මම කළාපෙට ඇවිත් අවුරුදු හයයි.ඒත් ජීවිතේ තාම එහෙම්මමයි.
I want to get out of here – FTZ worker
සමාජයේ ජීවත්වන සියල්ලන්ටම පාහේ යම් දිනක ලගා කර ගත යුතු යැයි සිතන සිහින තිබේ.ඒ සිහින සැබෑ කරගන්නට බොහෝ දෙනා වෙහෙස මහන්සියෙන් කැප කිරීමෙන් වැඩකරති. නුවරඑළිය කීර්තිබණ්ඩාරපුර පදිංචි විසි හය හැවිරිදි අනෝමා පියසීලී කටුනායක වෙළෙද කලාපයේ රැකියාවට ආවේ සිය අනාගත සුබ සිහින සැබෑ කර ගැනීමේ අරමුණෙනි.
අපේ පවුලේ වැඩිමලා මම. මට නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. තාත්තා නැති වෙලා. අපි හැමෝම ජීවත් කරවන්න අම්මා පුදුම මහන්සියක් වුණේ. අම්මට ස්ථිර රුකියාවක් නැහැ. අපි ගොවියො.එළවථ හැදුවා. ඒත් එළවථ හදලා ඒ ලැබෙන ආදායමින් ළමයි තුන් හතර දෙනෙක් ඉස්කෝලෙ යවලා ජීවත් වෙන්න තරම් ඉතිරියක් වුණේ නැහැ. ආර්ථික ප‍්‍රශ්න පිට පිට වැඩි වෙද්දි මගෙ ඔථවටත් ලොකු බරක් දැනුනා. මම O/L කළේ අනු අටේ. හොදට ඉගෙන ගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා. ඒත් O/L පාස් වෙලා A/L කරන්න හම්බුණේ අවුරුද්දක් විතර තමයි. අම්මට මේ තරම් බරක් දෙන්න බෑ කියලා මට හිතුනා. ඊට පස්සෙ දන්න කෙනෙක් මාර්ගෙන් කලාපෙට ආවා. අනෝමා කටුනායක නිදහස් වෙළෙද කලාපයට පැමිණි අයුරු එසේ පවසන්නීය. එහෙත් මෙහි ජීවත් වීම ලේසි පහසු කටයුත්තක් නොවන බව අනෝමාට පසක් විය.
මම මුලින්ම ආවේ හෙල්පර් කෙනෙක් විදිහට. පඩිය හම්බුණේ රුපියල් 3400යි. බෝඩිං ගාස්තු ගෙවලා කෑමට වියදම් වුණාට පස්සෙ ඒ පඩියෙ ඉතුරුවක් තිබුණෙ නැහැ. එහෙ බලලා මෙහෙ බලන කොට අතේ සල්ලි නැති වුණා. අම්මගෙ බර හෑල්ලූ කරන්න මම කොළඹට ආවට මොකද මුලින්ම මාත් ජීවත් වුණේ හරි අමාරුවෙන්. ගමේ ගොඩේ හැදිලා මේ පරිසරෙත් හරි නුහුරු නුපුරුදු ගතියක් දැනුණා. ආපහු ගමේ ගිහින් මහ පොළොව එක්ක ඔට්ටු වෙන ජීවිතේ හොදයි කියලා හිතුණ වාර අනන්තයි. ඒත් ඉවසගෙන හිටියා. කවදාහරි හරියයි කියන බලා පොරොත්තුව තිබුණා.’ අනෝමා පවසන්නිය.
විසි දෙහැවිදිරි වියේ හිරිමල් යෙෘවනියක ලෙස කටුනායක නිදහස් වෙළෙද කලාපයට පැමිණි අනෝමාගේ තාරුණ්‍යයෙන් වැඩි කොටසක් තවමත් ගෙවී යන්නෙ ජීවන වෘත්තීය වෙනුවෙනි.
මම කලාපෙට ආවේ 2002 දී. දැන් අවුරුදු හයක් ගෙවිලා. මට දැන් අවුරුදු විසි හයයි. ඒත් ජීවිතේ තාම එහෙම්මමයි. මුලින්ම හෙල්පර් කෙනෙක් විදිහට මාස හයක් ඉ`දලා ඊට පස්සෙ ඔපරේටර් කෙනෙක් විදිහට සේවයට දැම්මා. තාමත් ඔපරේටර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නෙ.’ කටුනායක ලංකා නයගර් ඇගථම් කම්හලේ සේවයේ යෙදෙන අනෝමා කියන්නීය.
දැන් මගේ මුලික පඩිය රුපියල් 10.500යි. ඕ.ටී පැයකට රුපියල් 78ක් විතර හම්බෙනවා. කොහොමහරි මාසෙ අන්තිමට රුපියල් 12000ක් විතර තමයි හොයා ගන්න ලැබෙන්නෙ. අපිට උදේ වැඩ පටන් ගන්නෙ අටට. ඉවර වෙන්්නෙ හවස පහට. ඕ.ට් පැය දෙකත් එක්ක හවස හත වෙනකන් වැඩ කරලා බෝිඩිමට එනවා. ඒ ඇවිත් තමයි තියෙන දෙයක් රත් කර ගන්නෙ.අපිට හරියට නා ගන්නවත් හම්බෙන්නෙ ඉරිදට විතරයි.’
මීට වසර එක හමාරකට පමණ ඉහතදී අනෝමාට මංගල සීනු හැඩවිණි. ඒ පාසල් වියේ බැදි හාදකමක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් අථත් ජීවිතයද කරපින්නාගෙන අනෝමාටත් ඇගේ සැමියාටත් කටුනායක කටුක ජීවිතයට හුරුවන්නට සිදුවිය.
