ගණනක් නිර්මාණය වී තිබේ.
මැතිවරණය සදහා නාම යෝජනා භාරදීමට පෙර මොවුන් දෙදෙනා වෙනුවෙන් නිල ෆේස් බුක් පිටුවක් හෝ නිල ෆේස් බුක් කණ්ඩායමක් නිර්මාණය වී නොතිබූ නමුත් ජනාධිපතිවරණ සටනේ උනුසුම සමගින් මේ තත්වය වෙනස් විය. මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ නමින්ම නිල ෆේස් බුක් පිටු නිර්මාණය වුනේය.
මැතිවරණ සටන උණුසුම්වීමත් සමගින් ප‍්‍රධාන අපේක්ෂකියන් දෙදෙනාගේම ප‍්‍රචාරක අංශ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයන්වලින් අන්තර්ජාල සමාජය වෙත නොයෙක් පණිවුඩ එවීම ආරම්භ කළේය. ඒ අනුව එක් අපේක්ෂකයාගේ පණිවුඩ රැගත් ඊමේල් ලිපිනයන් සමගින් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඇති ෆේස් බුක් පිටුවල සාමාජිකයින් වන ලෙස ඉල්ලීමක් කර තිබුණේය. එම ෆේස් බුක් පිටු වෙත පැමිණෙන ආකාරයත් ඒවායේ සදහන් විය.
මේ අනුව බොහෝ දෙනා තමන් කැමති අපේක්ෂකයාගේ නිල ෆේස් බුක් පිටුවේ සාමාජිකයෙක් බවට පත්වුනේය. ඒ අනුව ජනාධිපති රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවේ තිස්නමදහසකට වැඩි පිරිසක් සාමාජිකයින් බවට පත්ව සිටී. සරත් ෆොන්සේකා – මීළග ජනාධිපති යන නමින් ඇති විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකාගේ නිල ෆේස් බුක් පිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව පනස් තුන්දහසකට අධිකය. මේ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් නිල ෆේස් බුක් කණ්ඩායමක්ද නිර්මාණය කර ඇති අතර එහි සාමාජිකත්වය ගෙන ඇත්තේ දොළොස්දහසකට ආසන්න පිරිසක් පමණි.
මොවුන් දෙදෙනාගේම ෆේස් බුක් පිටුවල ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයටන්ට වාසිදායක වන ආකාරයේ දේවල් පළ කර ඇති අතර මෙම ෆේස් බුක් පිටු දෙකේම දිනකට දෙතුන්වරක් කිසියම් දෙයක් පළ කිරීමට එහි නිර්මාණකරුවෝ වගබලාගෙන තිබේ.
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් නිර්මාණය කර ඇති ෆේස් බුක් පිටුවේ ඔහු ජනාධිපතිවරණ කැදවීමෙන් පසුව සහභාගී වූ අවස්ථාවල ඡුායාරූප පළකර තිබුණි. මෙම ඡුායාරූප පිළිබදව තමන්ගේ අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කර තිබූ ෆේස් බුක් පිටුවේ නොයෙක් දෙනො නොයෙක් අදහස් පළ කර තිබුණි. ‘‘ඔහොම යන් ….ඔහොම යන් ප‍්‍රසිඩන්ට් අංකල්’’දිරේෂ් දේවනාරායන එවැනි ජායාරූපයක් පිළිබදව අදහස් දක්වමින් කියා තිබුනේය.
‘‘මෙන්න වැඩ…. කවුද මහින්දට වැඩ බැහැ කියලා කිව්වේ…..’’පානදුර හා පන්නිපිටිය ගුවන් පාලම් විවෘත කරන අවස්ථාවේ ඡුායාරූප පිළිබදව අදහස් දක්වමින් සජිත් විජයවර්ධන ලියා තිබුණේය. මෙපමණක් නොව ‘‘ජයවේවා මහ රජාණෙනි, ඔබ ශ්‍රේෂ්ඨ රජෙකි, ජනතාව රාජපක්ෂ සමගයි…. ආදී වශයෙන් ජනාධිපති රාජපක්ෂට සහාය දක්වන ෆේස් බුක් සමාජයේ සාමාජිකයෝ එම පිටුවල ලියා තිබේ.
ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබදව විවිධ තොරතුරු පළ කර තිබේ. මෙම තොරතුරු පිළිබදව අන්තර්ජාලයේ සිටින ඔහුගේ ආධාර කරුවන් විවිධ අදහස් පළ කර තිබේ. ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරදීමෙන් පසුව වාර්තාවූ පළමු මිනිස් ඝාතනය පිළිබදව ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි. මේ පිළිබදව ඔහුගේ එක් ආධාර කරුවෙක් කියුවේ මහ රජා පිළිබදව ලජ්ජා වන බවයි. ‘‘මෙහෙමද ආණ්ඩුව නිදහස් මැතිවරණ පවත්වන්නේ..’’ මේ පිළිබදව අදහස් දක්වමින් රංග වෙත්තමුනි ෆේස් බුක් පිටුවේ ලියා තිබුණේය.
‘‘සුභ අනාගතයක් ඇතිවෙන්නේ විශ්වාසනීය වෙනසක් ඇතිවුනොත් පමණයි. මේ විශ්වාසනීය වෙනසකට කාලයයි.’’ ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ ලියා තිබේ. මේ පිළිබදව අදහස් දැක්වූ ෆොන්සේකාගේ ආධාර කරුවන් විශ්වාසනීය වෙනසක් ඇතිකිරීම සදහා ඔහුට සුභ පතා තිබුනේය.
