ජනාධිපතිවරණයේ පළමු වෙඩි මුරය

December 17, 2009 by Editor  
Filed under Featured, Stories

Election mainNominations close for Presidential Polls

ඉදිරි වසර හයේ ලංකාවේ ජනාධිපතිවරයා තොරාපත්කරගැනීම සදහා ජනවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තරගකරන අපේක්ෂකයින් විසි තුන්දෙනෙක් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිහානායක ඉදිරියේ සිය නාමයෝජනා දෙසැම්බර් 17 වැනිද උදෑසන භාරදුනේය. ඊට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඇතුළත් විය. මෙම නාමයොජනා අතරින් එක් අයෙකුගේ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප විය. ඒ අනුව ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම සදහා අපේක්ෂකියින් විසි දෙදෙනෙක් තරග බිමට අවතිර්ණ වී සිටී.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත්වන හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකා උදෑසන හතට පමණ නාම යෝජනා භාරදීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලටය පැමිණ සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ උදෑසන දහයට පමණ දැඩි ආරක්ෂක විධි විධාන සහිතව වාහනයේ සිටම සිය ආධාරකරුවන්ට ආචාර කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය.

ත‍්‍රීවිලය මැතිවරණ ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ක්‍යසූරිය සිය ආධාරකරුවන් සමග ත‍්‍රීරෝද රථයක නැගී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය. මේ අතරට‍්‍රැක්ටරය මැතිවරණ ලකුණ යටතේ තරග කරන ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා වන බත්තරමුල්ලේ සීලරතන හිමි ට‍්‍රැක්ටරයක නැගී නාමයෝජනා භාරදීමට පැමිණියේය. තමන්ගේ මැතිවරණ ලකුණ වන ත‍්‍රීරෝද රථයේ නැගී තමන් නාම යෝජනා භාරදීම සදහා පැමිණියේයැයි ජයසූරිය සදහන් කළේය. ගොවීන්ට වැදගත්වන වාහනයක් තමන්ගේ මැතිවරණ ලාංඡනය වශයෙන් ලැබී ඇති නිසා තමන් ට‍්‍රැක්ටරයක නැගී පැමිණියේයැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කීහ.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීම සදහා අපේක්ෂකයින් පැමිණෙන අවස්ථාව වන විට එම අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය පතා ජයගෝෂා කළහ. මැතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන ආධාර කරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණෙණ එක් මාර්ගයකට එක්ව සිටි අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වන ආධාර කරුවන් අනෙක් මාර්ගයට වී සිටියහ. ආධාර කරුවන් උදෑසනට අටයි තිහ පමණ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල මාර්ග ත්‍වත පැමිණ සිටියේය. මෙම මාර්ගවල වාහන ගමනාගමනය සීමා කර තිබූණි.

ජනාධිපති රාජපක්ෂට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාරකරුවන් සිය ගණනක් බස් රථවලින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටියේය. එම කාර්යාලය අසල ඇති මාර්ගයේ එක් මංතීරුවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන්ට සිටීමට අවසර ලබාදී තිබූ අතර අනික් මංතීරුව ජනාධිපතිවරයාට පැමිණීම සදහා වෙන්කර තිබුණි. ආධාකරකරුවන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයින් නොයෙකුත් සටන් පාඨ කියමින් ප‍්‍රීති ඝෝෂා නගන්නට වූහ.

‘‘රට මුදාගත් සිංහයාට -  ජයවේවා….. ආඩම්බරකාර තාත්තාට – ජයවේවා…….. ගරු ජනාධිපතිතුමාට – ජයවේවා’’ ආදී සටන් පාඨ කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් කෑගමින් සිටියහ. මේ අතර විවාදාපන්න චරිතයක් බවට පත්ව සිටින දකුණු පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පැමිණ ‘‘සමාගමට ජයවේවා….’’ යනුවෙන් කෑගසන්නට විය.

විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකාට සහාය දැක්වීමට පැමිණ සිටි ආධාර කරුවන් උදෑසන නමයට පමණ රාජගිරිය මංසන්ධිය දෙස සිට මැතිවරණ කොමසාරිස් කාර්යාලය දෙසට පැමිණියේය. හෙළ ජාතික අභිමානයේ ගීතය වාදනය කරමින් පොදු අපේක්ෂක ෆොන්සේකාගේ ආධාරකරුවන් පැමිණියේය. මොවුන්ගේ අත්වල ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලාසිටින පොස්ටර් විය. ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාර කරුවන් නාමයෝජනා භාරදීම අවසන් වන තෙක් එම ස්ථානයේ සිටියේය. මහා මාර්ගයේ තමන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි ෆොන්සේකාගේ ආධාරකරුවන් රබන් ගසමින් පැය ගණනාවක් තිස්සේ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජය ඝෝෂා නැගූහ.

දහවල් දොළහයි පහළොව පමණ විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාරදී සිය ආධාර කරුවන් හමුවීමට පැමිණියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් රැස්ව සිටි ස්ථානයේ සකස්කර තිබූ වේදිකාවකට පැමිණි රාජපක්ෂ සිය ආධාරකරුවන් ඇමතුවේය. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරිමෙන් පසුව රට හැදීමට එක්වන්නැයි ඔහු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ එක් අන්තයකින් සිය ආධාර කරුවන් හමුවට පැමිණියේය. තමන් පැමිණි වාහනයේ දොර විවෘතකළ ෆොන්සේකා එය මත නැගී පාක්ෂිකයින්ට ආචාර කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් තමන්ගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරතැයි විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇතැයි ෆොන්සේකාගේ ආධාර කරුවෝ විශ්වාස කරති.

‘‘අපිට කන්න බොන්න නැතත් වැටිලා ඉන්න රටක් ලබාදුන්නේ ජනාධිපතිතුමායි. ඉදිරියටත් එතුමාගේ අදහස් ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා ජග‍්‍රහණයක රවීමට අපි මෙතැනට පැමිණ සිටිනවා.’’ නුවර සිට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවෙක් වන රංජන පේ‍්‍රමරත්න කීවේය. තමන්ට කිසිදු පක්ෂයක් නැතත් රටට යහපතක් කරන නායකයා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන්නේයැයි ඔහු කීවේය.

විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සහාය ලබමින් හංසයා ලකුණ යටතේ තරගවදින ෆොන්සේකාගේ ආධාර කරුවන් විශ්වාස කරන්නේද පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරනු ඇති බවයි.

‘‘අද වෙනකොට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. බඩු මිල අහස උසට ගිහින්. මේ නිසා ලංකාවේම ජනතාව සරත් ෆොන්සේකා මීලග ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඉදිරිපත්ව සිටිනවා.’’ ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි රත්නපාල ද සිල්වා කීවේය.

රටේ තිබෙන ගැටලූවලට වත්මන් ජනාධිපතිවරයා ජග‍්‍රහණය කළහොත් විසදුම් ලැබෙතැයි ඔහුගේ ආධාර කරුවන් විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ ෆොන්සේකා බලයට පත්කිරීම මගින් සියලූම ගැටලූවලට විසදුම් ලබාගැනීමයි.

‘‘සරත් ෆොන්සේකා දිනුවොත් මේ රටේ තියෙන සියලූම ගැටලූවලට ඉක්මනින්ම විසදුමක් ලැබෙනවා.’’ සිල්වා සදහන් කළේය.

ෆොන්සේකාගේ අදහස්වලින් රටට යහපතක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටි මොහොමඞ් ඉල්ලියාස් කීවේය. ‘‘ෆොන්සේකා දරන අදහස්  මගින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන්.’’ මේ නිසා ජීවිතයේ පළමු වතාවට ෆොන්සේකාට සහාය දක්වමින් රැුළියට පැමිණෙන්නේයැයි කියූ ඉල්ලියාස් සදහන් කළේය.

දැනට බලයේ සිටින ජනාධිපතිවරයට නැවත වරක් බලයට ගෙනඒම තුළින් රටේ තිබෙන ආර්ථික ගැටලූවලට විසදුමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රෙමරත්න කීය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාර කරුවන්ද ෆොන්සේකා බලයට පත්කිරීම තුළින් බලාපොරොත්තුවන්නේ රටට යහපත් අනාගතයක් උදාකරලීමයි.

‘‘දරුවන්ට හොද අනාගතයක් ලබාදීම, දැන් තිබෙන දූණය නැවැත්විම, බඩු මිල පහළ දමා ජනතාවට සහනයක් ලබාදීම තමයි අපි අපේ අපේකෂ්කයා ජනාධිපතිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ.’’ ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෝස්ටරයක් ගෙන ප‍්‍රීති ඝෝෂා කරමින් සිටි කරු ද සිල්වා සදහන් කළේය.

Twenty three candidates handed in their nominations for the Presidential election to the Elections Commissioner on the 17th. One nomination was rejected by the Commissioner and 22 candidates would now contest the elections on January 26. Supporters of all the candidates stood in areas surrounding the Election Commissioner’s Department and the candidates joined them in the afternoon after handing their nominations.

  • Share/Bookmark

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

November 29, 2009 by Editor  
Filed under Featured, Stories

main fonseka

Fonseka confirms his candidacy

සති ගණනාවක් තිස්සේ ලංකාවේ ජනතාව තුළ තිබූ සැකය දුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණයට හංසයා ලකුණිනන් ඉදිරිපත් වන බව මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 29 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.

‘‘මම දේශපාලනයට පැමිණෙනවාදැයි බොහෝ දෙනා විමසුවා. එයට අද මම පිළිතුරක් ලබාදෙනවා. උත්තරය ඔව්. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මම මැතිවරණයට (ජනාධිපතිවරණයට) ඉදිරිපත් වනවා.’’ රටට සේවයක් කිරීම සදහා දේශපාලනයට පිවිසෙන බව ප‍්‍රකාශ කළ හිටුපු යුද හමුදාපතිවරයා කීවේය.

මේ වන විට රටේ මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවන බලපෑම රටේ වගකිව යුතු පුද්ගලයෙක් වශයෙන් බලා සිටිය නොහැකි වීම නිසා මේ ආකාරයට මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි හෙතෙම සදහන් කළේය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ෆොන්සේකාට විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ විසින් ඉල්ලීමක් කළේය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමත සිය පක්ෂය හා හිටපු යුද හමුදාපතිවරයා අතර එකගතාවයක් ඇතිවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නොවැම්බර් 17 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂය විසින් නොවැම්බර් 26 වැනිදා ප‍්‍රකාශ කළේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මේ ඉල්ලීම අනුව වික්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තමන් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසිකිරීමට කටයුතු කරන බවද ෆොන්සේකා කීවේය. ‘‘යුද්ධය අවසන් කිරීමෙන් පසුව රට ඒකාධිපතියෙකුට භාර දිය යුතු නැහැ. විධායක ජනාධිපතික‍්‍රමයට මුවාවී ඒකාධිපති පාලනයකට ඉඩ දිය යුතු නැහැ. පොදු ජනතාවගේ කර පිටින් ඇවිත් රටට වින කරන විධායක ජනාධිපතිවරයෙක් වීමට මට අවශ්‍ය නැහැ.’’ ෆොන්සේකා කීය. විධායක ජනාධිපතික‍්‍රමයෙන් රටට කිසිම ආකාරයෙන් යහපතක් නොවන්නේයැයි හෙතෙම කීවේය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමෙන් පසුව පාර්ලිමේන්තුවට බලය පැවරෙන ආකාරයේ ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට හිටපු යුද හමුදාපතිවරයා බලාපොරොත්තු වෙයි. ‘‘මහජනතාවට වගකියන බලය සහිත පාර්ලිමේන්තුවක් ඇතිකළ කරනවා.’’ ෆොන්සේකා සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය කළහොත් මේ වන විට ක‍්‍රියාත්මක නොවන දාහත්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාවට නංවන බව ෆොන්සේකා සදහන් කළේය. ඒ යටතේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමට පිවර ගැනීමට නියමිත අතර ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ඔහු බලාපොරොත්තු වෙයි.

‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන මේ තිබෙන ව්‍යවස්ථාව වෙනස් කරනවා.’’ හෙතෙම කීවේය.