මහත්තයා මෙහෙ වෙල්ඩින් ෂොප් එකක වැඩ කරනවා. අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අඩි 10 යේ මේ පුංචි කාමරේ ඇතුළෙ. උයන පිහින වැඩ කරන්නෙත් මේකෙමයි. අපේ ඇදුම් පැළදුම් වටින කියන හැමදේම තියෙන්නෙ මේ කාමරේ තමයි.ඒත් කරන්න දෙයක් නැහැ. මීට වඩා හොද තැනකට ගිහින් අපිට ජීවත් වෙන්න අමාරුයි. මේ කාමරේටත් අපි මාසෙකට රුපියල් 2200ක් ගෙවනවා. මගෙයි මහත්තයාගෙයි පඩිය එකතු කළාම මාසෙට රුපියල් විසිදාහක් විසි පන්දාහක් විතර තමයි වෙන්නෙ. ඒකෙන් අපිට රුපියල් 5000ක් විතර කෑමට වියදම් වෙනවා. මම මගේ පඩියෙනුත් කොටසක් මගේ ගෙදර වියදමට යවනවා. මම එයාලා ගැනත් බලන්න ඕනනේ. අනිවාර්යෙන් කරන්න ඕන හැම වියදමක්ම කරලා මහ ලොකු දෙයක් අපිිට ඉතුරු වෙන්නෙ නැහැ.’ අනෝමා පවසයි.
‘මගෙ නංගිලා දෙන්නටයි මල්ලිටයි හොදට උගන්වන්න මට ලොකු උවමනාවක් තියෙනවා. මට ඉගෙන ගන්න බැරි උනාට එයාලවත් හොදට ඉගෙන ගත්තොත් ඒක ලොකු සැනසීමක් වෙයි. ලොකු නංගි මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා. දෙවනි නංගි තාම දහය වසරේ. මල්ලි හත වසරේ. ඇත්තටම ගෙදර කට්ටිය මම ගැන පුදුම විදිහට දුක් වෙනවා. එයාලා හිතන්නෙ මම ගොඩක් දුක් විදිනවා කියලා. ඒත් මොනවා කරන්නද’ සිය උපන් ගමෙන් ඈත් වී සිය පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට අනෝමාට සිදුව තිබේ. ගතවු අවුරුදු හය ඇතුළත අනෝමාට දහ දොළොස් වතාවකට වඩා ගෙදර යන්නට ලැබුනේද නැත.
‘අපිට නිවාඩු තියෙන්නෙ ඉරිදට විතරයි. එක දවසට ගෙදර යන්න බෑ. අපි කොළඹින් ගොඩක් දුර යන්න ඕන. අනික් අතට නිවාඩු අරගෙන ගෙදර ගියොත් පඩියෙන් කපනවා. ඒ විදිහට කැපිලා ගියොත් ගන්න පඩියෙ ඉතුරුවක් නැහැ. අපි ගෙදර යන්නෙ සිංහල අථත් අවුරුද්දටයි නත්තලටයි විතරයි. ගෙදර නොයා ඉන්න එක ගොඩක් දුකයි.’ අනෝමා පවසන්නීය.
‘ මම රස්සාවට ඇවිත් ගොඩක් දුක් වින්දා වුණත් මටම කියලා මම කීයක් හරි හම්බ කර ගත්තා. රත්තරං බඩු ටිකකුත් හදා ගත්තා. ඒ ගැන ගොඩක් සතුටුයි.’
මීට වඩා ජීවිතය යහපත් කරගන්නට නම් මුදල් ටිකක් එක්රුස් කරගත යුතු බව අනෝමාගේ අදහසයි.
‘මෙහෙ ජීවතේ හරි දුෂ්කරයි.අපි මෙහෙ ජීවත් වෙන්නෙ හරියට කාලා ඇදලා නෙමෙයි. අනික් හැම ගෑනු ළමයෙක් වගේම මමත් ගොඩක් ආසයි මගෙ මහත්තයා එක්ක ලස්සණට ජීවත් වෙන්න. අපි බැ`දලා දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා. තාම දරුවෙක් ගැන හිතුවෙ නැත්තෙ දරුවො හදලා ඉන්න හිටින්න තැනක් නැතුව ජීවත් වෙන්න බැරි හින්දා. කවදා හරි මේ ජීවිතෙන් ගැලවිලා ගමට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තමන්ගෙම කියලා ගෙයක් දොරක් හදා ගන්න මට හරි ආසයි. ඒ නිසා හම්බකර ගන්න දේ අරපරිස්සමින් වියදම් කරලා කීයක් හරි ඉතුරු කරගන්න තමයි අපි දෙන්නා හැම වෙලේම උත්සාහ කරන්නෙ. එතකොට ගමට ගිහින් ස්ථිරවම දෙයක් පටන් අරගෙන දෙයියනේ කියලා නිදහසේ ජීවත් වෙන්න පුථවන් වෙයි.’ අනෝමා පවසන්නීය.
Anoma Piyaseeli arrived in the Katunayake Free Trade Zone (FTZ) in 2002 at the age of 22 in the hope of finding a prospective future and helping her family back home in Keerthibandarapura in Nuwara Eliya. Anoma decided to give up her education after O/Levels and find work in the FTZ to help educate her two younger sisters and younger brother following her father’s death. After earning an initial salary of Rs. 3,400 per month, Anoma has worked her way to earn Rs. 12,000 inclusive of overtime payment, which she claims is still insufficient for her living expenses and to send back home. Anoma’s husband has also found himself employment in the FTZ. The couple work tirelessly to earn a living and save some money hoping to someday begin their own little business and return home.
ආසියාවේ උසම දැල්පන්දු ක‍්‍රිඩිකාව
The netball queen from Jaffna
තර්ජිනී ශිවලිංගම් යාපනයේ ඉපිද කොළඹ පැමිණෙන්නේ ඇගේ එක් සිහිනයක් සැබෑ කර ගැනීමට නොහැකි වූ නිසාය.උසස් පෙළ විභාගය සමත් වීමත් සමගින් ඇය මඩකළපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ කථිකාචාර්යවරියක වීමේ අභිලාශය පෙරදැරි කරගෙනය.එහෙත් ඇයගේ දිගැති සිරුර ඇයගේ අරමුණූ වෙනතකට යොමු කරවනු ඇතැයි ඇය කිසිදා නොසිතුවාය.
ඇය ලොවම විශ්මයට පත් කරමින් පසුගිය ආසියානු දැල්පන්දු කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමට තරම් ශක්තිමත් වූවාය.ඇයගේ දිගැති සිරුර මේ වන විට ඇය ශ‍්‍රී ලංකාවේ ජාතික සම්පතක් බවට පත් කර ඇත.