වත්මන් ජනාධිපතිවරයාට නියමිත ධුර කාලය අවසන්වීමට පෙර මැතිවරණයක් පවත්වන බව නිලවශයෙන් නිවේදනය කිරීමට පෙර සිටම ජනාධිපතිවරණයක් පිළිබදව වන උනුසුම රට පුරා නැගෙමින් තිබුනේය. මේ අවස්ථාව වන විට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නොතිබූ අතර එම කාලයේ සිටම ජනාධිපති රාජපක්ෂට හා විපක්ෂයේ පොදු අපෙක්ෂක ෆොන්සේකාට සහාය දක්වමින් ෆේස් බුක් පිටු හා කණ්ඩායම් නිර්මාණය වී තිබුනේය.
ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ නිල ෆේස් බුක් පිටුවලට සාමාජිකයින් දස දහස් ගණනින් පැමිණෙන නමුත් මෙම කණ්ඩායම්වලට අලූතින් සාමාජිකයින් පැමිණෙන බවක් පෙනෙන්නට නැත.
මැතිවරණ සටන වඩාත් උණුසුම් වන අවස්ථාව වන විට ඊමේල් මාර්ගයෙන්ද ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා පිළිබදව වන විවිධ තොරතුරු ඊමේල් භාවිතාකරන්නන්ට එවා තිබුනේය. මෙයින් ඇතැම් ඊමේල් සකස් කර තිබුණේ මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ චරිතවලට හානි සිදුවන අයුරින්ය.
දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය ජනාධිපතිවරණයේ උණුසුම ඉහළ යන අතර මේ උණුසුමේ තරම කියාපාමින් අන්තර්ජාල සමාජය තුළද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපෙක්ෂකයින් දෙදෙනා පිළිබදව වන කතා බහ වේගවත් වෙමින් පවතී.
Election fever has hit cyberspace with many Facebook pages and groups organizing themselves to back the two main Presidential candidates, President Mahinda Rajapaksa and General Sarath Fonseka. The two candidates commenced official Facebook pages after handing in nominations and since then the pages have been filled with various propaganda material. With a few days more to go for elections, e-mails are also being circulated about each of the main candidates.
By Sanjaya Nallaperuma
රුක්ෂාන්ගේ ෆේස් බුක් කෙල්ල ගැන ෆේස් බුක් සමාජය කියන කතා
අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් නොවේ. අන්තර්ජාලය භාවිතාකරන තරුණ පරපුර අතර ෆේස් බුක්හි සාමාජිකයෙක් නොවන අයෙක් සොයා ගැනීම බෙහෙවින් අසීරු කටයුත්තකි. අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් බවට පත්ව නැත්තේ වෙළද දැන්වීම් සදහාද ෆේස් බුක් යන වචනය යොදා ගන්නා නිසාය.
ෆේස් බුක් යනු අන්තර්ජාලයේ නව මිතුරන් ඇතිකරගැනීම හා පැරණි මිතුරුදම් අලූත් කර ගැනීම සදහා ඇති ජනප‍්‍රිය වෙබ් අඩවියකි. ෆේස් බුක් වෙත පිවිසෙන අයෙක්ට නව මිතුරන් ඇතිකරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ඔවුන් සමග අදහස් හුවමාරුකරගැනීමටද අවස්ථාව ලැබෙයි. එපමණක් නොව තමන් කැමති ඡායාරූප ෆේස් බුක් පිටුවට ඇතුල් කළ හැකි අතර එම ඡායාරූප තමන්ගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබෙයි.
ෆේස් බුක් වෙත ඇතුළුවන පුද්ගලයින්ට අලූත් යාළුවන් හදුනාගැනීමට අවස්ථාව ලැබෙන ආකායටම ෆේස් බුක් හරහා මිතරු මිතුරියන් බටව පත්වන අය පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වීමේ පුවත් මේ සමාජයට අලූත් අත්දැකීම් නොවේ. ෆේස් බුක් හරහා පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වන අය නොසිතූ පරිදි වෙන්ව යාම සාමාන්‍ය සිදුවීමකි.
ෆේස් බුක් සමාජයේ සිටින ඇතැම් තරුණයින් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර ඇත්තේ තවත් තරුණයෙක් රැවටීම සදහාය. රූමත් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් තරුණියන්ගේ නම් ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර තිබේ. මේ ව්‍යාජ ෆේස් බුක් මිතුරු පිටු වටල පිවිසෙන තරුණයින් හා ව්‍යාජ ෆේස් බුක් පිටුවේ සිටින තරුණයින් සමග පෙමින් බැදී ඒ පිළිබදව දැනගැනීමෙන් පසුව ඇතිවන්නේ දුකක් හා කණගාටුවක් පමණි.
ෆේස් බුක්හි පෙම්වතෙක් ලෙසින් අනික් පාර්ශවය සමග අදහස් හුවමාරු කරගෙන කාලයක් ගතවන විට තමන් රැවටීමට ලක්ව ඇති බව දැනගැනීමට ලැබෙන පෙම්වතෙකුගේ සිතට නැගෙන දුක් කදුළ ගීතයක් ලෙසින් එළි දක්වා තිබුණි. ඉරාජ් වීරරත්න හා රුක්ෂාන් මාර්ක් විසින් ගායාන කරන ‘‘කෙල්ලේ මටනම් ආදරේ කළේ – ඇයි මගේ යහනේ ඔහු ඉන්නේ ’’ යන ගීතය ෆේස් බුක් සමාජය අතර මෙන්ම ෆේස් බුක් භාවිතා නොකරන සමාජය අතර ජනප‍්‍රිය ගීතයක් බවට පත්ව තිබේ.