පාර්ලිමේන්තුවට නියොජිතයින් පකරගැනීම සදහා පවත්වන සරල බහුතර නියෝජන ක‍්‍රමය යටතේ මේ වන තෙක් කිසිදු දේශපාලන පක්ෂයක් තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන නැත. එහෙත් මේ වන විට ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමතිවරු ඉදිරියේදී තමන්ට සහාය ලබාදීමට එකගතාවය පළකර තිබෙන බවද ෆොන්සේකා කීය. මෙසේ සහාය දැක්වීමට එකගතාවය පළකර තිබෙන අය පෞද්ගලික හේතු කාරණා නිසා එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකරන බවද හිටපු හමුදාපතිවරයා සදහන් කළේය.

දශක තුනකට ආසනන් කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසන් කරන අවස්ථාව වන විට ත‍්‍රිවිධ හමුදාවට අණ දීමේ බලය තිබූ විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වී සිටින්නේ අවසන් ගැටුම් පැවති කාලයේදී හමුදාවට අණ දුන් හමුදාපතිවරයාය. යුද්ධය අවසන් කිරීම පිළිබදව විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන අතර එම ජයග‍්‍රහණයෙන් කොටසක් ජනතාවට හමුදාවට හා දේශපාලන නායකත්වයට හිමිවන බව ෆොන්සේකා කියයි. තමන් යුද්ධ කළේ රට බේරාගැනීමට මිස එක් පවුලක සුබ සිද්ධිය සදහා නොවන බව ඔහු පැවසුවේය.

‘‘මේ ජයග‍්‍රහණය උදුරාගැනීමට හෝ ලබාගත් ජයග‍්‍රහණය මතින් වීරයෙක් හෝ රජෙක් වීමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ.’’ ෆොන්සේකා කීවේය. ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුටම යුද්ධය අවසන් කිරීම සදහා එකහා සමාන උනන්දුවක් තිබූ බවත් හමුදාමය අංශයේ පැවති දුර්වලතා නිසා යුදමය ජයග‍්‍රහණ ලබාගත නොහැකිවූ බවත්  හෙතෙම සදහන් කළේය.

මේ රටේ පැවති යුද්ධය ද්‍රවිඩ ජනතාවට එරෙහිව පැවති යුද්ධයක් නොවන බවත් ත‍්‍රස්තාවදය විනාශ කිරීම සදහා යුද්ධ කළ බවත් හිටපු හමුදාපතිවරයා කීවේය. යුද ගැටුම් අවසන් වන විට ලක්ෂ ගණනක් වූ සිවිල් වැසියන් අවතැන්වූවන් බවට පත්වූ අතර මෙම පිරිස් ආරක්ෂාකාරී අන්දමින් නැවත පදිංචි කළ යුතුව ඇතැයි ඔහු පැවසුවේය. මේ වන විට රජය විසින් නැවත පදිංචිකිරීම් කරගෙන යන අතර බිම් බෝම්බ ඉවත් නොකළ ප‍්‍රදේශවල මෙම ජනතාව නැවත පදිංචිකිරීමට රජය කටයුතු කරමින් සිටින්නේයැයි ෆොන්සේකා චෝදනා කළේය.

‘‘දැන් රජය දේශපාලන අරමුණු ඇතිව නැවත පදිංචි කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව නැවත පදිංචි කිරීම් කළ යුතුයි.’’ ෆොන්සේකා කීය.

සුළු ජාතීන්ට පමණක් නොව සියලූම ජාතීන්ට ආරක්ෂාවෙන් ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කරන බවද මේ සදහා කටයුතු කරන බවත් මෙම ක‍්‍රමවේදය ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයට එහා ගිය එකක් විය හැකි බවත් ෆොන්සේකා සදහන් කළේය.

බලයට පත්වීමෙන් පසුව යහ පාලනය ඇතිකිරීමට මෙන්ම රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටද හිටපු යුද හමුදාපතිවරයාා බලාපොරොත්තු වෙයි. ‘‘වෛරී මඩ ගසන දේශපාලනය හෙළා දකිනවා.’’

ලංකාවේ ඇති වාමාංශික දේශපාලන පක්ෂ මෙන්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂද පොදු අපේක්ෂකයාට සහාය දක්වයි. එහෙත් තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය දක්ෂිනාංශික පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව සකස්කරන බව ෆොන්සේකා කියයි.

‘‘මම තවත් යුද හමුදාපතිවරයෙකුට යුද්ධය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වුනා. ප‍්‍රභාකරන්ට තවත් වීර දින කතාවක් සිදුකිරීමට අවස්ථාව දෙන්නේ නැතැයි පොරොන්දු වුනා. මම පොරොන්දු ඉටුකරන පුද්ගලයෙක්. ඒ පොරොන්දු ඉටු කළ ලෙසට දැන් දෙන පොරොන්දුත් මම ඉටු කරනවා.’’ ෆොන්සේකා පැවසුවේය.

<!– @page { margin: 0.79in } P { margin-bottom: 0.08in } –>

Former Army Chief General Sarath Fonseka ended weeks of speculation on Sunday (29) by telling the media that he would enter politics and contest the Presidential election as the common candidate of the opposition political parties. Fonseka said his decision to enter politics was due to the threat on democracy and media freedom. He pledged to abolish the Executive Presidency six months after assuming office and to create a system where powers were vested with parliament.

The Elections Department has estimated a sum of Rs. 1,500 million to be the cost of the Presidential election. Accountant (Finance), Elections Department, E.A. Weerasena observes that the cost incurred for elections differ according to the election being held. Department statistics state that 14,088,500 persons are eligible to cast their votes at the forthcoming Presidential election.

  • Share/Bookmark

එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක

November 17, 2009 by Editor  
Filed under Featured, Stories

Jhon holms mainUN Humanitarian Chief in Colombo

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.

යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.

මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.

UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.

  • Share/Bookmark

සරත් ෆොන්සේකා ෆේස් බුක් වෙත පැමිණේ

November 16, 2009 by Editor  
Filed under Featured, Stories

FonsekaFonseka sets face book on fire

ලංකාවේ යුද හමුදාපතිවරයා වශයෙන් වසර තුනකට වැඩි කාලයක් සේවය කර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්ව විශ‍්‍රාම යන සරත් ෆොන්සේකා නොවැම්බර් 16 වැනිදා සිය හමුදා නිල ඇදුමට ආයුබෝවන් කීවේ සමාජයේ විශාල කතිකාවක් ඇතිකරමිනි. රටේ සිටින වැඩි දෙනෙකුගේ මාතෘකාව බටව පත්ව ඇත්තේ සරත් ෆොන්සේකා යන නමයි. ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයම උනුසුම්ව ඇත්තේද ඔහු නිසාය. ඒ හිටපු යුද හමුදාපතිවරයා පොදු අපේක්ෂකයා වශයෙන් නැවත දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන කාරණය නිසාය.

ෆොන්සේකා පිළිබදව සාමාන්‍ය සමාජයේ ඇතිව තිබෙන කතා බහ වැනිම උනුසුම් කතාබහක් මේ වන විට අන්තර්ජාල සමාජය තුළද ඇතිවෙමින් තිබේ. අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබදව වන උනුසුම් පුවත පළවන විට අන්තර්ජාලය භාවිතා කරන සාමාන්‍ය සමාජය තමන්ට අදහස් දැක්වීමට තිබන හොදම වේදිකාව ලෙසින් තෝරාගෙන තිබුනේ ෆේස් බුක් වෙබ් අඩවියයි. මේ වන විට ලංකාවේ ෆේස් බුක් සමාජය අතර උනුසුම්ම කතා බහ බවට පත්ව තිබෙන්නේ සරත් ෆොන්සේකාය.

ෆේස් බුක්හි පිටු හා කණ්ඩායමි දුසිම් ගණනින් නිර්මාණය වූසේ සරත් ෆොන්සේකා නමිනි. ඇතැම් පිටු හා කණ්ඩායම් කසිදු දේශපාලනික අරමුණක් නොමැතිව නිර්මාණය වී තිබේ. එහෙත් තවත් පිටු හා කණ්ඩායම් නිර්මාණය වී ඇත්තේ දේශපාලන කාරණා මුල් කරගනිමිනි. ‘‘සරත් ෆොන්සේකා – ශ‍්‍රී ලංකාවේ මීළග ජනාධිපති’’ ලෙසින් ෆේස් බුක් පිටුවක් නිර්මාණය වන විටදී  ‘‘සරත් ෆොන්සේකා -  එක්ස්ත ජාතික පක්ෂයට බලයට පත්වීමට බිලි බෝයි කෙනෙකු නොවේ’’ යනුවෙන් ෆේස් බුක් පිටු නිර්මාණය වී තිබුනේය. ‘‘සරත් ෆොන්සේකා දේශපාලඥයෙක් වශයෙන් දැකීම අපගේ කැමැත්ත නොවේ.’’ ‘‘මීළග ජනාධිපති සරත් ෆොන්සේකාද මහින්ද රාජපක්ෂද?’’ ‘‘අපි සරත් ෆොන්සේකාට කැමතියි.’’ යනාදී වශයෙන් කණ්ඩායම් නිර්මාණය වී තිබේ.

සරත් ෆොන්සේකා බිලි බෝයි කෙනෙක් බවට පත්ව අතැයි යන නමින් නිර්මාණය වී තිබෙන කණ්ඩායමට සාමාජිකයින් අටදහසක් සිටින විට මීළග ජනාධිපති සරත් ෆොන්සේකා යන කණ්ඩායමට සාමාජිකයින් දාහත්දහසක් එක්ව සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා යන නමින් නිර්මාණය වී තිබෙන ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකයින් දහතුන්දහසක් එක්ව සිටින්නේය. අපේ බලාපොරොත්තුව සරත් ෆොන්සේකා යන නමින් නිර්මාණය වී තිබූ කණ්ඩායමට සාමාජිකයින් එක්දහස් අටසීයක් එක්ව සිටී.

මේ ෆේස් බුක් කණ්ඩායම්වල මුල් පිටුවේ වෝල්හි (බිත්තියේ) කණ්ඩායමේ සිටින සාමාජිකයින්ගේ අදහස් දක්වා ඇත.

මේ අතර ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී අපේක්ෂකයින් ලබාගන්නා ඡන්ද ප‍්‍රතිශතය පිළිබදව විමසමින් ෆෙස් බුක් කණ්ඩායම් අතර ඡන්ද විමසීමක් සිදුවෙයි. ජනාධිපතිවරයා  සියයට හැත්තෑවක්ද විපක්ෂ නායකවරයා සියයට අටක්ද ෆොන්සේකා සියයට විසි දෙකක්ද ලබාගනු ඇතැයි ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් එම වාර්තාව කියා තිබුණි. පැය හතරකට පෙර සියයට විස්සක ප‍්‍රතිශතයේ සිටි ෆොන්සේකා පසුව සියයට විසි දෙක දක්වා සිය ප‍්‍රතිශතය ඉහළ නංවාගෙන තිබුනේය. මොහු ලබන ප‍්‍රතිශතය දිගින් දිගටම ඉහල යන බව එම පිටුවේ සටහනක් තැබූ අයෙක් කියා තිබුණි.

‘‘මම සරත් ෆොන්සේකාට කැමතියි. ඒ වගේම කලින් වීරයා බවට පත්වෙලා සිටි සරත් ෆොන්සේකා ද්‍රෝහියා කියලා කියන්න යනවා. ඒ නිසා තමයි මම මේ වගේ ෆේස්බුක් පිටුවක් හැදුවේ.’’ ෆොන්සේකා නමින් ෆේස් බුක් කණ්ඩායමක් සකස් කළ කැළුම් කීවේය.

ලංකාවේ සිටින අය පමණක් නොව විදේශ ගතව සිටින ලාංකිකයින පවා ෆොන්සේකා පිළිබදව ෆේස් බුක් පිටු ආරම්භ කර තිබේ. ඇතැම් අය මේ පිටු නිර්මාණය කර තිබුනේ ෆොන්සේකා දේශපාලයට පැමිණෙන බවට වන වාර්තා පළවීමත් සමගය. ෆොන්සේකාට කිසියම් අසාධාරණයක් වන බව තේරුම්ගිය නිසා ඒ පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් පිටුවක් නිර්මාණය කළේයැයි ඇමරිකා එක්සත් ජනපදයේ සිටිමින් ෆොන්සේකා පිළිබදව ෆෝස් බුක් පිටුවක් නිර්මාණය කළ ජනක අබේසිංහ සදහන් කළේය.