“මම විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ මර්කන්ටයිල් නෙට්බෝල් ටීම් එකට සෙල්ලම් කළා.මම ඉගෙන ගන්න කාලේ කථීකාචාර්යවරියක් වෙන්න තමයි හිතාගෙන හිටියේ.මගෙ උස නිසා මට නෙට් බෝල් සෙල්ලම් කරන්න කතා කළා.සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සේ ඉගෙනීම් වැඩ කටයුතු අතපසු වෙන්න පටන් ගත්තා.කථිකාචාර්යවරියක් වෙන්න අවශ්‍ය ලකුණූ ලබා ගන්න මට බැරි වුණා.” තර්ජිනී පැවසුවාය.
ඇය ජීවිතය පමණක් නොව මේ වන විට ලොවම දිනා ඇත. ඇය ඇගේ ජීවිතෙන් පැර දී ඇතැයි යම් විටෙක නොසිතනවාම නොවේ. ඇගේ සිතෙහි යම් පසුතැවීමක් ඇති බව ඇය පවසන සිය`ථ වචනයකම ගැබ් වී ඇත.
“විසිඑක්දාහක් එක වතාවකට වියදම් වෙනවා ගෙදර ගිහින් එන්න. අවුරුදු දෙක තුනකට සැරයක් තමයි යාපනයේ ගෙදර යන්නේ.නෙට්බෝල් සංගමයෙන් ඒ පහසුකම මට ලැබෙන්න ඕන.තාම ඒ ගැන කවුරුත් කතා කරලා නැහැ.මට අවස්ථාවක් ලැබුණොත් වෙන රටකට සෙල්ලම් කරන්න මම යනවා.අපට ස්පොන්සර් කරන්න කවුරුත් නැහැ.ඒ නිසා ඉස්සරහට යන්න අමාරුයි.”
කොළඹ ජීවත් වන ඇය පවුලේ කිසිවෙකුගේ උදව්වක් නොමැතිව හුදකලාව කාලය ගත කරයි. තර්ජිනී පවසන්නේ ඇගේ දෙමව්පියන් ඇය හා සිටියා නම් ඇයගේ ඉදිරි ගමනට පහසුවක් වන බවයි .
“ගෙදර අය හිටියා නම් මගෙ ඇදුම් සෝදා ගන්නවත් මට උදව් වෙනවා.ඒ අය කොළඹ එක්කරගෙන ඇවිත් ජීවත් වෙන්න ගොඩක් සල්ලි ඕන.ඒ නිසා ඒක කරන්න අමාරුයි.මමත් කැමතියි මගේ ගමට ගිහින් ඉන්න.මගේ වැඩ කර ගන්න ඕන නිසයි මෙහෙ ඉන්නෙ.යාපනේ හිටියා නම් මේ පහසුකම් නැහැ.ක‍්‍රීඩා කරන්න ආව නිසා මගෙ හීන සැබෑ කර ගන්න බැරි වුණා.”
ඇයගේ සිහින අතර දෙමව්පියන් හා එකට ජීවත් වීම ප‍්‍රධාන තැනක් ගෙන තිබේ.එහෙත් ඒ සදහා අවශ්‍ය මුදල් ඇය සතුව නොමැති කම නිසාවෙන් තනිකම දරා ගැනීමට ඇය උත්සහ කරනු ලබයි.කොළඹ පැමිණි ඇය දැන් වැල්ලවත්ත ප‍්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක ජීවත් වන්නේය.
“අම්මලා මතක් වෙද්දී ගොඩක් දුකයි.ඉස්සරහට මේ රස්සාවම කරගෙන ඉන්නවද කියලා තීරණය කරන්නේ මගේ අම්මලා.එයාලා මට දැනට ගොඩක් උදව් කරනවා. එයාලටත් මං නැතිව දුකයි.සල්ලි තමයි හැම දේකටම ඕන.මට ඕන කරන තරම් සල්ලි තිබුණා නම් අම්මලා මං ගාවට ගෙන්නව ගන්නවා.මෙහෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ සල්ලි වලට.මටත් එයාලව බලාගන්න පුළුවන් මං ළග ඉන්නවා නම්.” ඇය මේ බව කියා සිටියේ නෙතු අග කදුළු දවටාගෙනය.
කොල්ලූපිටිය සෙලාන් බැංකු ශාඛාවේ බැංකු සහකාරවරියක් ලෙස ඇය තම රැුකියාවේ නියුතු වෙන අතර සෙලාන් බැංකු දැල්පන්දු කණ්ඩායමටද ඇය ක‍්‍රීඩා කරන්නීය.
අඩි හයයි අගල් නවයක් උස තර්ජිනී ශිවලිංගම්ට ශ‍්‍රී ලංකාවේ දිදුලන දැල්පන්දු ක‍්‍රී‍්‍රීඩිකාව වීමට අවස්ථාව උදා වෙන්නේ වර්තමාන දැල්පන්දු සංගමයේ ලේඛම් ට‍්‍රික්ෂි නානායක්කාර නිසාය.මර්කන්ටයිල් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරන අවස්ථාවේ දී මඩකලපුවේ දී ඇය තර්ජිනීගේ දක්ෂතා හදුනා ගනිමින් ඇය ජාතික කණ්ඩායම දක්වා රැුගෙන ආ බවයි තර්ජිනී පවසන්නේ.
ආසියාවේ උසම දැල් පන්දු ක‍්‍රීඩිකාව ලෙස විරුධාවලිය ලබන තර්ජිනී කෘතගුණ සලකන නිහතමානී ගුණයෙන් හෙඹි තරුණියක් බව ටි‍්‍රක්ෂී නානයක්කාර පැවසීය.
සහෝදර සහෝදරියන් සත් දෙනකුගෙන් යුත් පවුලක සය වෙනියා ලෙස යාපනයේ පන්නලයිකඩුවන් ගමේ ගොවි පවුලක තර්ජිනී උපත ලැබුවාය. දන්නා නොදන්නා සියළු දෙනා හට සිනහවකින් සංග‍්‍රහ කිරීමට තරම් ඇය නිරහංකාරය.ක‍්‍රීඩා ජීවිතයේ මේ තරම් දුර පැමිණීමට උදව් උපකාර කළ සියළු දෙනා හට ස්තූතිකිරීමට තර්ජිනී අමතක නොකළාය.