‘‘මිනිස්සුන්ට දැන් වදින්නේ ටිකක් වෙනස් ආකාරයේ සිංදු. සාමාන්‍ය ජීවිතයට ගොඩාක් සමීප සිංදු තමයි මිනිස්සු ඉල්ලන්නේ ’’ ලංකාවේ ජනප‍්‍රියතම ගීත නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවියක් පවත්වාගෙන යන නුවන් චින්තන පැවසුවේය.
ගීත ඇල්බමයක ඇතුළත් ගීතයක් ලෙසින් මෙම ගීතය පැමිණි නිසා නොමිලේ එය බෙදාහැරීමට අවසරයක් නැතැයි හෙතෙම කීවේය. නමුත් ගුවන්විදුලි නාලිකාවල මේ ගීතය විකාශයවීම ඇරඹීමත් සමගින් අන්තර්ජාලය ඔස්සේද ගීතය ප‍්‍රචාරය වීම ඇරඹිණි. ෆේස් බුක් සමාජයේ බොහෝදෙනා මේ ගීතයට සවන්දී තිබුනේ අන්තර්ජාලයෙනි.
‘‘ෆේස් බුක් දැක්කම ඔබෙ රුව දුටුවා…….ඇඩ් ඇස් අ ෆෙරේන්ඩ් යැයි කන්ෆර්ම් කෙරුවා……..’’ඉරාජ් සහ රුක්ෆාන් මාර්ක් ගායනා කරන ගීතයෙන් ෆේස් බුක් වෙත පැමිණෙන අයෙක් තවත් අයෙක් මිතුරෙක් බවට පත්කරගන්නා ආකාරය පියවරෙන් පියවර විස්තර කරයි.
ෆේස් බුක්හි මිතුරෙක් බවට පත්වූ පසු එකිනෙකා වෙත පණිවුඩ යැවීමට අවස්ථාව හිමිවේ. ඒ බවද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් පවසයි. ‘‘ඉන්බොක්ස් පිරෙන්න මැසෙජස් තිබුණා…..’’ යනුවෙන් කියන්නේ මොවුන් දෙදෙනා නිතරම අදහස් හුවමාරු කරගත බවයි. මෙසේ අදහස් හුවමාරු කරගෙන දින තුනක් ගතවන විට තරුණයාට ආදරය ප‍්‍රකාශයක් ලැබෙයි. මේ පිළිබදව සැකයක් ඇතිවුවත් බියක් නොමැතිව ආදරය කළ බව රුක්ෂාන් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.
‘‘අපි ෆෙස් බුක් එකේ ලස්සන කෙල්ලකේ දැක්කොත් මිතුරෙක් විදියට එකතුකරගෙන මැසේජ් යවන එක දිගටම කරනවා. ඒකතමයි ඇත්ත.’’ෆෙස් බුක් සාමාජිකයෙක් වන නලින්ද නිරෝෂන් පැවසුවේය.
ෆේස් බුක් පිටුවට ඡායාරූපයක් ඇතුල් කිරීමේදී බොහෝ දෙනා දෙවරක් සිතන්නේ ෆේස් බුක් වෙත ඇතුළුකරන ඡායාරූප ඕනෑම අයෙක්ට දැකීමට අවස්ථාව ලැබෙන බැවිනි. ඇතැම් අය ෆේස් බුක් වෙත ඡායාරූප ඇතුල් කරන්නේ ඡායාරූප සංස්කරණය කිරීම සදහා ඇති පරිඝනක මෘදුකාංග යොදාගෙන ඡායාරූප සංස්කරණය කිරීමෙන් පසුවය. ‘‘ප්‍රොෆයිල් එකේ ෆොටෝ ශොප් පිහිටෙන් ලස්සන පික්චර්ස් ගොඩක් තියෙන හින්දා මමත් කමෙන්ට්ස් දැම්මා…..’’
‘‘ෆේස් බුක් යන අයට වෙන සිදුවීමක් තමයි ඒ ගීතයෙන් කියලා තියෙන්නේ. කොල්ලෝ කෙල්ලන්ගේ ෆොටෝස් දාලා ෆේස් බුක් පිටු හදන එක අලූත් දෙයක් නොවෙයි.’’ නිරෝෂන් කීවේය.
ෆේස් බුක්හි සිටින ඇතැම්අය තමන්ගේ සැබෑ ඡායාරූප ඇතුළත් නොකර ව්‍යාජ ඡායාරූප ඇතුළත් කරන බව අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වාගෙන යන තිළිණ මධුරංග පැවසුවේය.
තවත් අයෙක් රැවටීම සදහා තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කරන්නේ තවත් තරුණයෙක් නොමග යැවීම සදහා වන බව විශ්වක අටළුගම සදහන් කළේය. මෙය ෆේස් බුක් යොදාගන්නා අය සිදුකරන සුළු දෙයක් පමණක් වන බව ඔහු කියයි. තවකෙක් රැවටීම සදහා නිර්මාණය කරන ෆේස්බුක් පිටුව ටික දවසකින් ඉවත් කරන ආකාරයද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.