‘‘රට වෙනුවෙන් මෙච්චර කරපු මිනිහෙකුට වෙන දේ දැක්කම දුකයි. අපි හිතන්නේ ජෙනරාල් කොන් නොවිය යුතු බවයි.’’ හෙතෙම පැවසුවේය.

ෆොන්සේකා වෙනුවෙන් නිර්මාණය වී තිබෙන ෆේස් බුක් කණ්ඩායම්වටල එක්වූ අයගෙන් සමහරෙක් ඔහු මීළග ජනාධිපතිවරයා වනවා දැකීමට කැමති නැත. එහෙත් ඔහුට ආදරය කරන නිසාවෙන් සමහරුන් මේ කණ්ඩායම්වටල එක්ව සිටී.

‘‘මම සරත් ෆොන්සේකාට ආදරය කරන නිසා ඔහු වෙනුවෙන් නිර්මාණයවී තිබෙන පිටුවක සාමාජිකයෙක් වුනා. ඒත් සරත් ෆොන්සේකා මීළග ජනාධිපති විය යුතුයි කියන කණ්ඩායමේ සාමාජිකයෙක් වුනේ නැහැ. එය මම ප‍්‍රතික්ෂේප කරනවා.’’ සරත් ෆොන්සේකා යන ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකයෙක් වන යළිත් විජේසුරේන්ද්‍ර කීවේය.

‘‘ෆොන්සේකා මීළග ජනාධිපතිව වනවාට මම කැමතියි. ඒ නිසා තමයි මීළග මම ඔහුට සහාය දක්වන කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වුනේ.’’ ෆේස් බුක්හි සිටින නිරංජන් ජයවික‍්‍රම කීවේය.

තමන් එවැනි කණ්ඩායමක සාමාජිකයෙක් බවට පත්වූ විට තමන්ගේ මේ පිළිබදව දක්වන අදහස් සිය මිතුරන්ට දැක ගැනීමට හැකිවන බවත් මේ මිතුරන් ඒ ගැන දක්වන අදහස් ඔවුන්ගේ මිතුරන්ටත් දැකගැනීමට හැකියාව ලැබෙන බවත් විජේසුරේන්ද්‍ර කීවේය. ඒ අනුව ෆේස් බුක් සමාජයේ මේ පිලිබදව කතා බහක් ඇතිවන බව ඔහු පැවසුවේය.

‘‘මේ නිසා අපි දක්වන අදහස් ගහක අත්තක් වගේ පැතිරිලා යනවා.’’ විජේසුරේන්ද්‍ර කීය.

ෆේස් බුක් කණ්ඩායම්වල පමණක් නොව ඇතැම් අය තමන්ගේ පෞද්ගලික ෆේස් බුක් පිටුවේ පවා ෆොන්සේකා පිළිබදව කතා බහක් ආරම්භ කර තිබුනේය. ‘‘මහින්ද කෙනෙක් සිටියේ නැත්්නම් සරත් ෆොන්සේකා කෙනෙක් නැහැ…’’යනුවෙන් අයෙක් තමන්ගේ ෆේස් බුක් පිටුවේ ලියා තිබුනේය. ඊට ප‍්‍රතිචාර දැක්වූ ඔහුගේ මිතුරෙක් ලියා තිබුනේ ‘‘සරත් ෆොන්සේකා කෙනෙක් නොසිටියානම් මහින්දට යුද ජයක් නැහැ…’’ යනුවෙනි. ‘‘සියලූම ලාංකකියින් ජයග‍්‍රහණයට දායක වුනා…’’ මේ ප‍්‍රකාශයන්ට පිළිතුරු දුන් ඔවුන්ගේ තවත් මිතුරෙක් ෆේස් බුක් පිටුවේ ලියා තිබුණි.

ෆෙස් බුක්හි සිටින ඇතැම්අය මේ කණ්ඩායම්වල සාමාජිකයින් බවට පත්ව තිබුනේ කිසිම හේතුවක් නැතිවය.

‘‘මගේ යාළුවෝ මේ කණ්ඩායමේ සිටි නිසා මමත් සාමාජිකයෙක් බවට පත්වුනා. ඒත් සාමාජිකයෙක් බවට පත්වන්න කිසිම හේතුවක් තිබුනේ නැහැ.’’ ශම්මි එරන්ද කීවේය. එහෙත් මෙවැනි කණ්ඩායමක සමාජිකයින් වන්නේ දේශපාලනය හා ෆොන්සේකා පිළිබදව උනන්දුවක් දක්වන අය යැයි විජේසුරේන්ද්‍ර සදහන් කළේය.

එහෙත් ෆේස් බුක් භාවිතාකරන බොහෝ දෙනා තරුණයින් වන බැවින් ෆොන්සේකා පිළිබදව තරුණ මතය විමසීමට ෆේස් බුක් වැදගත්වී ඇතැයි ඉරෝෂ් මධුරංග පැවසුවේය. මේ වන විට තරුණ පරපුරට තීරණ ගැනීමට අවස්ථාවක් ලැබී නැති නමුත් ඉදිරියේදී තරුණ පරපුර හැසිරෙන ආකාරය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට මෙය වැදගත් වනු ඇතැයි ඔහු කීවේය.

‘‘ෆේස් බුක් එක හරහා අපි කරන දෙයින් කිසියම් බලපෑමක් වීමටත් පුළුවන්. ඒ වගේම නොවීමටත් පුළුවන්. ඒ බලපෑම නිශ්චිතව කියන්න බැහැ.’’විජේසුරේන්ද්‍ර පැවසීය.

The retiring of former Army Chief and Chief of Defence Staff General Sarath Fonsaka’s t on Monday (16) has sparked a massive discussion on the social networking site Facebook. Members have formed groups supporting as well as those opposing the former Army commander. Thousands of Facebook users both from within Sri Lanka and others living overseas have joined the groups, where the discussions reflect he general public’s reaction to the ensuing Fonseka saga.

  • Share/Bookmark

කැබිතිගොල්ලෑවේ වැසියන් ආරක්ෂක වැට පැනීමට සූදානමින්

November 9, 2009 by Editor  
Filed under Featured, Stories

KabithigollawaKabethigollawa waits to cross the ‘line’

කැබිතිගොල්ලෑව යන නම කියූ සැනින් ලංකාවේ සිටින  ඕනෑම අයෙක්ට මතක් වන්නේ කැබිතිගොල්ලෑවේදී පුපුරාගිය බස් බෝම්බයයි. පුද්ගලයින් 64 දෙනෙකුට මරු කැදවමින් 2006 වසරේ ජුනි 15 වැනිදා පුපුරාගිය බස් බෝම්බය සමගින් කැබිතිගොල්ලෑව ගමම බියෙන් ඇලලී ගියේය. කැබිතිගොල්ලෑව ගම් වාසීන් තමන්ගේ ගම් බිම් අතහැර තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචියට ගියේ මේ බිය ජනක තත්වය නිසාය. බස් බෝම්බය සමගින් කැබිතිගොල්ලෑව බියෙන් ඇලලීගියවුන්ගේ ගමක් බවට පත්වූවේය. රතිඤ්ඤා හඩටත් මේ ගමේ වැසියන් බියට පත්වන තත්වයක් උදාවුනේය.

ක්ලේමෝ බෝම්බය පුපුරායාමත් සමගින් කැබිතිගොල්ලෑව ගම වටා ආරක්ෂක වැටක් ඉදිවුනේය. ගම් වැසියන්ගේ නිවාස ආරක්ෂාවන පරිද්දෙන් මේ ආරක්ෂක වැට ඉදිවූ නමුත් ගම් වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබූ ගොවිතැන් කටයුතුව අඩපනවුනේය. ඒ ආරක්ෂක වැට ඉදිව තිබුනේ ගම්මුන්ගේ ඇතැම් කුඹුරුවලට මෙපිටින් වන නිසාය.

යුද්ධයේ උනුසුම පහව ගොස් රටම සාමාකාමී වන විට රටේ ජනතාවගේ ජීවනෝපායන් සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙයි. නමුත් තවමත් කැබිතිගොල්ලෑවේ ගම්මුන්ට තවමත් කුඹුරු ගොවිතැන් ආරම්භ කිරීමට අවස්ථාව ලැබී නොමැත්තේය. ඒ ආරක්ෂක වැටෙන් පිටතට ගොස් තමන්ගේ කුඹුරු වැඩ ආරම්භ කිරීමට ගැමියන්ට තවමත් අවසර නෙැමැති බැවිනි. මේ ආරක්ෂක වැට ගම්මුන් හදුන්වන්නේ ලයින් එක ලෙසින්ය.

‘‘ආරක්ෂක හේතු නිසා කුඹුරු කරන්න ලයින් එකෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. ගම ඇතුලේ  ඕනම දෙයක් කරන්න පුළුවන්.’’ යකා වැව ගමේ සමන්ත නිමල් පැවසුවේය.

කැබිතිගොල්ලෑවේ සිටින ගැමියන්ගේට දැන් එකම බලාපොරොත්තුවක් ඉතිරිව තිබේ. ඒ වෙන කිසිවක් නොවේ. ආරක්ෂක වැටෙන් එපිටින් පිහිටි තමන්ගේ කුඹුරු වෙත ගොස් ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමයි .තමන් දන්නා කියන කාලයේ සිට ජීවිතය රැුකගත් කුඹුරු ගොවිතැන් ආරම්භ කිරීමට කැබිතිගොල්ලෑවේ සිටින වැසියන් ඇගිළි ගනිමින් සිටී.

ආරක්ෂිත වැටට පිටින් කුඔුරු අක්කර සියයක් පමණ ඇතැයි ගම් වැසියෝ පවසති. ආරක්ෂක වැටට පිටින් ඇති කුඹුරු සදහා ජලය ලබාගන්නා වැව් තුනම මේ වන විට විනාශ වී ඇතැයිද ගම් වැසියෝ කියති.

කුඹුරත් සමගින සමීප සම්බන්ධතාවයක් ඇති මොවුන්ට නැවත වරක් කුඹුරට යාමට හැකියාව ලැබෙන්නේනම් එය තමන්ගේ ජීවිතය නැවත වරක් ආරම්භ කිරීමක් වැනියැයි ගම් වැසියෝ කියති.

‘‘මට ස්ථිර රස්සාවක් නැහැ. අපිට ලයින් එකෙන් පිටතට යන්න අවසර තියෙනවානම් අදේට හරි කුඹුරු වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුළුවන්.’’ නිමල් කීවේය. නිමල්ගේ බිරිදද කුලී වැඩකියන් මුදල් උපයාගන්නීය. ලයින් එකෙන් පිටත ඇති කුඹුරු අස්වැද්දීමට අවස්ථාව ලැබෙන්නේනම් කුලී වැඩ කිරීමෙන් උපයන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙන්නේයැයි ඔහු සදහන් කළේය.

මේ වන විට ආරක්ෂක වැටට පිටින් ඇති ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම් කටයුතු සිදුකර අවසන් නොමැති බැවින් ආරක්ෂක වැටට පිටින් ඇති කුඹුරු වෙත යාමට අවසර ලබාදී නැතැයි කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල පැවසුවේය.

‘‘මේ වන විට යකා වැවට ආසන්නයේ පිහිටි කණුගහ වැවේ බිම් බෝම්බ ඉවත් කිරීම් සිදුකරනවා. එහි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසුව යකා වැවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව ගොවිතැන් කිරීමට යාමට අවස්ථාව ලැබෙනවා.’’ කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

හෙට ගැන බලාපොරොත්තු තබා සිටින යකා වැවේ ගම්වාසීන් තවමත් ගමන් බිමන් යන්නේ ගමට ඇති එකම ලංගම බස් රථයෙනි. මේ බස් රථය දකින යකා වැවේ මිනිසුන්ට ඇතිවන්නේ හෙට දවස පිළිබදව වන බලාපොරොත්තුවක් නොව අතීතයේ අමිහිරි මතකයයි.