Born in Jaffna, Tharjani Shiuvalingam, better known as the tallest netball player in Asia, entered the Eastern University with the intention of becoming a lecturer. However, her height, 6 feet and nine inches, pushed her in another direction. She started to play in the Mercantile Netball Team when at the university and finally took the sport more seriously. She moved to Colombo and took up netball as a profession. She has found employment at the Seylan Bank Colpetty branch and plays for the Bank’s netball team as well. Tharjani misses her family and their support back in Jaffna and says that she finds it difficult to make frequent trips to Jaffna and back, as it costs Rs. 21,000 for each trip.
කඳසුරිඳු වන්දනාකරුවන්ට “නවගුණ වැල්’” ගොතන ගෝතමීගම වැසියෝ
The Bead-makers from GothamiGama
කතරගම ප‍්‍රධාන නගරයේ සිට කිලෝ මීටර් හතරකට නොවැඩි දුර පුමාණයකින් පිහිටි ගෝතමීගම ගමිමානයේ ජීවත් වන වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය කඳ සුරිඳු වන්දනාකරුවන් වෙනුවෙන් නවගුණ වැල් ගෙතීම බව නදීකා වික‍්‍රමගේ පවසන්නීය.
“ගෝතමීගමට පවුල් තියෙනවා දෙසීය ගාණක් විතර. මේ පවුල් දෙසීය ගානෙම කට්ටිය රස්සාව විදියට කරන්නෙ මේ නවගුණ වැල් ගොතන එක තමයි. වෙන ඉතින් ස්ථිර ආදායම් මාර්ගයක් කියලා දෙයක් නැහැ.”
අවුරුදු තිස් එකක් වයසැති කාන්තාවක් වන නදීකා වික‍්‍රමගේ මෙම රැකියාව හා බැඳුණු ඇගේ ජීවිතය පිළිබඳවද විස්තර කරයි.
“මට නම් ඉතින් තේරෙන දවසෙ ඉඳලා මම කළේ මේ නවගුණ මාල ගොතන එක තමයි. මට වැඩිය ඉස්කෝලෙ යන්න වුණේ නෑ. මගේ පවුලෙ තව නංගිලා දෙන්නනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මට අවුරුදු දහයක් වෙද්දි අපේ තාත්තා නැති වුණා. එයින් පස්සෙ ඉතින් මගේ ඉස්කෝලෙ ගමන එතනම නැවතුණා. එදා ඉඳලම මම කළේ අමිමත් එක්ක එකතු වෙලා මාල ගොතලා විකුණපු එකම තමයි.”
“මේ මාලෙ ගොතන්න ඕන කරන ඇට අරගන්නේ දෙබර ගහෙන්. ඒ නිසා නවගුණ මාලේ කියන එකට වඩා මේකට අපි නම් වැඩිපුරම කියන්නේ දෙබර ඇට මාලේ කියලා.”
එසේ විස්තර කරන නදීකා මාලය ගෙතීමට පෙර දෙබර ඇට සකස්කරගන්නා ආකාරයද පැහැදිළි කලා.
“දෙබර ගස්වලින් තමයි මේ ඇට අහුල ගන්නේ. ඊට පස්සේ ඉතින් සෝදලා කරලා වේලෙන්න දානවා. ඕන කරන තරමට වේළුනාට පස්සේ ග‍්‍රිල් එකකින් විද ගන්න ඕන. ඊටත් පස්සේ තමයි කම්බිවල අමුණලා මාලේ ගොතන්න ගන්නේ.”
දිනකට මාල පහකට වැඩි ප‍්‍රමාණයක් ගෙතිය නොහැකි බවද ඇය පවසයි.
“ගොතන්න කලින් ඉතින් මේ ඇට විදගන්න ඕනනේ. කොහොම වුණත් දවසකට හුණ්ඩුවකට වඩා විදගන්න අමාරුයි. එහෙම බලද්දි ඉතින් දවසකට මාල පහක් වගේ තමයි ගොතන්න පුලූවන් වෙන්නෙ.”
නවගුණ මාල ගෙතීමේදී මුහුණ දෙන ගැටළුද ඇති බව ඇය පවසන්නීය.
“දැන්මේවා ගොතද්දි අපිට ගෙදර ගස් තියෙනවා නම් ලේසියි. අපි මේවා අහුලන්න ටිකක් ඈතට යන්න ඕන. සල්ලිවලට ගන්නවනම් දෙබර ඇට කිලෝ එකක් රුපියල් හැටක් විතර වෙනවා. කම්බි දෙසීයක් ගත්තොත් එතනටත් රුපියල් දෙසීයක් විතර යනවා. අපි එහෙම අමාරුවෙන් ගෙතුවට ඉතින් වැඩි ලාභ ගන්නෙ අපෙන් තොග විදියට ගෙනිහිල්ලා ව්කුණන වෙළෙන්දො තමයි.”
ගෝතමීගමෙහි කාන්තාවන් අතින් නිමැවෙන නවගුණ වැල් වලට හොඳම ඉල්ලූමක් පවතින්නේ කතරගම පෙරහැර සමයේ දී බවද ඇය පවසන්නීය.
“අපි ඉතින් අවුරුද්ද පුරාම මේ නවගුණ මාල ගොතනවා. ගොතලා අරන් තියෙනවා. හැමදාටම එක වගේ විකිණෙන්නෙ නැති වුණාට කතරගම පෙරහැර කාලෙට මෙවට සෑහෙන්න ඉල්ලූමක් තියෙනවා. පෙරහැර කාලෙට කොචිචර තිබුණත් විකුණගන්න බැරි වෙන්නෙ නෑ.”
වෙනත් දිනවලට සාපේක්ෂව පෙරහැර සමයේදී වැඩි මිළකට මේවා අලෙවි කර ගැනීමටද හැකියාව ලැබෙන බව නදීකා වික‍්‍රමගේ පවසන්නීය.