ෆේස් බුක් වෙත පැමිණෙන අය රැවටීමට ලක්වීම අන්තර්ජාලය භාවිතා කරන අයට අලූත් අත්දැකීමක් නොවන්නේයැයි නුවන් චින්තන කීවේය. මෙය ෆෙස් බුක්හි සාමාන්‍ය සිදුවීමක් යැයි ඔහු සදහන් කළේය. හොද සන්නිවේදන මාර්ගයක් වන ෆේස් බුක් හි හොද පැත්ත වෙනුවට නරක භාවිතාවට ගන්නා අය මේ ආකාරයට තවත් අයෙක් රවටන්නේයැයි චින්තන පැවසුවේය.
‘‘තවත් සමහර වෙලාවට ෆේස් බුක් එකේ ඉන්න කෙල්ලෝම කොල්ලෝ කඩේ යවන අවස්ථා තියෙනවා.’’ අටළුගම කීවේය.
‘‘මේ සිංදුවේ තියෙන විදියට ෆේස් බුක් එකේ ඉන්න තවත් අයෙක් රවටනවානම් ඒක වැරදි දෙයක්. ලෝකය වටා සිටින මිතුරු මිතුරියන් හදුනාගැනීමට භාවිතා කරන ෆේස් බුක් හි සිටින තවත් අයෙක් අපේ යාළුවෙක් බවට පත්කරගන්නේ කිසියම් විශ්වාසයක් ඇතිවයි. මේ විශ්වාසය බිද දැමීමට කවුරුහරි වැඩ කරනවානම් එය වැරදි දෙයක්.’’ ෂලින්ද්‍රි ප‍්‍රාර්ථනා කීවාය.
අන්තර්ජාලය භාවිතාකර ෆේස් බුක් භාවිතා කරන අයට මේ ගීතය සමීප ගීතයක් බවට පත්ව තිබුණත් අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතයෙන් පැවසෙන කතාව එතරම් හුරු පුරුදු අත්දැකීමක් බවට පත්ව තිබුනේ නැත. අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතය තවත් එක් ගීතයක් පමණක්යැයි චින්තන කීවේය. අන්තර්ජාය භාවිතා නොකරන පුද්ගලයින්ට මේ ගීතයෙන් කියන දේ අවභෝධ නොවන්නේයැයි ඔහු පැවසුවේය.
‘‘ඒත් ෆේස් බුක් ගැන දන්න අයට මේ සිංදුව හොදට වදිනවා.’’ චින්තන කීය.
අන්තර්ජාලයේද මේ ගීතයට වැඩි ඉල්ලූමක් ලැබී තිබුණේය. සිය වෙබ් අඩවිය වෙත ඊමේල් පණිවුඩ එවමින් මෙම ගීතය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි චින්තන කීවේය.
‘‘නොමිලේ මේ ගීතය බෙදාහරින්න අපිට අවසර නැති නිසා තාම මේ ගීතය අපේ වෙබ් අඩවියට ඇතුල් කළේ නැහැ. ඒත් ඉදිරියේදී ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කළොත් අපි අනිවාර්යයෙන්ම වෙබ් අඩවියට එය ඇතුල් කරනවා.’’ ඔහු සදහන් කළේය.
මේ ගීතය දෙමාපියන් ඇසුවහොත් ඔවුන් තමන්ගේ ළමුන්ට ෆේස් බුක් වෙත පිවිසීමට අවසර ලබාදීම පිළිබදව දෙවරක් සිතනු ඇතැයි නිරෝෂන් කීවේය.
‘‘ෆේස් බුක් එකේ මේ විදියට රැවටීම් වෙනවා කියලා වැඩිහිටියෝ දැනගත්තොත් ඔවුන් දරුවන්ට ෆේස් බුක් වෙත යන්න අවසර දෙන එකක් නැහැ.’’ ඔහු පැවසුවේය.
The Facebook phenomenon is nothing new to youngsters using internet. The use of Facebook and its acts inspired Iraj Weeraratne and Rukshan Mark to release a song. The song titles “Girl, if you loved me, why is he in my bed,” is now popular among Facebook users as well as non-Facebook users. Facebook, a social communication network is commonly used to make friends and to find long lost friends. In some instances friends on Facebook begin relationships as well. However, Facebook pages are also used by some to mislead others. Some use pictures of various young girls in profiles misleading many of the young boys who add them as friends. Iraj and Rukshan have included all these in their Facebook song, which is now a hit even on radio.
නවීන තාක්ෂණයේ අනිටු ප‍්‍රතිඵල
Computer use could be life threatening
නවීන තාක්ෂණයත් සමග වර්තමාන සමාජයට පරිගණකය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වී ඇත.නමුදු පරිගණකය භාවිතය ආශ‍්‍රයෙන් ශරිරයට සිදුවන හානි පිළිබද කිසිවකුගේ අවධානයක් නොමැත.
දවස පුරා විවේකයක් නොමැතිව පරිගණකය භාවිතයෙන් Cervical Spondylosis නැමති රෝගී තත්වයට ගොදුරු වේ.මෙයින් සිදු වන්නේ බෙල්ල කොදුඇට පෙළ ගෙවී යාම බවයි ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය අංශයේ භෞතික චිකිත්සක නිළධාරී ඩබ්ලිව් ඒ ගුණරත්න පැවසන්නේ.
මෙම රෝගී තත්වය වැළදීම නිසාවෙන් පසු කාලීනව බෙල්ලෙන් පහළ ශරීරය සම්පපූර්ණයෙන් පණ නොමැති වීමේ අවධානමක් පවතින බවයි.ගුණරත්න පෙන්වා දෙනු ලබන්නේ.