‘‘අපිට මේ බස් එක දකින හැම වෙලාවකම මකත් වෙන්නේ අපේ ගමේ මිනිස්සු හැට හතරදෙනෙක් මිය ගිය එකයි. යුද්ධය ඉවර වුනත් බස් එක දකින දකින වාරයකම ඒ දේවල් අපිට මතක් වෙනවා.’’ යකා වැවේ ඒ. කුසුමාවතී පැවසුවාය. මෙහි සිටින ගම් වැසියන් තවමත් සිටින්නේ බියටපත් සිතිනි. ගම ආසන්නයේ ඇති හමුදා කදවුරක බිම් බෝම්බ තොගයක් පුපුරවා හැරි ශබ්දයට ගමේ ඇතැම් ළමුන් බියට පත්විය.

බස් බෝම්බයෙන් පසුව යකා වැවට යන බස් රථයම වෙඩි නොවදින තහඩුවලින් ආවරණය කළේය. ලංකාවේ බෝහෝ තැන්වල තිබූ ආරක්ෂක මුර කපොලූ ඉවත් කරද්දී තවමත් යකා වැව ගමට යන බස් රථයේ සවිකර තිබූ වෙඩි නොවදින තහඩු ඉවත්කර නොමැත්තේය.

‘‘සෙනග ගොඩක් යන වෙලාවට බස් එක ඇතුළේ උස්ණය ඉවසන්න බැහැ. ජනෙල් දෙක තුනක් විතරක් ඇරගෙන යන නිසා බස් එක ඇතුළේ දාඩිය දානවා.’’ කුසුමාවතී කීවාය. බස් රථයේ සේවය කරන රියදුරු අසනීප වූ විට දින දෙක තුනක් එක දිගට බස් රථය ධාවනය වන්නේ නැත. පැරණි මතකයන් අමතක කිරීම සදහා ගමට අලූත් බසයක් ලබාදෙන්නැයි ගම්වැසියෝ ඉල්ලා සිටිති.

කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් පසුව අසරණවූ ගම් වැසියන්ට සහන සැලසීම සදහා අන්තර්ජාලයේ වෙබ් අඩවි පවා නිර්මාණය වූවේය. එසේ නමුත් මේ වන විටත් කිසිදු පිළිසරණක් නොලැබුණු ගම් වැසියන් කැබිතිගොල්ලෑවේ සිටී.

‘‘බෝම්බයෙන් හැම දෙයක්ම නැතිවුනේ අපට. ඒ දවස්වල පත්තරවල පිටු පිරවුනේ අපි නිසා. අපේ මැරුණු මිනිසුන් නිසා. අපේ තුවාල නිසා. ඒත් අද අපි ගැන හොයන්න කිසිම කෙනෙක් නැහැ.’’ බස් බෝම්බයට හසුව තුවාල ලැබූ නිමල් කීවේය.

බස් බෝම්බයෙන් පසුව තාවකාලිකව ගම හැරගිය යකා වැවේ ගම්වාසීන් බොහෝ දෙනෙක් නැවත පැමිණෙන විට ඔවුන්ගේ ගෙවල් දොරවල් විනාශවී තිබුණි.

‘‘බෝම්බයෙන් පසුව කදවුරේ ඉදලා ආපසු එන විට අපේ ගෙවල් කඩා වැටිලා තිබුණා. අපිට තවමත් ස්ථිර නිවාස නැහැ. තවමත් ඉන්නේ මැටි පැල්පත්වල.’’ පෙර පාසල් ගුරුවරියක් වන නාමලී රේණුකා කීවාය.

ගෙවල් විනාශ වූ ඇතැම් අය පැල්පත්වල සිටිද්දී තවත් අය සිටින්නේ තමන්ගේ ඥාති හිත මිතුරන්ගේ ගෙවල් වලය. මොවුන්ගෙන් ඇතැම් අයට වන්දි මුදල් හිමිවුවත් සමහරුන්ට වන්දි මුදල් පවා හිමිව නැත.

කැබිතිගොල්ලෑවේ ගම් වැසියන්ට දැන් අවශ්‍යව ඇත්තේ වෙන කිසිවක් නොවේ. ගමේ ඇති කුඹුරු නැවත වගාකිරීමට අවස්ථාව ලබාගැනීම හා ගමට ජලය ලබාගැනීමය.

‘‘අපේ කුඹුරු ටික වගා කරගෙන ගෙවල් දොරවල් නැවත හදාගෙන ජීවත් වෙන්න උදව් කරනවානම් අපිට වෙන කිසිවක්  ඕන වෙන්නේ නැහැ.’’ කුසුමාවතී සදහන් කළාය.

The lives of the people in Kabethigollawa are yet to return to normal after the war. Kabethigollawa came into the lime light with the June 15, 2006 bus bomb explosion that killed 64 persons from villages in the area. Following the claymore attack a security fence wascbuilt around the villages in Kabethigollawa. However, this fence or ‘line’ posed an obstacle to many villagers as it prevented then from getting to the fields that lay outside the line. Over 100 acres of paddy land are situated beyond the line. Authorities say that villagers will be able to cultivate in those areas once the area has been cleared of mines. Meanwhile, families that left the area following the attack are now returning home to begin from where they left off.

  • Share/Bookmark

සරත් ෆොන්සේකා ගෙන්වාගැනීම තානාපති අංශ ලැබූ ජයක් – විදේශ ඇමති

November 5, 2009 by Editor  
Filed under Featured, Stories

Rohitha BogollagamaSarath Fonseka return, a deplomatic victory – FM

හිටපු යුද හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකා සූදානම් වී සිටි ආකාරයට ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කිරීම ලංකාවේ තානාපති අංශ ලබාඇති ජයක් බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසුවේය.

ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබදව මූලාශ‍්‍රයක් වීම සදහා සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙන ලෙස ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ සම්මුඛ සාකච්ඡාව ලබාදීමට ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා සූදානමින් සිටි බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 5 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී බෝගොල්ලාගම කීවේය.

සම්මුඛ සාකච්ඡාව ලබානොදුන් ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා නොවැම්බර් 4 වැනිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 10 ට පමණ ලංකාවට පැමිණීමට පිටත්වූ බවද බෝගොල්ලාගම සදහන් කළේය. රාජ්‍යතාන්ත‍්‍රික ආකාරයෙන් කටයුතු කරමින් ෆොන්සේකා නැවත ලංකාවට ගෙන්වාගැනීමට හැකියාව ලැබුණ බවද හෙතෙම සදහන් කීය.

‘‘මෙය අපි ලබපු ජයග‍්‍රහණයක් නොවෙයි. තානාපති අංශයේ ජයග‍්‍රහණ නැහැ. තිබෙන්නේ සාර්ථක වීම්. ඒ අනුව මෙය ලංකාව තානාපති අංශයෙන් ලබාගත් සාර්ථකත්වයක්.’’ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාට සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදී නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු යෙදීම සදහා දැක්වූ සහාය වෙනුවෙන් නොවැම්බර් 4 වැනිදා නිවේදනයක් නිකුත්කරමින් ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ස්තුතිය පළකර තිබුනේය.

‘‘මේ සිද්ධියේදී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හා ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැක්වූ සහායට මාගේ ස්තුතිය පුදකරනවා.’’ ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා කීවේය.

ඇමරිකාවේ සංචාරයක නිරතවෙමින් සිටින අවස්ථාවේදී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබදව මූලාශ‍්‍ර ලබාගැනීම සදහා ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා තිබුනේය. නොවැම්බර් 4 වැනිදා ලංකාවේ වේලාවෙන් සවස තුනට මෙම සම්මුඛ සාකච්ඡාව ලබාදෙන ලෙස ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ෆොන්සේකාට දන්වා තිබුනේය.

‘‘ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා විසින් මේ බව සෘජුවම ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබුණා.’’ විදේශ කටයුතු අමාත්‍යවරයා කීවේය.

සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කිරීමත් සමග ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය උනුසුම් මුහුණුවරක් ගත්තේය. මෙම සම්මුඛ සාකච්ඡුාව ලබාදෙන ලෙස කළ ඉල්ලීමෙන් පසුව ආණ්ඩුව කලබලකාරී අන්දමින් හැසිරීම සැක සහිතයැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පැවසුවේය.

‘‘විපක්ෂයට මේවාට නොයෙකුත් අර්ථකථන ලබාදිය හැකියි. නමුත් අපි රාජ්‍යතාන්ත‍්‍රික ආකාරයෙන් ගැටලූ නිරාකරණය කළා.’’ විදේශ කටයුතු අමාත්‍යවරයා කීවේය.

මෙම සම්මුඛ පරීක්ෂණය ලබාදීම පිළිබදව සාකච්ඡා කිරිම සදහා ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් නොවැම්බර් 2 වැනිද සදුදා දිනයේදී පවත්වා තිබුනේය. ආරක්ෂක මාණ්ඩලික පධානියා වශයෙන් සරත් ෆොන්සේකා ලබා ඇති තොරතුරු වරප‍්‍රසාදිත තත්වයක් යටතේ ලබාඇති තොරතුරු වන බැවින් ලංකාවේ බලධාරීන්ගේ අවසරයකින් තොරව තොරතුරු තුන්වන පාර්ශවටයට ලබාදිය නොැහකි බවද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා දන්වා තිබුනේය.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඇමරිකානු බලධාරීන් විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප‍්‍රශ්ණකිරීමක් කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 5 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

‘‘ආරක්ෂක ලේකම්රයාගෙන් ප‍්‍රශ්ණ කිරීම හා සරත් ෆොන්සේකාගෙන් ප‍්‍රශ්ණ කිරීම අතර කිසිම සම්බන්ධයක් නැහැ.’’ බොගොල්ලාගම කීය.

සරත් ෆොන්සේකා ඇමරිකාවේ ග‍්‍රීන් කාඞ් හිමිකරුවෙක් වෙයි. ලංකාවේ පුරවැසිභාවයට අමතරව වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම පිළිබදව බෝගොල්ලාගම මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූවේය.

‘‘වෙනත් රටත පුරවැසිභාවය ලැබීමේදී තමන් දරන නිලය අනුව ගැටුමක් ඇතිවෙනවානම් ගැටුම් විසදෙන ආකාරයෙන් කටයුතු කළ යුතුයි.’’ බෝගොල්ලාගම කීවේය.

  • Share/Bookmark

යළි පිබිදෙන පාසිකුඩා

October 20, 2009 by Editor  
Filed under Featured, Stories

PasikkudaPassikudah revival

යුද්ධය නිමා වීමත් සමග   උතුරු නැගෙනහිර සංචාරක කර්මාන්තය සීග‍්‍රයෙන් වර්ධනය වීමට පටන් ගෙන ඇත. යුද්ධය නිසා මින් පෙර උතුරට නැගෙනහිරට යාමට අවස්ථාවක් නොලත් බොහෝ දේශීය සංචාරකයන් දැන් දැන් සැකෙන් බියෙන් තොරව උතුරට නැගෙනහිරට ඒමට ගමන් ආරම්භ කොට තිබේ. උපන්තේකට නැගෙනහිරට නොපැමිණියන්ට දැන් වඩාත් සහනදායී හැගීමෙන් නැගෙනහිර සංචාරය කළ හැකිය.

නැගනහිරට පැමිණෙන සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැද තබා ගැනීමට සමත් ස්ථානයක් ලෙස පාසිකුඩා වෙරළ හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සුන්දරම වෙරළ තීරයක් වන පාසිකුඩා වෙරළ  ඕටමාවඩි නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් පිහිටා තිබේ. විශේෂයෙන් සුනාමිය පැමිණීමට පෙර පාසිකුඩා වෙරළ සංචාරක පාරාදීසයක්ව පැවතුණි. එහෙත් යුද බිය හා සුනාමි ව්‍යසනය හේතුවෙන් පසුගිය කාලසීමාවේදී පාසිකුඩා ප‍්‍රදේශය ජන ශූන්‍ය වූවද මේ වන විට නැවතත් ජනාකීර්ණ වෙමින් පවතී.