“නවගුණ මාලයක් සාමාන්‍යයෙන් අපි දෙන්නෙ රුපියල් දහතුනකට විතර. හැබැයි කතරගම උත්සව කාලෙට රුපියල් පහළවත් විස්සත් අතර ගාණකට විකුණගන්න පුලූවන්. කොහොමත් අපෙන් ගන්නවට වඩා රුපියල් දෙක තුනක් වැඩියෙන් තමයි වොළන්දො මේවා විකුණන්නෙ. ඒ හින්දා ඉතින් ඒගොල්ලො අපිට වැඩිය ගාණක් හමිබ කරගන්නවා.”
නවගුණ වැල් හෙවත් දෙබර ඇට මාල ගෙතීම තම ප‍්‍රධාන ජීවනෝපාය වුණත් ඉන් ලැබෙන ආදායම එදිනෙදා සියලූම අවශ්‍යතා සඳහා ප‍්‍රමාණවත් නොවන බවයි නදීකා වික‍්‍රමගේ පවසන්නේ.
“කීයක් හරි හමිබ කර ගත්තහම ඉතින් සතියකට දෙකකට සැරයක් පොළේ ගිහින් කන්න දෙයක් අරන් ආවාම අපිට කියලා ඉතුරු වෙන්න ලොකු දෙයක් නෑ. අතේ කීයක් හරි අමාරුවෙන් ඉතුරු කරගෙන අපි ඔය පොඩියට සීටිටු එහෙම දානවා. එහෙම නැතුව ඉතින් පොත් වල දාලා ඉතුරු කරගන්න තරමි දෙයක් නෑ.”
සිංහල දෙමළ මුස්ලිම් සියලූ දෙනා අතර මෙය එකසේ අලෙවි වන බව ගෝතමීගම නවගුණ වැල් ගොතන්නියක් වන ඉරේෂා ගාල්ලෙවත්ත පවසන්නීය.
“කතරගම උත්සව කාලෙට එක එක දුර පළාත්වල කටිටිය එනවනේ. සිංහල, දෙමළ, මුස්ලිමි කියලා බේදයක් නෑ. ඉතින් හැමෝම වගේ මේක ගන්නවා. තරුණ පිරිමි ළමයි එහෙම ඉන්නවා මම දැකලා තියෙනවා සමහර වෙලාවට එක මාලයක් අරන් කරේ දාගෙන අතෙත් දාගන්නවා තව එකක් කරකවලා.”
නවගුණ වැල් වල වැඩි විශේෂත්වයක් ඇත්තේ බෞද්ධයින්ට බව පවසන ඇය එ සඳහා හේතුද පැහැදිළි කරන්නීය.
“බෞද්ධ අයගෙ මේකට තියෙනවා විශේෂ ඉල්ලූමක්. දැන් ඔය පිරිත් පේ කරද්දි එකසිය අට වාරයක් පිරිත සඤ්ජායනා කරනවනේ. එතකොට නවගුණ වැලේ තියෙන විශේෂත්වෙ තමයි පිරිත සඤ්ජායනා කරන වාර ගණන ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද මේ නවගුණ මාලෙ හදන්නෙ දෙබර ඇට එකසිය අටක් අරගෙනනේ. විශේෂෙන්ම ඔය ජලනන්දන පිරිත එහෙම කියද්දි තමයි වැඩි හරියක් මේ නවගුණ මාලෙ යොදාගන්නෙ. භාවනා කරන අය එහෙමත් මේක ප‍්‍රයෝජනයට ගන්නවා.”
ගෝතමීගම වැසියන් තම ජීවනෝපාය වශයෙන් කරගෙන යන මෙම රැකියාව නගාසිටුවීමට වගකිව යුතු ආයතනයක් හෝ බළධාරියෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවද ඉරේෂා ගාල්ලෙවත්ත පවසන්නීය.
“ඇත්තටම අපිට කාගෙන්වත් මේක නගාසිටුවන්න කියලනමි කිසිම උදවුවක් ලැබිලා නෑ. ඕන කරන දේවල් මේ ඇට ඊට පස්සෙ ඒවා විදින්න බුරුමෙ, කටු එහෙමත් අපි ගන්න ඕන සල්ලිවලට. ඒවට ඉතින් අපිට සහනයක්නම් ලැබිලා නෑ. අඩුම තරෙමේ අපි හදන මාල පිට වෙළෙන්දන්ට දෙන්නෙ නැතුව අපිටම විකුණගන්න පුළුවන් විදියක් හදලා දෙනවනම් ඒකත් ලොකු දෙයක්.”
The 200 odd families of Gothamigama, about 4km away from the Kataragama town, are engaged in making prayer beads as their main livelihood. Nadeeka Wickremage says that she has been engaged in making prayer beads since childhood. After discontinuing with her studies at the age of 10, Nadeeka started to make prayer beads to earn for her family. She says that the prayer beads, which are made out of seeds of the Debara tree, are sold at Rs. 13 per chain and increases to Rs. 15 during the Kataragama festival. However, selling prayer beads does not earn much of a profit and Nadeeka and the family find it difficult to make ends meet.
තෙල් පිරවුම්හලේදී හමුවූ කාන්තාව
Women at the petrol shed – ‘‘සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්න අතරෙදි තමයි මම මේ රස්සාවට කොළඹ ආවෙ. අවුරුදු 17 දි විතර. දැන් අවුරුදු දෙකක් තිස්සෙ මේ ෂෙඩ් එකේ තමයි වැඩ කරන්නෙ’’
මහරගම නාවින්නෙ පෙට්‍රො ගෑස් ප‍්‍රයිවට් ලිමිටඩ් හි ඉන්ධන පිරවුම් හලේ සේවය කරන ඩබ්. ඒ. ආශා නිලක්ෂි පවසයි.
‘‘කලින් අපේ අයියත් මෙතන වැඩ කළා. එයා කසාද බැන්දට පස්සෙ ගමේ නතරවෙලා වෙන රස්සාවක් සොයාගත්තා. නංගිත් කසාද බැන්දා. අයිය කසාද බැඳල වෙන් වුණාට පස්සෙ ටිකක් ගෙදර අග හිඟ වුණා. අම්මටයි තාත්තටයිත් ස්ථිර රස්සාවල් නෑ.