“පරිගණකය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි.කලින් පරිගණකය භාවිතා කළත් දැන් මිනිස්සු මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.මේකෙන් සිද්ධවෙන අනිටු ප‍්‍රතිඵල මිනිස්සු දන්නවා.ඒත් ඒකෙන් මිදීමේ කැමැත්තක් නැහැ. ” ගුණරත්න පැවසීය.
වර්තමානයේ සයිබර් කැෆේ බොහෝ සෙයින් ව්‍යාප්තව ඇත.මේ කිසිදු ආයතනයක් තුළ හෝ නිසි ආකාරයෙන් පරිගණක ස්ථානගත කිරීමක් සිදු කර නොමැත.මේ නිසාවෙන් සිදුවන බලපෑම පිළිබද විද්‍යාත්මක විග‍්‍රහයක් කරන ගුණරත්න පවසන්නේ කොදු ඇට පෙළ ආශ‍්‍රයෙන් මෙම රෝගී තත්වය හට ගන්නා බවයි.
“ඔලූවේ තියෙන බර කොදු ඇට පෙළ හරහා සමානව බෙදී යනවා.බෙල්ල පහළට නමාගෙන ඉදිද්දී සිද්ධ වෙන්නේ කවාකාරව තියෙන කොදු ඇට පේළියේ ඒ හැඩය නැති වෙනවා.දීර්ළ කාලීනව පරිගණකය භාවිතා කරන අයව අ`දුන ගැනීමේ හැකියාවක් තියෙනවා.මොකද දීර්ඝකාලීනව බෙල්ල නවාගෙන ඉන්න නිසා සුසුම්නාව ගෙවීමක් සිදු වෙනවා.” ගුණරත්ව පැවසුවේය.
මෙම හේතුව නිසාවෙන් කොදු ඇට පෙළියේ උස ප‍්‍රමාණය අඩූ වී යන අතර මෙහි නරක ප‍්‍රතිපලය වන්නේ ස්නායු තෙරපුමක් ඇති වීමය.මේ නිසාවෙන් ඇ`ගිලි හිරි වැටීම හා ගෙල දෙපස වේදනාව ඇති වීම වැනි දේ ප‍්‍රාථමික රෝගීතත්වයන් ඇති වේ.
පසුව මෙම රෝගී තත්ත්වය බෙල්ල හැරවීමට නොහැකි වීම ක්ලාන්තගතිය ඇතිවීම යන පියවරයන් දෙක මුලින් ඇති වුවද පසු කාලය වන විට ශරීරය අප‍්‍රාණික වීම යන දරුණු තත්වයට පත්වේ.මුල් රෝගී අවස්ථාවන් දෙකේ දී නිසි ආකාරව ප‍්‍රතිකාර නොගතහොත් මෙම තත්වය බැ?රුම් විය හැකිය.
“මෙම තෙරපුම් නිසා සමහර විට ඇට මිදුලූ වල අලූතෙන් පුංචි ඇට මිදුලූ කොටසු ඇතිවෙන්න පුළුවන්ත ඒ ඇට මිදුලූ කොටස් බෙල්ල සුසුම්නාව තද කළොත් තමයි මේ පණ නැති වීම සිදු වන්නේ.අනිවාර්යෙන්ම ඒක සිද්ධ වෙනවා.මේ නිසා ඇවිද ගන්න අමාරු වෙනවා.හිටගෙන ඉන්න බැරි වෙනවා.” ගුණරත්න පැවසීය.
මෙයින් මිදීම සදහා හොදම මාර්ගය වන්නේ එක දිගට පැය භාගයක් වැඩ කර විනාඩි පහක් විවේකයක් බෙල්ලට ලබා දිය යුතුය.බෙල්ල දෙපස වේදනාවක් දැනෙන්නේ නම් කොරළයක් පැළදිය “Coller”යුතුය . තමන්ගේ ඇස් මටිටමෙන් පරිගණකය අසල වාඞී සිටියම හා නිවැරදි ලෙස වඞීවීම මගින්ද මෙම තත්ත්වයන් අවම කර ගත හැකි බවයි ගුණරත්න පෙන්වා දෙන්නේ.
මෙම Cervical Spondylosis රෝගී තත්ත්වයට විශේෂයෙන් වයස අවුරුදු හතළිස් පහ ඉක්ම වූ පුද්ගලයන් ගොදුරු වීමක් මුල් කාලයේ දක්නට ලැබුණද වර්තමානය වන විට වයස් භේදයකින් තොරව රෝගයේ වැළදීමට පටන් ගෙන ඇත.එයට හේතුව වී ඇත්තේ අනිසි ලෙස පරිගණකයට ඇබ්බැහි වී සිටීම බවයි ගුණරත්න පවසන්නේ.
පාසලේ ජංගම දුරකතන ඛේදවාචකය පිළිබද අන්තර්ජාල කතිකාව
School tragedy ignites web community
ජංගම දුරකතන පාසලට ගෙනයාම පිළිබද සිදුවීමක් නිසා ටයි පටියෙන් ගෙල සිරකරගෙන මියගිය කොළඹ මියුසියස් විද්‍යාලයේ නමය වසරේ ඉගෙනුම ලබමින් සිටි අනුත්තරා කාවින්දි ජයවර්ධන පිළිබදව මාධ්‍ය මගින් දිගින් දිගටම කතාකරන්නට විය. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙය කතාකරන්නට වූ නමුත් සාමාන්‍ය ජනතාවට ඒ පිළිබදව අදහස් දැක්වීමට තිබුණේ සීමිත අවස්ථාවකි.