‘‘ සති අන්තයේදී නම් පන්දාහත් දහදාහත් අතර සංචාරක පිරිසක් පාසිකුඩා වෙරළට එනවා. සති මැද දවස් වලට දාහත් දෙදාහත් අතර සෙනගක් එනවා. තව ඉදිරියට මේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වෙයි.’’ පාසිකුඩා වෙරළ සමීපයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් වන සදානන්දන් පැවසුවේය. සුනාමි ව්‍යසනයෙන් පසුව පාසිකුඩාහි මුල්ම සංචාරක හෝටලය පිහිටුවූයේ සදානන්දන් විසිනි. ඒ ආනන්ද් ක‍්‍රිෂෝර් හෝටලයයි.

‘‘ සතියේ දවස් වලට වඩා සති අන්තේ බිස්නස් ගොඩක් හොදයි.’’ සදානන්දන් පවසුවේය. පාසිකුඩාහි නව සංචාරක නවාතැන්පොළවල් කිහිපයක්ම ඉදිවෙමින් පවතී.

මේ වන විට සතියේ දිනවල හා සති අන්තයේ දී පාසිකුඩා වෙරළ     සංචාරකයන්ගෙන් පිරී ඇත. රටේ සෙසු පළාත් වලින් සේම නැගෙනහිර වැසියන්ද පාසිකුඩා වෙරළේ සුන්දරත්වය විදිනු දැකිය හැකිය.

‘‘ මම ඉන්නෙ කාන්තන්කුඩි වල. අපි මෙච්චර ලග පාතක වෙලත් මම මීට කළින් පාසිකුඩා ඇවිත් තිබුණෙ එක පාරයි. මේ දෙවෙනි දවස. යුද්දෙ තිබුණ කාළේ අපේ ගෙවල් වලින් අපිට එළියට යන්න දුන්නෙ නැහැ. දැන් නම් බයක නැතිව මෙහෙ හැම තැනම අපිට ඇවිදින්න යන්න පුළුවන්.’’ විසි හැවිදිරි මොහොමඩ් අසාර් පැවසුවේය. අසාර් පාසිකුඩා වෙරළට පැමිණ සිටියේ ඔහුගේ පවුලේ සමාජිකයන් සමගය. අසාර්ගේ නැගෙණිය වූ ඇස්කි පාතිමා පාසිකුඩා පැමිණ තිබුණේ පළමුවතාවටය.

‘‘ මම කාන්තන්කුඩිවලින් වලින් එපිටට මීට කළින් කවදාවත් ගිහින් තිබුණේ නැහැ. පාසිකුඩා ගමන මට හරි විනෝදයි.මුහුදෙ නාන්නත් ඉඩ ලැබුණා. ගොඩාක් සන්තෝෂයි.’’ ඇස්කි පැවසුවාය.

සංචාරකයන්ගේ පැමිණීමත් සමග පාසිකුඩා වෙරෙළේ නව රැකියා අවස්ථාවන්ද උත්පාදනය වී තිබේ. වෙරළට පැමිණෙන සංචාරකයන් පාසිකුඩා මුහුදේ වටයක් රැගෙන යාම සදහා බෝට්ටු සේවයක්ද ආරම්භ වී තිබේ.

‘‘බෝට්ටුවෙන් වටයක් රුගෙන යන්න අපි රුපියල් පන්සීයක් අය කරනවා. විනාඩි හතළිස් පහක් විතර අපි මගීන්ව මුහුදේ එක්කරගෙන යනවා. එක පාරකට අට දෙනෙක් මේ බෝට්ටුවෙන් අරගෙන යන්න පුළුවන්.’’ බෝට්ටු පදවන්නෙකු වූ විසිහත් හැවිරිදි කුනම් පැවසුවේය. ඔහු බෝට්ටුපදවන්නෙකු ලෙස සේවයට පැමිණ මාසයකි. දිනකට රුපියල් හත්දහසක් පමණ ඉපැයිය හැකි බව කුනම් කීවේය.

‘‘ දැන් මෙහෙ තත්ත්වෙ හොද නිසා මේ පැත්තට මිනිස්සු එනවා. ඉස්සරහට මීටත් වඩා සෙනගක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට නම් බිස්නස් සරුයි.’’ කුනම් පැවසුවේය. කුනම් මඩකලපු වැසියෙකි. මීට පෙර රැකියා දෙක තුනක නියැළුන ඔහුට හරියන රස්සාව බෝට්ටු පැදවීම බව කුනම් පවසන්නේය.

‘‘ අපි මීට කළින් වැලිකන්දෙන් මෙහාට ඇවිත් නෑ. දැන් යුද්දෙ ඉවර නිසා බයක් නැහැ. අපේ දරුවන්ට දැන් රට තොට පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අනෙක් අතට අපිට මෙහෙ ඉන්න වැසියොත් එක්ක සම්බන්ධකම් ගොඩනගා ගන්න පුළුවන්. මීට කලින් එහෙම අවස්ථාවක් අපිට ලැබිලා නැහැ.’’ නුවරගල සමෘද්ධි බැංකු කළමණාකරු හේරත් බණ්ඩා ප‍්‍රකාශ කරයි. ඔහු සිය කාර්යමණ්ඩලයද කැටිව පාසිකුඩා සංචාරයකට පැමිණ සිටියේය.

‘‘ පහුගිය කාලේ අපි ඉස්කෝලෙ ගියෙත් ගොඩක් බයෙන්. අපි ජීවත් වුනේ ටැම්පිටිය කියන මායිම් ගම්මානයේ. එල් ටී ටී ඊ එකෙන් කරදර වෙයි කියළා අපි ගොඩක් බයෙන් හිටියෙ. දැන් නම් බයක් නෑ. ඒ හින්දා තමයි අපි පාසිකුඩා ආවේත්. ඉස්කෝලෙන් ටි‍්‍රප් එකක් ආවේ.’’ ටැම්පිටිය මධ්‍යම මහා විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන එච් එම් උදේශිකා දිල්රුක්ෂි පැවසුවාය. ඇයගේ මිතුරිය වූ ශසිකා සමග අත්වැල් බැදගෙන වෙරළේ කෙළිදෙළෙන් පසුවූයේ මහත් ප‍්‍රීතියෙනි.

යුද්ධය සහ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව පාසිකුඩා අතහැර ගිය බොහෝ වැසියන් පදිංචියට නැවතත් පාසිකුඩා වෙත පැමිණ තිබේ. විශේෂයෙන් දකුණේ වැසියන්ද මෙහි පදිංචියට පැමිණීමට සූදානම් බව හෝටල් සේවකයෙකු වූ රාසපති පවසුවේය.

‘‘ සුනාමිය එන්න කළින් මෙහෙ ගොඩක් සිංහල කට්ටියත් හිටියා. හැමෝම ගොඩක් සමගියෙන් හිටියෙ. ඒ ඇවිත් හිටිය ගොඩක්දෙනා මුහුදු රස්සාවට කරේ. සිංහල පිරිමි දෙමළ කාන්තාවන් සමග විවාහ වුනා. ඉඩම් අරගෙන මෙහෙ පදිංචි වුනා. සුනාමිය ආවට පස්සෙ ඒ හැමෝම වගේ ආපහු ගමට ගියා. දැන් ආයෙමත් ඒ අය මෙහෙට ඒවි. ඒක අපිට ලොකු සන්තෝෂයක්.’’ රාසපති පැවසුවේය.

නැගෙනහිර සංවර්ධනය ඇරඹී තිබේ. එය වඩාත් කඞ්නම් කිරීමට සංචාරක කර්මාන්තය මහත් පිටුවහලක් වනු නොඅනුමානය. දේශීය සංචාරකයන් සේම විදේශීය සංචාරකයන්ගේද විශේෂ අවධානය පාසිකුඩා වෙරළට නිතැතින්ම යොමු වනු ඇත. එබැවින් සුන්දර පාසිකුඩා වෙරළ තීරය නුදුරු අනාගතයේ නැගෙනහිරට කප් රුකක් සේ වනු ඇත.

The end of the war has brought about the revival of one of the most scenic beaches in the country, Pasikudah. Located two kilometers away from the Eastern city of Ottamavadi, Pasikudah has now become a popular attraction among foreign and local visitors. The beach that endured the ravages of war and a tsunami now attracts between 5,000-10,000 visitors during weekends. The local and foreign visitors to the beach have helped increase businesses connected with the tourism sector. In fact, the booming tourism sector in Pasikudah is expected to help revive the Eastern Province, which is currently undergoing a development phase. Many former residents of Pasikudah who fled the area during the war and after the tsunami are now returning to the area as well.

  • Share/Bookmark

ජෂින්දාගේ සිහිනය

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

new 1Jashindhra’s drea

ත‍්‍රිකුණාමලය සල්ලි සාම්බල් ප‍්‍රදේශයේ උපන් දේවන්ද්‍ර රාජා ජෂින්දා රානි කුඩා කල පටන්ම අධ්‍යාපන කටයුතු කෙරෙහි දැක්වූයේ නොමද දක්ෂතාවයකි. මේ නිසාම ජෂින්දාගේ මාපියන් ආය කුඩා කාලයේදීම යාපය මානිපායහි පිහිටි ඇයගේ පියාගේ මහ ගෙදර නවතා යාපනයේ පිහිටි ප‍්‍රමාඛ පෙලේ පාසලක් වන සිදම්බරම් විද්‍යාලයෙට ඇතුළත් කළේ තම එකම දියණියට  හොද අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. කෙසේ වෙතත් පාසල් නිවාඩුව ලද විගසම ජෂින්ද්‍රාගේ මාපියන් යාපනය වෙත ගොස් ඇය ත‍්‍රිකුණාමලයේ පිහිටි නිවසට ගෙන ඒමට අමතක නොකරති.

වෘත්තියෙන් ධීවර කාර්මිකයෙක් වන ජෂින්දාගේ පියා වන දේවේන්ද්‍රරාසාගේ එකම බලාපොරොත්තුව වූයේ තම දියණියට හොද අධ්‍යාපන තත්වයක් ලබාදී ඇය සමාජයේ ඉහළ ස්ථානයට ගෙන ඒමයි.  මේ නිසාම කොතරම් ආරථික අපහසුතා තිබුණද ජෂින්දාගේ අධ්‍යාපනයට එම අපහසුතා බාධයකයන් නොකිරීමට ඇගේ මාපියන් හැම විටම වගබලාගත්හ.

2006 වසරේ අවසන් පාසල් නිවාඩුවට ත‍්‍රිකුණාමලට ඒමට පිටත්වූ ඇය ඇතුළු පවුලේ උදවියට අනපේක්ෂිත ලෙස කිළිනොච්චියේ නවතින්නට සිදුවන්නේ හදිසියේම ඒ 9 මාර්ගය වසා දැමීම නිසාය. මේ සමගම කිසිවක් කරකියාගත නොහැකිවූ ජෂින්දාගේ පියා කිළිනොච්චියෙන් නිවසක් කුලීයට ගෙන සිය පවුල සමග එහි තාවකාලිව නවාතැන්ගැනීමට සිදුවිය. මේ වන විට මෙම ප‍්‍රදේශ පැවතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනය යටතේය.

පාසල් නිවාඩුවට ත‍්‍රිකුනාමලට ඒමට පැමිණි ජෂින්ද්‍රාට කිළිනොච්චි මධ්‍යමහා විද්‍යාලයට ඇතුළුවීමට සිදුවිය

‘‘මම එල්.ටී.ටී.ඊ. සංවිධායනයට ගිහින් කිව්වා දුව යාපනයේ ඉස්කොලේ යන්නේ. ගෙවල් තියෙන්නේ ත‍්‍රිකුණාමලයේ. අපිට නැතත් ඉස්කෝලේ යන මගේ දුවට විතරක් ආපසු යාපනයට යන්න දෙන්න කියලා. නමුත් කොටි අපේ ඉල්ලීම් සතටයකටවත් ගණන් ගත්තේ නැහැ. මම කුලී වැඩක් කරලා තමයි දරු පවුල අමාරුවෙන් ජීවත් කළේ.’’ දේවේන්ද්‍රරාසා පැවසුවේය.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගිය ජෂීන්දා පළමු වරට අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටියේ 2006 වසරේදීය. එහිදී ඇයට සරසවි වරම් අහිමිවන්නේ ඉතා සුළු ලකුණු සංඛ්‍යාවකිනි. ඉන් පසුබට නොවූ ජෂීන්ද්‍රා දෙවන වරටද උසස්පෙළ විභාගයට පෙනී සිටියේ සරසරවි වරම් ලැබීමේ අරමුනෙනි. ඇය විභාගයට පෙනී සිට වැඩි කලක් ගතවීමට මත්තෙන් කොටි සංවිධානය හා ආරක්ෂක අංශ අතර සටන් ඇවිල ගියේ වන්නිය එකම යුද බිමක් බවට පත්කරමිනි. දෙපාර්ශවය අතර සටන් ඇවිලයාමත් සමග ජෂීන්දාගේ පවුලේ අයටත් එහි උණුසුම දැඩිව දැනෙන්නට විය.