ඉතිං මමත් රස්සාවක් හොයන්න මහන්සි වුණා. අපේ ගම් පළාත්වල රස්සාවල් හොයන එක හරිම අමාරුයි. කව්රු කව්රුත් රස්සාවල් හොයාගන්නෙ කොළඹින් තමයි.
කොච්චර හෙව්වත් රස්සාවක් හොයාගන්න බැරිවුණා. ඊට පස්සෙ අයියා වැඩකරපු තැනට එන්න හිත හදාගත්තා. ලේසි පහසු රස්සාවල් හොය හොයා කාලෙ නාස්ති නොකර ලැබුණු රස්සාව හොඳින් කරනව කියල හිතට ගත්තා’’ යැයි ආශා පවසන්නීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කතරගම ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඇය නාවින්න පිරවුම් හලේ රැකියාවට පැමිණ ඇත්තේ එලෙසය.
සාමාන්‍යයෙන් අපේ රටේ තරුණියන් මෙවැනි වෘත්තීන්වල නිරත වනවා දැකීම ඉතාම දුර්ලභය. සැබැවින්ම තරුණියක මෙවැනි රැකියාවක් තෝරා ගැනීමම අභියෝගයකි. ඇය ඒ පිළිබඳව දරන්නේ මෙවැනි අදහසකි.
‘‘ඇත්තටම ඒක අමාරුවෙන් හුඟක් හිතල මතල ගත්තු තීරණයක්. ඕනම අභියෝගයකට හොඳින් මුහුණ දෙනව කියල දැඩි අධිෂ්ඨානයකින් කොළඹ ආවෙ. නාගරික පරිසරය නම් මට හොඳට හුරුයි. මම හැදුනෙ වැඩුනෙ කතරගම ටවුමෙ නිසා. ඒත් පිරිමි කරන විදියෙ රස්සාවක් කරන්නයි යන්නෙ කියල හිතුවම හිතේ පොඩි තිගැස්මක් ඇතිවුණා. ඒත් කලිසමයි, ටී ෂර්ට් එකයි ඇඳල තෙල් පොම්පෙ අතට ගත්තම අමුතු ගැම්මක් ආවා. දැන්නම් ඒක ගාණක් නෑ’’
රැකියාව මත පුද්ගලයන් උස් පහත් කර සැලකීමේ හා පහත් යැයි සම්මත රැකියා කරන්නන්ට ගෞරව නොකර සිටීමේ වැරදි සම්ප‍්‍රදායක් පවතින අපේ සමාජයේ කාන්තාවක ලෙස මෙවැනි රැකියාවක නිරත වීම තුළින් ඈ ලද සමාජ අත්දැකීම පිළිබඳව ඇය විස්තර කරන්නේ මෙසේය.
නිතර මෙතනට යන එන වාහනවල අය නම් හිතවත්. සමහර වෙලාවට නුහුරු නුපුරුදු අය ආවම අමුතු විදියට බලනවා. විහිළු තහළු කරනවා. ගැහැණු ළමයෙක් ලස්සනට ගවුමක් ඇඳලා කොන්ඩෙ ගොතලා ඉන්නව දකින්නයි හුඟක් අය කැමති. ඒත් අපේ ආර්ථික ප‍්‍රශ්නත් එක්ක මල් වගේ ඉන්න අපිට බෑ. අපි ගැහැනුද පිරිමිද කියල වෙනසක් නැතිව ජීවිතේ ප‍්‍රශ්න වලට මුහුණ දිය යුතුයි. මම පොඩ්ඩක්වත් කැමති නෑ කවුරු හරි මේ රස්සාව ගැහැනු ළමයෙකුට සුදුසු නෑ කියල කියනවට. ඒ වගේම මේ රස්සාව පහත් කරල සලකනවට. මම මගේ අම්ම තාත්තටත් කීයක් හරි යවාගෙන ජීවත් වෙන්නේ මේ රස්සාව නිසා. මම මේ රස්සාවට හුඟක් ගරු කරනවා.’’
කෙසේ වෙතත් විවාහයෙන් පසුව දිගටම මේ රැකියාවේ නිරත වීමේ බලාපොරොත්තුවක් ඇයට නැත. ‘‘කසාද බැන්දට පස්සෙ නම් මේ රස්සාව කරන්න අමාරුයි. මෙතන අනිවාර්ය වැඩ පැය 8 යි. අමතර ඕ.ටී. පැය 4 යි. පැය 12ක් දවසට වැඩ කරල රුපියල් 14,000/- විතර වැටුපක් ලබන්න පුළුවනි. ඒත් කසාද බැඳපු ගැහැනු කෙනෙකුට අමාරුයිනෙ’’ යැයි ආශා පවසන්නීය.
‘‘වෙනත් පිරවුම් හල් වල වැඩට ගන්නෙ පිරිමි ළමයි විතරයි. ඒත් අපි හිතුවා මෙතනට ගැහැණු ළමයිත් ගන්න. එයාලා පිරිමි ළමයි එක්ක හරි හරියට වැඩ කරනවා. මට නම් ඒ ගොල්ලො අතර දක්ෂතාවයේ හෝ කාර්යක්ෂමතාවයේ වෙනසක් පෙනෙන්නෙ නැහැ. අනික ගැහැනු ළමයි මුදල් වංචා කරන්නෙත් නැහැ. පාලනය කිරීමත් පහසුයි. අකීකරු නෑ’’ යැයි එම පිරවීම් හලේ කළමනාකරු ගැමුණු බණ්ඩාර සෙනෙවිරත්න පවසයි.
W.A. Asha Nilakshi started working at the filling station Petro Gas Private Limited in Navinna, Maharagama two year back at the age of 17. She earns about Rs. 14,000 by working 8-hour shifts and 4 hours over time. Nilakshi decided to take the job at the filling station that was earlier occupied by her brother due to the non-availability of any other vocation in the city. Engaged in a male dominating profession, Nilakshi says she does not like to hear people say it’s not an occupation for women. However, Nilakshi says that she would not continue with the profession after marriage.