නමුත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින චමත් රත්නසේකර වැනි දහස් ගණනක් දෙනාට මේ ගැන තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්නට අවශ්‍ය විය. එහෙත් ඔවුන්ට ඒ සදහා වේදිකාවක් සැකසුනේ නැත. මේ සිද්ධිය පිළිබදව තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට මහත් ඕනෑකමින් සිටි රත්නසේකරට ඒ අවස්ථාව හිමිවූයේ අන්තර්ජාලය නිසාය.
චමත් අන්තර්ජාලයේ ෆේස් බුක් වෙත නිතර ඇතුළුවී මිතුරු සමාගමේ යෙදෙන්නෙකි. මෙසේ සිය මිතුරන් සමග මිතු දම් පවත්වාගනිමින් සිටියදී අනුත්තරාගේ සියදිවි නසාගැනීම පිළිබදව ඔහුගේ අදහස් සමාජයට කීමට අවස්ථාව හිමිවූයේ ෆේස් බුක්හි අනුත්තරා වෙනුවෙන් කණ්ඩායමක් නිර්මාණය වී තිබීම නිසාය. අනුත්තරා අපට පාඩමක් ලබාදුන්නාය යනුවෙන් සදහන් ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වීම මගිනි.
‘‘මගේ මිතුරෙක් තමයි මේ කණ්ඩායමට එක්වෙන්න කියලා කියන ආරාධනාව එවලා තිබුනේ. මම මේ කණ්ඩායමට එකතුවුනේ මගේ අදහස් කියන්න අවස්ථාවක් ලැබෙන නිසා.’’ රත්නසේකර කීවේය.
කාවින්දි සිය දිවි නසාගැනීමට අන්තර්ජාල සමාජයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණි.
‘‘ෆේස් බුක් එකේ වගේම බ්ලොග්වලත් මේ පිළිබදව ලියා තිබුණා. ඒ වගේම ඊමේල් පණිවුඩයක් හරහා මේ සිදුවීම පිළිබදව කතාබහ කර තිබුණා.’’ ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන තරුණ සමාජය අතර ඉදිරියෙන්ම සිටින්නෙක් වන මලින්ත සමරකෝන් කීය.
කිසි දිනෙක ෆේස් බුක්හි සාමාජිකාවක් බවට පත් නොවූ කාවින්දි වෙනුවෙන් නිර්මාණය වූ ‘‘කාවින්දි අපට පාඩමක් කියාදුන්නාය’’ යන ෆේස් බුක් කණ්ඩායම ලංකාවේ තරුණ අන්තර්ජාල සමාජය අතර කතාබහට ලක්වන කණ්ඩායමක් බවට පත්ව තිබෙන්නේ සාමාජිකයින් දෙදහස් අටසියයකට අධික පිරිසකගේ එකතුවෙනි. එම කණ්ඩායමේ මුල් පිටුවේ තරුණ කොටස් විසින් ලියන ලද පෝස්ට් එකසිය අනූවකට අධික වෙයි. මෙම ෆේස් බුක් කණ්ඩායම නිර්මාණය කර තිබුනේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවෙකි.
මියුසියස් විද්‍යාලයේ සිසුවියන් මෙන්ම පාසල් යන වයසේ මෙන්ම අන්තර්ජාලය භාවිතා කරන තරුණ පිරිස් රැසක් මෙම කණ්ඩායමේ සාමාජිකයින් බවට පත්ව සිටී. කාවින්දිගේ සමකාලීන සිසුවියන් ෆේස් බුක් කණ්ඩායමේ නොයෙකුත් අදහස් පළකරන්න වූයේ ඇය පිළිබදව වන මතක සටහන් සමගින්ය. ‘‘ අපට ඔබ අහිමිවුනා…..’’ යනුවෙන් අනුත්තරාගේ පාසලේ මිතුරියන් මෙහි ලියා තිබුනේය.
‘‘ළමයි වැරදි කරනවා තමයි. ඒත් මුලින්ම ළමයා කළ වරද ළමයාට පහදලා දෙන්න ඕන. නැත්නම් ළමයි මානසිකව වැටෙනවා.’’ ෆේස් බුක්හි වොල් පේපර් එකක සිය අදහස් ලියමින් නුවන් මදුරංග කියා තිබුනේය.
‘‘මෙහි වගකීම සම්පූර්ණයෙන්ම ගුරුවරුන් වෙත පැවරෙනවා. ඔවුන් එහි වගකීම සම්පූර්ණයෙන්ම ගන්න ඕන.’’ අනුත්තරාගේ මරණය සම්බන්ධයෙන් වන වගකීම මියුසියස් විද්‍යාලයේ ගුරුවරුන් වෙත පවරමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවෙක් වන දුනිල ජයසූරිය ලියා තිබුණි.
මේ පිළිබදව වන වගකීම ගුරුවරුන් වෙත පවරමින් අයෙක් අදහස් පලකරද්දී තවත් අයෙක් ළමයා මෙහි වගකීම භාරගත යුතු බව පවසමින් අදහස් ඉදිරිපත් කළේය. තවත් අයෙක් පාසලේ ගුරුවරුන් අතින් කිසිදු වරදක් සිදු නොවූ බව පවසා තිබුණි.
‘‘මේ සිදුවීම ළමයාගේ වරදින් සිදුවූ දෙයක් කියන එක මට කියන්න ඕන වෙලා තිබුණා. මේ අදහස මම ෆේස් බුක් එකේ ලිව්වා.’’ රත්නසේකර සදහන් කළේය.