2009 මාර්තු මාසය වන විට ජෂීන්දා ඇතුළු පවුලේ සියලූදෙනා සිටියේ රජය විසින් නම්කරන ලද යුද මුක්ත කලාපයේ පිහිටුවා තිබූ අවතැන් කදවුරකය. ජෂින්දාගේ ජීවිතය අවසානාවන්තම දිනය උදාවන්නේ මෙහිදීය.

‘‘රජය විසින් යුද මුක්ත කලාපයක් හැටියට නම් කරලා තිබ්බත් කොටි කදවුර ඇතුලේ ඉදලා හමුදාවට ෂෙල් ගහන්න ගත්තා. ඊට පස්සේ දෙපැත්තම ගහ ගත්තා. අපිට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ඒ වෙලාවේ තමයි ෂෙල් එකක් වැඩිලා මගේ කකුල තුවාල වුණේ. හරියට බෙහෙත් කරගන්න බැරිවුන නිසා මගේ කකුල කපන්න සිදුවුනා. කකුල කපපු දවසේ මගේ ජීවිතයම නැතිවුනා කියලා හිතුනා.’’ජෂින්දා සිය අත්දැකීම් පවසන්නේ කදුළු අතරින් සිනා සෙමිනි.

කෙසේ වෙතත් හමුදාව නන්දිකඩාල් කලපුව ඔස්සේ සිවිල් වැසියන් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමේන් පසු ජෂින්ද්‍රාගේ පවුලේ උදවියද කොටි වෙඩි ප‍්‍රහාර මධ්‍යයේ හමුදාව සිටි ප‍්‍රදේශයට පළා ඒමට සමත්විය. අනතුරු ව ඔවුන්ගේ නිවහන වූයේ වව්නියාව සෙට්ටිකුලම පිහිටි සුභසාධන මධ්‍යස්ථානයයි.

ජෂින්දාට තමන් පෙනී සිටි උසස්පෙළ විභාගය සමත්ව සරසවි වරම් ලබාඇති බව දැනගැනීමට හැකිවන්නේ එම කදවුරේ සිටියදීය. ඒ එහිදී ඇයට හමුවූ කිළනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ සිටි ගුරුවරයෙක් මගිනි.

‘‘සර් තමයි කිව්වේ මම විශ්ව විද්‍යාලයට තේරී ඇති බවට ලිපියක් කිළිනොච්චියේ අපේ කුලී ගෙදරට ලැබිලා තියෙනවා කියලා. ඒ වෙනකෙට කලබල නිසා අපි මුලතිව්වලට ගිහින් හිටියේ. ඒ නිසා අපට ලිපිය ලැබුනේ නැහැ. කොහොම වුනත් මගේ බලාපොරොත්තුව ඉටුවුන එක ගැන මටත් වඩා මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වුනා.’’ජෂින්දා පැවසුවාය.

විශ්වවිද්‍යාලයට තේරී පත්වුනද නියමිත දිනට අදාල සරසවිය වෙත සිය ඉල්ලූම්පත ඉදිරිපත් කිරීමට ඇයට හැකියාවක් නොමැතිවිය. ඒ ජෂින්දාගේ සියලූ ලියකියවිලි යාපනයේ හා කිළිනොච්චියේ පාසල්වල තිබීම එයට හේතුවයි. අනෙක කකුලක් නොමැතිව විශ්වවිද්‍යාලයට යෑම පිළිබදව ඇයට තිබුනේ ධනාත්මක අදහසක් නොවේ.

‘‘යාපනයේ ඉස්කෝලයෙන් අවශ්‍ය ලිපි ගෙන්වාගන්න පුළුවන් වුනත් කිළිනොච්චියෙන් ඒවා ගෙන්වාගන්න කොහෙත්ම බැරි නිසා මම දුකෙන් වුනත් විශ්ව විද්‍යාල ගමන අමතක කළා. අනෙක කකුලක් නැතිව මම කොහොමද එච්චර ලොකු ගමනක් යන්නේ කියලා හිතුනා.’’ජෂින්දා කීවාය.

මේ අතර වව්නියාව සෙට්ටිකුලම් කදවුරේ සිටි ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පවුල් 404ක් නැවත පදිංචිය සදහා පසුගියදා
ත‍්‍රිකුණාමලය වෙත රැුගෙන එනු ලැබීය. ඒ අතර ජෂින්දාගේ පවුලේ උදවියද වූහ. නැවත පදිංචිය සදහා ගෙන එන ලද මේ පිරිස් 3 කණුව මාදමැයි අම්මාන් මහා විද්‍යාලයේ පිහිටි අතරමැදි මධ්‍යස්ථානයේ තාවකාලිකව රැුදවූ අතර එහිදී ජෂින්දාට ඇයගේ ජීවිතය නැවත වරක් ලැබුනේය.

මේ අතරමැදි මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවයි. දිනක් මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රාජපක්ෂට හා 22 වන සේනාකාංධිපති මේජර් ජෙනරාල් ප‍්‍රසන්නද සිල්වාට දේවේන්ද්‍රරාසා හා ජශින්දා එහිදී හමුවිය.

ජෂින්දාගේ තත්වය තේරුම්ගත් නැගෙනහිර ආඥාපතිවරයා ඇයට කෘතිම පාදයක් ලබාදීමට කටයුතු කරන ලෙස මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වාට දැනුම් දුන්නේය. 22වන සේනාංකාධිපතිවරයා ජෂින්දාගේ කතාව සිය නැගණිය වන මිහිරි සිල්වා සමග පැවසුවේය. මේ කතාව අසා මිහිරි සිල්වා කෘතිම පාදයක් ලබාදීමට එකගවූවාය. ඒ සදහා කැළුම් අමරසිංහ නිලූකා රුද්‍රිගු රුක්මාල් සල්ගාදු සහයෝගය ලබාදුන්හ.

22වන සේනාංකායේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලූතිනල් කර්නල් සෙනරත් කොහොන මේ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරමින් කෘතිම පාදයක් සවිකිරීම සදහා ඇය කොළඹට රැගෙන ඒමේ කාර්යය භාරගෙන තිබුණි.  ඒ අනුව ජෂින්දා හා ඇයාගේ මව කොළඹ පැමිණ  පාදය සදහා අවශ්‍ය මිමි ලබාදීමට කටයුතු කළහ. තව නොබෝ දිනකින් කෘතිම පාදය සවිකරීමට සදහා ජෂින්දා කොළඹට රැගෙන එන බව ලූතිනල් කර්නල් කොහොන පැවසුවේය.

‘‘හමුදාවේ මහත්තුරු අපිට කිව්වා විශ්වව්ද්‍යාලයට යන්න කලින් දුවගේ කකුල හදලා දෙනවා කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ ඇඩුනා. අපි හමුදාව ගැන හිතාගෙන හිටියේ වෙනත් විදියකට. අපි වෙනුවෙන් සටන් කරනවා කියපු එල්.ටී.ටී.ඊ. එක අපිට කොයිතරම් විනාශක් කළාද කියලා දැන් අපිට හිතෙනවා.’’ ජෂින්දාගේ මව වන රාජේශ්වරී පැවසුවාය.

යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත්වීමට අවශ්‍ය ප‍්‍රතිඵල ජෂින්දා ලබා තිබුණද අදාල විශ්ව විද්‍යාලටය ඇතුළත්වීමට ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීම ප‍්‍රමාදවීමෙන් එම අවස්ථාව ඇයට අහිමිවන තත්වයක් උදාවිය. නියමිත දිනට ඉල්ලූම්පත‍්‍ර ඉදිරිපත් නොකළහොත් එම අවස්ථාව වෙන අයෙකුට ලබාදීම විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය පිළිවෙතයි.

‘‘මම විශ්ව විද්‍යාලටය ඉල්ලූම්පත‍්‍ර දානවානම් අනිවාර්යයෙන්ම මගේ ලිය කියවිලි විශ්ව විද්‍යාල කොමිසමට ඉදිරිපත් කරන්  ඕන. නමුත් මගේ උප්පැන්න සහතික තියෙන්නේ යාපනයේ. විභාග සහිතක කිළිනොච්චියේ. මේ නිසා විශ්ව විද්‍යාලයට යෑම පිළිබදව අවිනිශ්විත තත්වයක් තිබුනා. මම මේ ගැන අපේ කදවුර භාර ලූතිනල් කර්නල් කොහොනෙට කිව්වා. ඒ වෙලාවෙම (ඔහු) අදාල තැන් වලට කතා කරලා මගේ අවස්ථාව වෙන කෙනෙකුට ලබාදීම නැවැත්තුවා. මගේ ලිය කියවිලි යාපනයෙන් හා කිළිනොච්චියෙන් ගෙනත් දෙන්නත් කටයුතු සූදානම් කළා. ඇත්තටම කකුලක් නැතිවුනත් මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. හමුදාවේ අය මට තාත්තලා සහෝදරයෝ වගේ උදව් කළා.’’ජෂින්දා පැවසුවේ ඇයගේ පියකුරු කම්මුල් හරහා ගලා යාමට ඔන්න මෙන්න තිබූ පුංචි කදුළු බිදක් පිසදමමිනි.

‘‘මේ වන විට මම කිළිනොචිච්යේ සිටින අපේ නිලධාරීන් දැනුවත් කර ජෂින්දාට අවශ්‍ය ලියකියවිලි ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ වන විට එම ලිපි වන්නි ආරක්ෂක මූලස්ථානය වෙත ලැබී ඇති බව මට දැනගන්න ලැබුණා. විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින් අවතැන් කදවුරුවල සිටින විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත්කර සිටින නිලධාරීයාට කතාකරලා ඉල්ලීමක් කළා ජෂින්දාගේ අවස්ථාව නැතිකරන්න කියලා. අපි හැකි ඉක්මනින් ඇය විශ්ව විද්‍යාලයට එවනවා කියලා. ඔවුන් ඒකට එකග න්‍ුනා.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.

පාදයක් අහිමි මේ අහිංසක සුන්දර තරුණිය ත‍්‍රිකුණාමලය මාදමැයි අම්මාන් විද්‍යාලයීය අතරමැදි කදවුරේ වෙසෙන්නේ නව ජීවයක් ලද අයෙකු ලෙසිනි. නුරුදු දිනකදීම ඇය වෙනුවෙන් නිපදවෙන කෘතිම පාදය ඇයට ලැබෙනු ඇත.  ඇය එම දිනය එන තෙක් බලා සිටින්නීය.

‘‘අපි ජෂින්දාව කාටවත් අනුකම්පා හිතෙන විදිහට අත්වාරුවෙන් විශ්ව විද්‍යාලයට යවන්න් නැහැ. ජෂින්දා ඇගේම කකුල්වලින් ඇවිද්දලා තමයි අපි ඇයව විශ්ව විද්‍යාලයට යවන්නේ.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.

Devendra Raja Jasindha Rani has found new hope after losing a limb during the war. Born in Sali Sambal, Trincomalee, Jasindha’s parents sent her to Sidhambaram College in Jaffna to provide their daughter with a good education. However, in 2006 Jasindha and her family for forced to reside in Kilinochchi since 2006 due to the sudden closure of the A9 that prevented them from returning to their home in Trincomalee. She sat for the A/Level exam in Kilinochchi in 2006 but was unable to receive acceptance to university and sat for the exam again. Before knowing her results the war intensified and she lost a limb while residing in a camp in the no fire zone. Losing all hope, Jasindha and her parents arrived in the Vavuniya camp where she was informed by a former teacher that she had gained entrance to university from her second sitting. However, it was when she and her family arrived in the Trincomalee transit camp that Major General Rajapakse and Major General Prasanna de Silva together with Lt. Colonel Kohona made the necessary arrangements for Jasindha to receive an artificial limb and to enter into university afterwards.