වෙළද කලාපයේ සන්නාලියෝ
‘‘මගේ ගම වලපනේ. වලපනෙනුත් හුඟක් පිටිසර. මහත්තයා නැතිවුණාට පස්සෙ තමයි මම මේ කලාපෙ රස්සාවට ආවෙ. ඒ මගෙ නෑයො වෙන මල්ලි කෙනෙක් එක්ක.
මහත්තයා ගොවිතැන් කළා. සහනාධාර පොහොර මිටිය ගේන්න ටවුමට ගිහින් එද්දි ලොරියක හැපිල එතැනදිම මැරුණා. මම දරු දෙන්නත් එක්ක තනි වුණා.
ටික කාලයක් මහත්තයාගෙ සහෝදර සහෝදරියන්ගෙනුයි මගේ මල්ලිලා දෙන්නගෙනුයි උදව් උපකාර අරන් ජීවත් වුණා. ලොකු පුතා ඉස්කෝලෙට භාර දුන්නට පස්සෙ පොත් පත්, ඇඳුම් වලට වියදම් කරන්න වුණා. අනෙක් දරුවට තාමත් අවුරුදු 4යි. හැමදාමත් අනුන්ගෙන් ඉල්ල ඉල්ලා ජීවත් වෙන්නෙ කොහොමද? අනික අපේ මල්ලිලත් මහත්තයාගේ සහෝදර සහෝදරියොත් ඔක්කොම ජීවත් වෙන්නෙ අමාරුවෙන්.
මහත්තයා මැරෙන කොට බාගෙට වැඩ ඉවර කරල තිබුණු ගෙයි වැඩ ටික ඉවර කරගන්නත්, පුතාල දෙන්නට හොඳට උගන්නන්නත්, කාටවත් බරක් නොවී ජීවත් වෙන්නත් හිතාගෙන තමයි මං මෙහේ රස්සාවට ආවෙ.
සීට්ටුවක් වත් දාල කීය කීය හරි ඉතුරු කරන්න, මහත්තය වෙනුවෙන් දාහයක් දෙන්න වාගේ කොච්චර බලාපොරොත්තු තිබුණ ද? අන්තිමට ඒ එකක්වත් කරගන්න බැරිව යන්තමට රෝල ගහගෙන නොකා නොබී දුක් විඳිනවා. ඒත් දරුවෝ නිසා ඉවසනවා.
දරුවෝ දෙන්න හිතන් ඉන්නෙ මං එයාලගේ අප්පච්චි හොයාගෙන එන්න ගියා කියල. පොඩි පුතා හැමදාම මාසෙකට වතාවක් මම ගමේ ගියාම මගෙන් අහන්නෙ අප්පච්චි හොයාගත්ත ද කියල. ලොකු පුතාට නම් දැන් ටික ටික තේරෙනවා.
ඒ දෙන්නව බලාගන්නෙ මගේ අම්මල. මාසෙකට වතාවයි මං ඒදෙන්නව දකින්නෙවත්. කොහොම හරි රුපියල් 6000ක් ඉතුරු කරගෙන ගමේ ගිහින් දරුවන්ගෙ වියදමට කියල අම්ම අතට දීල ආපහු එනවා.’’
ඉතාම ලාබාල වියේදී සැමියා අහිමි වීමත්, දරුවන් දෙදෙනෙකුත් සමඟ ජීවිතයට තනිව මුහුණ දීමට සිදුවීමත්සමඟ කටුනායක වෙළඳ කලාපයේ සේවයට පැමිණි ඩබ්.එම්.කේ.ජී. දුලානි වාසලා (26) දැනට සේවය කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ‘‘හෙල්පර්’’ වරියක ලෙසයි.
‘‘මාගේ මූලික වැටුප රුපියල් 7200 යි. රෑ වැඩත් කරලා, ලැබෙන උපරිම ඕ.ටී. ප‍්‍රමාණයත් වැඩ කරල යන්තමට රුපියල් 11,000 ක් 12,000ක් පඩි ගන්නවා.
බෝඩිමටයි, ලයිට්, වතුර වලටයි රුපියල් 2500ක් යනවා. කොච්චර පරිමහගෙන කෑවා බිව්වත් තුන් හාරදාහක් අතට වියදම් වෙනවා. ගෙදරටත් රුපියල් 6000ක් දෙනවා. ඉළඟ මාසෙ පඩි දෙනකන් කඩෙන් පොතට බඩු ගන්නවා. ඔහොම තමයි රෝල යන්නෙ.
හුඟක් වෙලාවට උදේට කන්නෙ නෑ. රෑට උයාගනිපු දෙයක් ඉතුරු වෙලා තිබුණොත් කනවා. නැත්නම් උදේට තේ එක විතරයි. වැඩපොළෙන් දවල් කෑම එක දෙනවා. ආයෙ රෑට මොනව හරි උයාගන්නවා.
මෙහේ හැමෝම කන්නෙ බොන්නෙ මෙහෙම තමයි. තුන්වේල හරියට කෑවොත් සතයක් ඉතුරු වෙන එකක් නෑ.
දරුවන්ට ලෙඩක් දුකක් වෙනවද, අම්මල සනීපෙන් ඉන්නවද කියලා හොයලා බලන්නවත් හෑන්ඩ් ෆෝන් එකක්වත් මා ළඟ නෑ. මල්ලිත් මේ ළඟ කිව්වා මම මාසෙකට වතාවක් ගමේ එනකන් උන්නද මළා ද කියලවත් හොයලා බලන්න විදියක් නැති නිසා ෆෝන් එකක් ගන්න කියලා.
ඒත් මේ රෝල යන විදියට අමතර රුපියල් දෙතුන් දාහක් වියදම් කරලා ෆෝන් එකක්වත් ගන්න විදියක් නෑ. ණයක් හරි වෙලා ෆෝන් එකක් ගත්තමයි කියමු. ඊට පස්සෙ කාඩ් වලටයි, රීලෝඩ් වලටයි තවත් කීය කීය හරි වියදම් වෙනවනෙ’’ යැයි දුලානි පවසයි.