කවින්දි සිය දිවි නසාගැනීමෙන් පසුව පාසල් වෙත දුරකතන ගෙනඒම තහනම් කරනු ලැබීය. මෙහි බලපෑම පිළිබදව නොයෙකුත් අදහස් ෆේස් බුක්හි කවින්දිගේ පිටුවේ ලියා තිබුනේය. ‘‘අඩුම ගානේ අපේ ජංගම දුරකතනයවත් දැන් පාසල් ගෙනයන්න හැකියාවක් නැහැනේ.’’ කොළොන්නාව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශස්රිනා අබ්දුයි ෆේස් බුක් පිටුවේ ලියා තිබුණි.
පාසල් වෙලාවෙන් පසුව අමතර පන්ති පැවැත්වෙන නිසා ඒ පිළිබදව දෙමාපියන්ට දැනුම්දීමට ළමයි ජංගම දුරකතන පාසලට ගෙනයන බව ඇය කීවාය. මේ හේතුව නිසාවෙන් අනුත්තරා ජංගම දුරකතනයක් පාසලට ගෙනයන්නට ඇතැයි ඇය කියන්නීය.
කාවින්දි පාසලට ගෙනගිය ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශණ තිබූ බව මුලින්ම කියවුනේය. එහෙත් පසුව වන වාර්තාවන් වෙතින් කියවුනේ එහි අසභ්‍ය දර්ශණ නොතිබූ බවය.
ජාතික මාධ්‍යන්ගෙන් අනුත්තරා පිළිබදව වන කතාබහ ක‍්‍රමයෙන් අඩුවී යද්දී ඇගේ මවගේ යෙහෙළියක් ඊමේල් පණිවුඩයක් යවා මේ පිළිබදව ප‍්‍රශ්ණකර තිබුණි.
‘‘ඇය ළග තිබූ දුරකතනය ඇගේ එකක් නොව වෙන අයෙකුගේ එකක් බවත් එය එහි අසභ්‍ය පින්තූරහෝ එස්.එම්.එස් නොතිබූ බව පොලීසිය විසින් සොයාගැනීමෙන් පසුව දුරකතනයේ සැබෑ අයිතිකරුවා කවුදැයි පාසල හෙළි නොකරන්නේ ඇයි? එම ඊමේල් ලිපියෙන් ප‍්‍රශ්ණකර තිබුණි.
මෙම ඊමේල් පණිවුඩය එකිනෙකා අතර හුවමාරුවෙමින් දහස් ගණනක් දෙනාට කියවීමට අවස්ථාව ලැබුණි. ෆේස් බුක් ඊමේල් හරහා කවින්දි පිළිබදව කතා කළ ආකාරයටම බ්ලොග් ලියන්නන්ද මේ ගැන කතා කර තිබුණේය.
‘‘මට කලින් බ්ලොග් එකක කවින්දිගේ සිද්ධිය පිළිබදව ලියා තිබුනා. ඒක ලියලා තිබුනේ මේ ළමයා වැරදියි කියලා කියවෙන ආකාරයට. ළමයාගේ අතේ වැරද්දක් තියෙන්න පුළුවන්. එත් ගුරුවරු එය ප‍්‍රතිචාරය දක්වපු ආකාරය හරිද කියලා අහලා තමයි මම බ්ලොග් එකේ ලිව්වේ.’’ ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි බ්ලොග් අඩවියේ ජුලි තිස් එක්වැනිදා සටහනක් තැබූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රවීන් ඉන්ද්‍රනාම කීවේය.
2009 වසරේ ජනවාරි එකොළොස්වැනිදා ආරම්භ කළ ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි බ්ලෝග් අඩවියේ ලිපි එකසිය දාහතක් අතරින් වැඩිම දෙනෙක් කියවා තිබුනේ කවින්දි වෙනුවෙන් ලියූ ‘‘කවින්දි..මේ වෑයම ඔබට යුක්තිය ඉටුකරන්නයි’’ යන ලිපියටය. 268 දෙනෙක් එම ලිපිය කියවා තිබුණි.
‘‘මගේ ලිපිය සමහරු ඒ අයගේ ෆේස් බුක් එකේ වොල් එකේ පොස්ට් කරලා තිබුණා. තවත් අය ඊමේල් හරහා යවලා තිබුණා. ඒ නිසා තමයි මේකට වැඩිම ප‍්‍රතිචාරයක් ලැබුනේ.’’ ඉන්ද්‍රනාම කීවේය.
ෆේස් බුක් හරහා ප‍්‍රතිචාර දක්වන ලද අකාරයටම ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියට පිවිසි අය ඔහුගේ ලිපියට ප‍්‍රතිචාර දක්වා තිබුණි. මේ ලිපිය පිළිබදව ලංකාවේ අන්තර්ජාලය භාවිතාකරන තරුණ පිරිස් වෙතින් ලැබී ඇති ප‍්‍රතිචාරය පිළිබදව සතුටුවන බව හෙතෙම කීය.
‘‘මේ ලිපියට විරුද්ධව අදහස් දක්වලා තිබුනේ මියුසියස් විද්‍යාලයට සම්බන්ධ අය. මම ලියපු වෙනත් ලිපි වලට තර්ජනාත්මක අන්දමින් ප‍්‍රතිචාර ලැබී තිබුනත් මේ ලිපියට එවැනි ආකාරයේ ප‍්‍රතිචාර ලැබී තිබුනේ නැහැ.’’ ඔහු කීය.