  • Share/Bookmark

මරද මඩු මෑණියණි, අපි ඔබේ සරණ පතා එන්නෙමු

August 18, 2009 by Editor  
Filed under Featured, Stories

Madhu main Devotees flock to Madhu

‘‘ආවේ මරියා……ආවේ මරියා…..ආවේ මරියා….’’ මරදමඩු මෑණියන්ගේ ආශිර්වාදය පතමින් පැමිණි ලක්ෂ සංඛාත බැතිමතුන් අගෝස්තු 15 වැනිදා මඩු පල්ලියේදී දේව පූජාවට සහභාගී වෙමින් සිටියදී ගැයූ දේව ගීතිකා දසත පැතිරෙන්නට විය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති ගැටුම් අවසන්වී මෙන් පසුව සාමාකමී පරිසරයක් තුළ මරදමඩු මංගල්‍යයට පැමිණ සිටි ලක්ෂ පහකට වැඩි කිතුනු බැතිමතුන්ගේ මුවින් නික්මුනේ අප වෙනුවෙන් යාඥා කරන ලෙස දේව මෑණියන්ගෙන් ඉල්ලා සිටින යැදුම්ය.

මේ කිතුනු බැතිමතුන් මරද මඩු දේව මෑණියන්ගේ පිහිට පැතීමට පැමිණ තිබුනේ නව බලාපොරොත්තු සිතේ රදවාගනිමිනි. මඩු මංගල්‍ය පැවැත්වෙන දිනවල උදෑසන මඩු පල්ලියට හිරු පායන්නේ ආන්දවනේ (දෙමළ බසින් දෙවියනේ) යනුවෙන් වන යැදුම් මඩු ප‍්‍රදේශය පුරා ඇසෙමින් පවතින විටදීය.

ලංකාවේ පැවති යුද ගැටුම් නිසා කිතුනු බැතිමතුන් මඩු වන්දනාව ක‍්‍රමයෙන් අඩුකර තිබුනේය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවතියුද ගැටුම් අවසන් වීමත් සමග කිතුනු බැතිමතුන් මඩු වන්දනාවට පැමිණියේ හිතේ කිසිදු බියකින් තොරවය. ඔවුන්ගේ සිත් දෙව් පියාණන් හා දේව මෑණියන් කෙරෙහි වන බැතියෙන් පිරී තිබුනේය.

මේ වසරේ මඩු මංගල්‍යය අගෝස්තු 15 වැනිදා පැවති අතර මඩු වන්දනාකරුවන් අගෝස්තු මස හයවැනිදා සිටම මඩු පල්ලිය වෙත පැමිණෙමින් තිබුනේය. මඩු මංගල්‍යය පැවති දිනයට පෙර දිනයේදී අනුරාධපුරයේ සිට මැදවච්චිව දෙසට ඇදෙන වාහන විලින් විශාල සංඛ්‍යාවක ඉදිරපස සැරසී තිබුනේ මරද මඩු මෑණියන්ගේ රුවකිනි.‘‘මරද මඩු මෑණියණි අපි ඔබේ සරණ පතා එන්නෙමු.’’ යනුවෙන් සදහන් බැනරයක් එල්ලා තිබුනේ බස් රථයක ඉදිරිපසය. බස් රථ වෑන් කාර් ලොරිවල පමණක්  නොව ත‍්‍රීරෝද රථ එබල් ඩෙකර් බස් රථයක හා යතුරු පැදිවල  නැගුණු පිරිස් අනුරාධපුරදෙස සිට මැදවච්චිය දෙසට ගමන් කරමින් සිටියේය.

මෙම වාහන වලින් බොහෝමයක කෑම උයාගැනීමට ගෙනයන හට්ටි වලං තිබුනේය. මේවාට අමතරව ඇතැම් වාහනවල ගෑස් ටැංකි මෙන්ම දර ගොඩවල්ද ගොඩ ගසා තිබුනේය.

මැදවච්චිය නගරය පසුකරනවාත් සමගින් මේ වාහන සියල්ලම ආරක්ෂක හේතූන් මත කාලයක් වසා දමා තිබූ මැදවච්චිය මන්නාරම මාර්ගයට හැරවූවේය. මේ වාහන සියල්ලේම ගමනාන්තය වූයේ එක් ස්ථානයකි. එනම් මඩු පල්ලියයි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ කිලෝමීටර කීපයක් ගියතැන මුර කපොල්ලක් විය. පොලීසිය හා හමුදාව සිටින මේ මුර කපොල්ලේ සියලූම වාහන පරීක්ෂාවට ලක්නොවූ නමුත් වාහනයේ අංකය ආරක්ෂක අංශ විසින් සටහන් කරගෙන රෝස පැහැති කොළ කැබැල්ලක වාහනයේ අංකය ලියා එය වාහනයේ ගමන්කරන අයට ලබාදෙන්නේ වාහනයේ ගමන් කරන මගීන් සංඛාව පිළිබදව සටහනක් සමගින්ය. මේ මුර කපොල්ලේ නවතා ඇති වාහන නිසා මීටර සිය ගණනක වාහන පෝලිමක් දකින්න ලැබුණ නමුත් වාහනවලට පෝලිමේ සිටීමට සිදුවන්නේ විනාඩි කීපයක් පමණි. ආරක්ෂක අංශ විසින් කඩිනමින් වාහන පිළිබදව සටහනක් ලබාගන්නා නිසා වාහන පෝලිම ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණි.

එම මුර පොල පසුකර නෙරියකුලම් දෙසට යන විට තේ කඩයක් විය. තවත් ටික දුරක් යන විට තේ කඩ දෙක තුනක් වූ අතර මේවා අසල වාහන නවතා බැතිමතුන් ආහාර පාන ගත්තේය.

මඩු වන්දනාවේ යන බැතිමතුන් ගමන්ගන්නා අතර වාරයේ මග දෙපස මීටර කීපයෙන් කීපයට ආරක්ෂක අංශ රදවා තිබුනේය. පාරේ කිලෝමීටර ගණනක් ගිය පසුව බැතිමතුන්ට දකින්න ලැබුනේ කටු කම්බිවලින් හා පොල් අතුවලින් වට කර ඇති අක්කර සිය ගණනක බිම්ය. මේවායේ සිටියේ යුද ගැටුම්වලින් අවතැන්ව සිටින අයයි. වන්දනාකරුවන් ආනන්ද කුමාරස්වාමි රාමනාදන් හා අරුනාචලම් සහන ගම්මාන පසුකර යන විටදී අවතැන් කදවුරුවල සිටි කීපදෙනෙක් පමණක් වාහන ගැන අවධානය යොමුකළ අතර අනික් අය කදවුරුවලට වී සිටින අයුරු වැටවල් අතරින් දකින්න ලැබුනේය.

madhu 1මැදවච්චි පසුකර මඩු දෙසට පැමිණි වන්දනාකරුවන්ට දෙවැනි මුරපොල හමුවූයේ වව්නියාව මන්නාරම මාර්ගය එක්වන ස්ථානයේදීය. එම ස්ථානයේදී වාහනවල ගමන්ගන්නා රියදුරන්ගේ විස්තර සටහන් කරගන්නා අතර මැදවච්චිය මුරපොල පසුකර එන වාහන සියල්ලම මේ මුරපොලට පැමිණියාද යන්න පිළිබදව සටහනක් තබාගත්තේය.

මෙතැනින් ගමන්ගන්නා වන්දනාකරුවන්ට මඩු පල්ලියට පිවිසීමේදී හමුවූ අවසාන ආරක්ෂක මුර කපොල්ල මෙන්ම මඩු වන්දනාකරුවන් පරීක්ෂාකරන අවසාන මුර කපොල්ල වන මඩු පාර මන්සන්ධියේ පිහිටි මුර කපොල්ල දක්වා කිසිම තැනකදී වාහන නවතා පරීක්ෂා කළේ නැත. මඩු පල්ලියට පිවිසීමට පෙර හමුවන අවසාන මුර කපොල්ල විශාල මුර කපොල්ලකි.  මෙතැනදී සියලුම වාහන පමණක් නොව වන්දනා කරුවන් සියලුදෙනාම පරීක්ෂාවට ලක්විය.

දහස් ගණනින් වන්දනාකරුවන් මඩු පල්ලියට යෑමට පැමිණි නමුත් මෙතැන විශාල පොලිම් හෝ තදබදයන් දකින්නට නොලැබුනේය. වන්දනාකරුවන් ගමන්ගන්නා වාහනයේ අංකයේ සිට එංජිම දක්වා වන සියලුම විස්තර ඉල්ලා ආරක්ෂක අංශ විසින් ලබාදෙන පොරමය පිරවීමෙන් පසුව වාහනය පරීක්ෂා කිරීමට එක් ස්ථානයකට යවන අතර තවත් තැනක වන්දනාකරුවන්ගේ සිරුරු පරීක්ෂා කරන්නේය. මේ අතරවාරයේදී වාහනයේ ගමන්ගන්නා මගීන්ගේ නම් හා හැදුනුම්පත් අංක සදහන් ලේඛනයක් ලබාදීමෙන් පසුව වාහනය හා මගීන් පරීක්ෂා කළ බවට සදහන් කොළ කැබැල්ලක් වන්දනාකරුවන්ට ලබාදුන්නේ ඔවුන් අනුගමනය කළ යුතු දේ පිළිබදව සටහනක් සමගින්ය. ඒ අනුව මඩු පාර මංසන්ධිය පසුකිරීමෙන් පසුව පල්ලියට ළගාවනතෙක් කිසිම වාහනයකට මග දෙපස නතර කළ නොහැක. අගෝස්තු 16 වැනිදාට පෙර පල්ලිය භූමියෙන් සියලූම වන්දනාකරුවන් ඉවත්විය යුතුයැයි එහි සදහන් විය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරෙන ස්ථානයේ මඩු මාතාව වෙනුවෙන් ඉදිකළ සුරුවමකි. මේ සුරුවම ලා නිල් පැහැයෙන් දිළෙන්නේ මඩු බැතිමතුන්ගේ සිත් දේව බැතියෙන් පුරවාලමිනි.

‘‘ඉස්සර වගේ නෙමෙයි, මඩු පාර හංදිය අසල අලුතින් තොරණ හදලා තියෙනවා. මේක දැක්කාම හරි සතුටක් ඇතිවුනා.’’වෙන්නප්පුවේ සිට මඩු වන්දනාවට පැමිණ සිටි ලෙස්ලි ප‍්‍රනාන්දු කීවේය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරී ගමන් ගන්නා මාර්ගය දෙපස සිටිනේ අවි ගත් ආරක්ෂක භටයින්ය. බිම්බෝම්බ ඉවත් කර නොමැති බව සදහන් කෙරෙන මිනී ඔලුවක රූපයකින් යුත් රතු පැහැති සළකුනු පාර දෙපස ඇති කැළෑ පෙදෙස දකින්න ලැබෙන්නේය.

මඩු මෑණියන්ගේ ආශිර්වාද පතා පැමිණෙන බැතිමතුන් මඩු පල්ලියට පැමිණීම ආරම්භ කළේ අගෝස්තු මාසයේ මුල් සතිය අවසානයේදීය. ඇතැම් බැතිමතුන් අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මංගල්‍ය පූජාවට සහභාගී වන තෙක් මඩු පල්ලි භූමියේ රැදී සිටින්නේය. මෙසේ රැදී සිටින බැතිමතුන්ට නවාතැන් ගැනීමට හෝටල් තානායම් හෝ විශ‍්‍රාම ශාලා මඩු පල්ලිය අසල නැත. ඇත්තේ පල්ලියට අයත් කාමර කීපයක් පමණි. බැතිමතුන්ට නවාතැන් ගැනීමට මේ කාමර කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා ලක්ෂ ගණනක් වන බැතිමතුන් මඩු පල්ලිය අවට කූඩාරම් ගසාගනිමින් තාවකාලිකව නවාතැන් ගත්තේය.