‘‘හැම බඩුවකම මිළ නිතර නිතර ඉහළ යනවා. ලයිට් බිල වැඩි වෙනවා. බස් ගාස්තු වැඩි වෙනවා. මාස් පතා එන්න එන්නම වියදම ඉහළ යනවා. ඒ වුණාට අපේ පඩි වැඩිවෙන්නෙ නෑනෙ. ඒ මදිවට ඕ.ටී. කපනවා. කලාපෙ ගාමන්ට් වැහෙනවා. වැඩ කර කර හිටපු ළමයි ගෙවල් වලට යනවා. අපිත් පුදුම ගින්දරෙන් ඉන්නෙ. මේ තුට්ටු දෙකත් නැතිවුණොත් ජීවත් වෙලත් වැඩක් නෑ.’’
ඇයට අනුව මේ මොහොතේ ඇයට ඇති ප‍්‍රධානතම ගැටළුව නම් ‘‘රැකියාව හදිසියේ අහිමි වේද’’ යන්නයි. ඒ දරුවනුත් ජීවත් කරවාගෙන තමාගේත් එදා වේල පිරිමහ ගැනීමට ඇයට ඇති එකම හයිය මෙම රැකියාව වන බැවිනි.
‘‘කලාපේ හැම සේවකයෙක්ම මේ වන විට රැකියාව අහිමි විම පිළිබඳ ලොකු අවදානමක ඉන්නෙ. අප සතුව තිබෙන සංඛ්‍යා ලේඛන අනුව දැනට 50,000 කට විතර රැකියා අහිමි වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලා සීඝ‍්‍රයෙන් වැහෙමින් යනවා. වැඩ තියෙන තැන් වල ඕ.ටී. කපමින් යනවා.
කර්මාන්ත ශාලාවන්හි කළමණාකාරිත්වය කියන්නෙ ගෝලීය ආර්ථික අවපාතය සමඟ ඔවුන් ලාභ නොලබන බව. නමුත් විශාල සේවකයින් අහු කරමින් අමතර ඉතිරියක් කරගැනීමත්, රජයෙන් උපරිම බදු සහන ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ඇගළුම් අමුද්‍රව්‍ය මිල අතිශයින් පහත වැටීමත් මත ඔය තියන තරම් ආර්ථික අර්බුදයකට ලක්වෙලා ඉන්න විදියක් නෑ. ඒක මායාවක්. එයාලා මේ මායාව ඉදිරිපත් කරමින් ශ‍්‍රම මංකොල්ලයක නිරත වෙනවා. මේ වෘතිතය සටන ගෙනයාමටයි අපි ස්ටෑන්ඩප් සංවිධානය පිහිටුවාගත්තෙ’’යැයි එම සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා නිරෝෂනි මාපලගම පවසයි.
‘‘මේ වෙළඳ කලාපය කියන්නෙ රටක් ඇතුළෙ රාජ්ජයක්. තාප්පෙන්, ගේට්ටුවෙන් ඇතුළත වන නොයෙකුත් අකටයුතුකම් මහා සමාජයට පේන්නෙ නෑ. ඈත ගම් පළාත් වලින් එන අහිංසක දුප්පත් ළමයි මේ වාගේ වැඩ කරන්නෙ. එයාලගෙ අධ්‍යාපන මට්ටමත් අඩුයි. මේ ළමයින්ගේ ශ‍්‍රමය මංකෝල්ල කන අතර අනවශ්‍ය ලෙස හිංසා කිරීම් අහන්නවත් වෙනවා. එයාලට නීතිමය රැකවරණය පවා ලබාගත්ත නිසා මග පෙන්වීමක් නෑ.
මමත් උසස් පෙළ කරලා කලාපයේ ක්‍යු.සී. කෙනෙක් වශයෙන් රැකියාව කරමින් ලබපු කටුක අත්දැකිම් මත තමයි මේ වගේ සංවිධානයක් බිහි කරලා සාමූහික වෘත්තිය අරගල කිරීම සඳහා ඇඟලුම් සේවිකාවන්ට ඒකරාශි වීමට මඟ පෙන්වන්න හිතුවෙ’’ යැයි අශිලා මාපලගම පැවසුවාය.
විශාල කර්මාන්ත ශාලා ප‍්‍රමාණයයක් එහි කේන්ද්‍රගත වීමත්, දුෂ්කර ග‍්‍රාමිය ප‍්‍රදේශවලින් පැමිනි කම්කරුවන් විශාල ප‍්‍රමාණයක් ඒවායෙහි සේවය කිරීමත්, කම්කරුවන් අතරින් 90%ක්ම කාන්තාවන් වීමත්, එම පිරිස වයස අවුරුදු 18-30 සීමාවේ පහුවීමත් නිසා මෙම කලාප ගත කම්කරුවන් ‘‘සුවිශේෂි කම්කරුවන්’’ පිරිසක් ලෙස වෙන්කර හඳුනාගත හැක.
නිසි අධ්‍යාපන මට්ටමින් නොතිබීම නිසාත්, පිටතින් කිසිවෙකුටත් ඔවුන් සමඟ වෘත්තිය සමිති මට්ටමේ සබඳතා පැවැත්විය නොහැකි නිසාත් හුදෙකලා මෙන්ම නියෝජනයක් නැති කම්කරු ප‍්‍රජාවක් ලෙස නොයෙක් අර්බුද වලට ලක්වීමටත් ඔවුන්ට සිදුවී ඇතැයි එහි අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසීය.
W.M.K.G. Dulani Wasala is a 26-year old mother of two who was compelled to find a job as a helper in a Free Trade Zone factory to feed and educate her children and complete their half completed house due to the untimely death of her husband. With a basic salary of Rs. 7, 200, she manages to increase it to Rs. 11,000-12,000 by working over time. However, boarding fees amount to Rs. 2,500. She also gives Rs. 6,000 to her mother when she visits her children once a month to pay for their needs. The balance money is insufficient for her requirements. Most often she skips meals to save money. The global crisis has now made everything more difficult for factory workers given the financial constraints on the management. However, Stand Up Organization Director, Asheela Niroshani Mapalagama accused the factory owners of exploiting the workers to get maximum benefits and vows to fight for their rights.