කවින්දි පිළිබදව කොතෙකුත් සටහන් ප‍්‍රධාන ධාරාවේ මාධයන්ගේ කතාබහට ලක්වූ නමුත් සති කීපයක් යන විට ඒ පිළිබවද වන උනුසුම කෙමෙක් කෙමෙන් මැකී ගියේය.
‘‘කොළඹ මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක දිවි නසාගැනීමෙන් ගතවූ පළමු සතිය තුළ එය රටේත් මාධ්‍යවලත් ප‍්‍රධාන මාතෘකාවක් විය. දැන් ඉන් දෙවැනි සතිය ගතවෙමින් පවතින අතර එහි ඌශ්ණයද අඩුවෙමින් පවතින්නේයැයි කීම බොරු නොවේ. අපේ අත්දැකීම අනුව කිව හැක්කේ තව සතියක් දෙකක් ගතවන විට ඒ පිළිබදව වන කතාබහ බින්දුවට බසිනු ඇති බවය.’’ අගෝස්තු නම වැනිදා කර්තෘ වාක්‍යයෙන් ඉදිරිදා ලක්බිම පුවත්පත ප‍්‍රකාශ කර තිබුනේය.
කවින්දිගේ මරණයෙන් පසුව ඇතිවූ කතාබහට වේදිකාවක් සැපයීමටද ඔවුන් සූදානමින් සිටියේය.
‘‘අපි ලියනා දැයට විරුද්ධ අදහස් සමාජයේ ඇති බවද අපි දනිමු. අප අපෙග් අදහස් ගෙනහැර පාන්නාසේ එවැන්නන්ට සිය අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතියද අපි පිළිගනිමු. ඒ කවින්දිගේ මරණයෙන් මතු වූ කුදු මහත් ප‍්‍රශ්ණ ගැන පුළුල් කතිකාවක් ඇතිවිය යුතුයැයි අප සිතන නිසාය. ලක්බිම ඉරිදා සංග‍්‍රහය ඊට අවශ්‍ය වේදිකාව සපයන්නට සූදානම්ය.’’ එම කර්තෘ වාක්‍යයේ සදහන්ව තිබුණි.
සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ලීඩර් පුවත් පතද පිටු දෙකක් පුරාවට ලිපියක් ලියමින් මේ පිළිබදව කතාකර තිබුණි.
‘‘මෙම ලිපියට දුරකතන හා ලිපි මගින් ලැබුන ඇතැම් ප‍්‍රතිචාර හරිම අප‍්‍රසන්න ආකාරයේ ඒවා.’’ එම ලිපිය ලියූ සන්ඩේ ලීඩර් පුවත්පතේ රානී මොහොමඩ් අයි.පී.එස්. පුවත් සේවය වෙත කියා තිබුණාය.
ජාතික මාධ්‍යන් හරහා අදහස් පළකිරීමට හැකි පිරිස සීමිත වූ නමුත් අන්තර්ජාලය හරහා ලංකාවේ තරුණ සමාජයට මේ පිළිබදව කතිකාවක් ඇරඹීමට වැඩි අවස්ථාවක් හිමිවිය.
‘‘ෆෙස් බුක් එකේ බ්ලොග් එකේ ඕනම කෙනෙක්ට ඇවිත ලියන්න පුළුවන්. පත්තරවලට ලියන්න පුළුවන් පිරිස සීමිතයි. ඒත් මේ වගේ දේවල් (ෆේස් බුක් හා බ්ලොග්) නිසා තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට බොහෝ දෙනාට අවස්ථාව හිමිවෙලා තියෙනවා.’’ ඉන්ද්‍රනාම කීවේය.
අන්තර්ජාල සමාජය හරහා මෙවැනි කතාබහ ඇතිවීම සමාජයට දැනෙන බලපෑමක් එල්ලකර තිබෙන්නේයැයි රත්නසේකර කීවේය.
‘‘දැන් ෆේස් බුක් කණ්ඩායමේ දෙදාහකට වැඩි පිරිසක් ඉන්නවා. ලංකාවේ එක එක පළාත්වල අය තමයි මේකේ ඉන්නේ. ඒ ඒ පළාත්වල ඉන්න අය මේ සිද්ධිය පිළිබදව හිතන්නේ කොහොමද කියන එක මේ නිසා දැනගන්න පුළුවන් කම ලැබෙනවා.’’ ඔහු පැවසුවේය.
මෙම සිදුවීම අත්දැකීමක් කරගෙන අනාගතයට පාඩමක් ඉගෙන ගත යුතුයැයි ලංකාවේ අන්තර්ජාලය භාවිතාකරන තරුණ පිරිස් විශ්වාස කරන්නේය.
‘‘දැන් සිදුවූ දේ සිදුවුනා. මේක අත්දැකීමක් කරගෙන ඉස්සර බලාගෙන වැඩ කළ යුතුයි.’’ රත්නසේකර කියන්නේය.
The story of Anuththara Kavindi Jayawardena, who committed suicide after being accused of bringing a mobile phone to school, has become a hot topic on the internet even after mainstream media has ended reporting on the issue. While many internet groups and blogs aired views on the incident, the Facebook group, “Kavindi taught us a lesson,” has become the most spoken of topic due to the large number of members who have joined the group. The first page of the Facebook group carries over 190 posts made by youth and there are over 2,800 members in the group. The Facebook group was created by a student of Nalanda College. However, many of Kavindi’s school friends and other youth using the internet have left sentimental messages on the page. Kavindi’s story has also become the most read piece on the net. Her story carried by Praveen Indranama on his Cyber Sentiments blog had been read by 268 people.