බස් රථවලින් පැමිණි බැතිමතුන් විශාල කූඩාරම් තනද්දී තවත් බැතිමතුන් පිරිසක් ශෙල් ප‍්‍රහාරයන්ට ලක්ව බිත්ති පමණක් ඉතිරිව තිබූ කාමරයක වහලට ටෙන්ට් රෙදි යොදාගෙන තාවකාලික නවාතැනක් සකස් කරගෙන තිබුණි. දුප්පත් පෝසත් බේධයකින් තොවර මොවුන් මෙලෙස කූඩාරම් ගසාගෙන සිටියේය. බීමට ජලය ගැනීමට තැන තැන වතුර ටැංකි තබා තිබූ අතර බැතිමතුන් ළිං අසල එක්ව සිටියේ නෑමයට. තමන්ගේ ගෙවල් අසල නාන ඇදුම පිටින පාරේ නොයන බැතිමතුන් මෙදින තෙත ඇදුම් පිටින් තමන්ගේ කූඩාරම් වෙත ගමන් කිරීම සුලබ දසුනක් විය.

මංගල්‍යය ආරම්භවීමට පෙර සිට පල්ලියට පැමිණි බැතිමතුන් නොයෙක් පූජාවන් පැවැත්වූවේය. පල්ලියේ අල්තාරය දක්වා දණගසාගෙන ගොස් නොයෙක් භාරයන් ඉටු කළේය. පල්ලියේ ඇතුළත ඇති වලකින් බැතිමතුන් පස් ගැනීමට පෙළ ගැසී සිටියේය. මරදමඩු මෑණියන්ගේ පිළිරුව කාලයක් සගවා තිබූ ගසක් තිබූ බවට විශ්වාස කරන කිතුණු බැතිමතුන් ශුද්ධවූ පස්  බෑග් වලට පමණක් නොව අතේ තිබූ ලේන්සු තුවා හා කොළවලට එක්කර ගත්තේය. මෙම පස්වල ප‍්‍රාතිහාර්ය බලයක් ඇතැයි කිතුනු බැතිමතුන් විශ්වාස කරන්නේය.

පෘතුගීසි පාලන සමයේදී ඉන්දියාවේ සිට 1500 කාලයේදී ලංකාවට වැඩම කළවූ මඩු මාතාවගේ ප‍්‍රතිමාව කලක් ගසක කුහරයක සගවා තිබියදී දර කපන්නෙක් විසින් 1670දී සොයාගෙන ඇතැයි කිතුණු බැතිමතුන් විශ්වාස කරන්නේය. මේ ගස තිබූ තැන පල්ලිය ඉදිකර තිබෙන අතර බැතිමතුන් පස් ගෙනයන්නේ මේ ගස තිබූ බවට විශ්වාස කරන තැනෙන්ය.

‘‘මරිය මාතාව මෙකෙත් කල් අපව ආරක්ෂා කළා.’’ මඩු වන්දනාවේ පැමිණි වසය අවුරුදු හැත්තෑවක් වන බෙනඩික් පීටර් කීවේය.

මංගල්‍ය පූජාව පැවැත්වීමට පෙර අගෝස්තු 14 වැනිදා සවස පූජාව ආරම්භ වූයේ මල් වරුසාවක් මැදය. ගිනියම් පොළවට මේ මල් වරුසාව සිසිලක් ගෙන දුන්නේය.

කිසිදු බියකින් තොරව බැතිමතුන් දේව පූජාවට සහභාගීවූ නමුත් යුද්ධය පැවති කාලයේදී බැතිමතුන් කුඩා පිරිසක් මඩු මංගල්‍යයට සහභාගීවී තිබුනේය. ‘‘අපි ආවා. පූජාවට සහභාගී වෙලා ආපසු ගියා. අපිට මෙතැන රැදී සිටීමට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.’’ ප‍්‍රනාන්දු කීවේය.

2008 වසරේ අපේ‍්‍රල් මාසය ආරම්භ වන විට පල්ලිට අවට ප‍්‍රදේශයට ශෙල් ප‍්‍රහාර එල්ලවන්නට වූ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව ආරක්ෂාකරගැනීමට එය වෙනත් තැනකට වැඩම කරවීමට පල්ලියේ සිටි පූජකතුමන්ලා තීරණය කළේය.

‘‘අපේ‍්‍රල් තුන්වැනිදා හවස හටය විතර පැය භායක් තිස්සේ ශෙල් ප‍්‍රහාර එල්ලවීම නතරවී තිබුණා. නමුත් අධික වර්ශාව නිසා අපිට පිටත්වෙන්න පුළුවන් කම ලැබුනේ හවස 6.30ට විතර. ශෙල් ප‍්‍රහාර මැදින් කිලෝමීටරයක් විතර යනවිට අපි ගිය වෑන් එක ඉස්සරහට ශෙල් වැටුණා. එත් අපි විනාඩි පහළොවක් විතර ගිහින් අනතුරුදායක ප‍්‍රදේශය පසුකළා.’’ මඩු පල්ලිය අවට යුද් ගැටුම් දරුණුව තිබූ කාලයේ පල්ලියේ භාරකාරත්වය දැරූ එස්. එමිලියානස්පිල්ලේ පියතුමා පැවසුවේය.

මඩු පල්ලියේ තිබූ දේව මාතාවගේ පිළිරුව පෙරියමඩු හරහා තේවාන්පිට්ටිහි ශාන්ත සේවියස් පල්ලියට වැඩම කරවීය. ආරක්ෂක හමුදාවන් තේවාන්පිට්ටි ප‍්‍රදේශය අල්ලා ගැනීමෙන් පසුව ජූලි මරදමඩු මෑණියන්ගේ පිළිරුව නැවත වරක් මන්නාරමට වැඩම කළවූවේය. මෙය වැඩම කළවූයේ කිළිනොච්චිය,  ඕමන්තායි හා වව්නියාව ඔස්සේය. ඉන් පසුව මඩු පල්ලියේ මංගල්‍ය පූජාවක් පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේදීය.

Madhu 2ගැටුම් හමුවේ මරදමඩු මෑණියන් වැඩම සිටි පල්ලියට කිසිදු හානියක් නොවන විටදී ඒ අවට තිබූ ගොඩනැගිලි හානිවී  තිබුනේය.  මඩු මාතාවන් වැඩසිටි පල්ලිය අසලම ඇති පල්ලියේ තිබූ ජේසුතුමන්ගේ සුරුවම ගැටුම්වලින් හානිවී තිබුනේය. වෙඩි උන්ඩ හෝ ශෙල් කැබලි වැදී ඇති සලකුණු පැහැදිළිව පෙනෙන්න තිබුණි. විනාශවී තිබූ එම සුරුවම අසලට පැමිණි බැතිමතුන් ඉන් ආශිර්වාද පතා යාඥා කළේය.

‘‘මේක හාස්කමක්. (මඩු මෑණියන් වැඩම සිටි) පල්ලියට කිසිම හානියක් වෙලා නැහැ.’’ අනුරාධපුරයේ සිට පැමිණි මැදවච්චියේ විමල හිමියන් පැවසුවේය.

අගෝස්තු 15 වැනිදා හිරු උදාවත් සමගින් මඩු පල්ලියේ මංගල්‍ය පූජාව ඇරඹෙද්දී ලක්ෂ ගණනක් බැතිමතුන් ස්ථිර සාමයක් පතා දේවමෑණියන්ගේ පිහිට පැතුවේය. රටට සාමයක් ලගාකර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පූජාව අතරවාරයේදී මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව පල්ලියවටා වැඩම කරවන අතර වාරයේ බැතිමත්තු මහත් බැතියෙන් දෑත් දිගුකර සිය ප‍්‍රාර්ථනාවන් දෙවියන්ට යොමුකළේ කුඩා ළමුන් පියවරුන්ගේ කර මත සිටියදීය. මේ වේලාවේ බැතිමතුන් දෙවියන් වෙනුවෙන් ගීතිකා ගායනා කළ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව තමන් අසලින් වැඩම කරන විට බැතිමත්හු ‘‘ආවේ මරියා’’ යැයි ගායනා කරන්නට විය.

දේව පූජාව අවසන්වීමෙන් පසුව දිව්‍ය සප‍්‍රසාද වහන්සේ වැඩම කළවූ අතර පූජකතුමන්ලා විසින් බැතිමතුන්ට දිව්‍ය සප‍්‍රසාද වහන්සේ ලබාදුන්හ. මෙය ලබාගැනීමට බැතිමතුන් එක්පෙළට වී සිටියහ.

‘‘ලංකාවේ සෑම දෙසකින්ම බැතිමතුන් මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ දේව මාතාවට ගෞරව ආචාර කිරීමත් අපගේ ජීවිත වලට අවශ්‍යදේවල් ඉල්ලා සිටීමත්.’’ මංගල්‍ය පූජාව පවත්වමින් අගරදගුරු රංජිත් මැල්කම් පියතුමා පැවසූහ.

‘‘ජාතිය එකතුකිරීමට මඩු මංගල්‍ය සහෝදරත්වයේ සංකේතයක්. මේ මගින් ජාතිය එකතුකරන්න පුලුවන් කම තියෙනවා.’’ විමල හිමියෝ කීහ.

‘‘මේ වසරේ මංගල්‍ය පවත්වන්නේ වෙනස් තත්වයක් තුළයි. මේ රට අගාධයකට ඇද දැමූ යුද්ධය මේ වන විට අවසන් වෙලා තියෙනවා. සාමාකාමී පරිසරයක් ගොඩනැගෙමින් තියෙනවා.’’ මැල්කම් පියතුමා කීහ.

යුද ගැටුම් අවසානයේදී අවතැන්වූවන් බවට පත්ව සිටින 280,000ක අවතැන්වූවන් වෙනුවෙන්ද මෙහිදී යාඥා කළේය. ඔවුන්ට හැකි ඉක්මනින් නැවත තමන්ගේ ගම් බිම් වෙත යාමට හැකියාව ලැබේවායි අගරදගුරුතුමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මඩු මංගල්‍යයට බෞද්ධ හිමිවරුන් පවා වැඩම කරවීමෙන් එක රටක් ලෙසින් එක්වීමට ඇති අභිලාශය පෙන්නුම් කරන්නේයැයි උන්වහන්සේ සදහන් කළහ.

‘‘මරිය මාතාව අපිට සාමය හා බලාපොරොත්තුව ලබාදෙන බව අපි විශ්වාස කරනවා. දැන් අපිට හොද රටක් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න පුළුවන්.’’ මන්නාරමේ සිට සිය පවුල සමග මඩු වන්දනාවට පැමිණි සිංගරායන් සෙලස්තීන් කීය. යුද්ධය නිසා සෙලස්තීන්ගේ ජීවිතය කඩා වැටී තිබුණි. ඔහුගේ දරුවන් දෙදෙනෙක් ගැටුම්වලට මැදිව මියගොස් තිබූ අතර තවත් අයෙක් අවසන් සටන පැවති කාලයේදී අතුරුදහන්ව තිබේ.

‘‘මම දැන් මහළුයි. තවත් බොහෝ කාලයක් මට පවුලේ අය බලාගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ.’’ හෙතෙම කියයි.

‘‘දේව මාතාව අපි එකට එක්කර තිබෙනවා. අපට බලාපොරොත්තුවක් දී තිබෙනවා. ඒ අනුව එකට ජීවත්වීම අප කළ යුතු දෙයක්.’’ ඔහු කීවේය.

Following the end of the three decade long conflict in the country, over 500,000 devotees flocked to Madhu for the church feast. Devotees commenced flocking into Madhu from August 6 for the feat that was held on August 15. Many who flocked to Madhu stayed in tents till the end of the feast. Some even built themselves temporary shelters by fixing a make shift roof over rooms that have been left roofless due to bomb attacks during the war. Regardless of caste and creed, devotees at Madhu called on the Lord to pray and protect everyone. Due to the end of the war, the security checking on the road to Madhu was not too arduous. The three checkpoints commencing from the Medawachchiya-Mannar road kept records of all who traveled to Madhu. Interestingly, on the road to Madhu, devotees had to pass two IDP camps set up for the war displaced that was demarcated by an iron fence.

  • Share/Bookmark